Monday 5th of December 2022

English Tamil
Advertiesment


එතෙරින් දැල්වෙන රතු එළි


2022-10-09 2845

 
(එම්.එස්.එම්.අයුබ්)

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ඉතා ඉක්මනින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි  යන හැඟීමක් රට තුළ ඇතිකරන්නට උත්සාහ කරන අතරේම ආණ්ඩුව ආර්ථික අර්බුදය නිසා  යළිත් ඇති විය හැකි මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සඳහාද උත්සුක වෙමින් සිටී.

මෙය එකිනෙකට පරස්පර වූ ස්ථාවර දෙකකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව හෝ නැතිව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි නම් අඩු තරමින් ඒ පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ  ගොඩනැඟිය හැකි නම් ආණ්ඩුවට ජනතා උද්ඝෝෂණ හා නැගිටීම් මර්දනය කිරීමට අවශ්‍ය වන්නේ නැත.

පසුගිය මාසයේ අග භාගයේදී විරුද්ධ පක්ෂ අතර ප්‍රධාන මාතෘකාවක් වී තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කරන ලද නව අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනයයි. එම ගැසට්  නිවේදනය අනුව කොළඹ හා ඒ අවට අධි ආරක්ෂිත කලාප අටක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒවායේ අරමුණ පැහැදිලි වූයේ ඒවා අතර පසුගිය ජූලි මාසයේදී විරෝධතාකරුවන් විසින් දින කිහිපයකට අත්පත් කර ගන්නා ලද හා එසේ අත්පත් කරගන්නට උත්සාහ කරන ලද රජයේ ආයතනද වූ හෙයිනි.

රටේ යුද්ධයක් නැති කාලයක  ආයුධ සන්නද්ධ සංවිධාන කිසිවක් රටේ ක්‍රියාත්මක වන බවට කිසිදු සලකුණක් හෝ නැති තත්ත්වයක් තුළ මෙම අධි ආරක්ෂිත කලාපවල අරමුණ අන් කිසිවක් නොව මහජන උද්ඝෝෂණ වැළැක්වීම  හා ඒවා මර්දනයට නීතිමය ආවරණයක් ලබාගැනීම බව ඉතා පැහැදිලි විය.

කෙසේ වෙතත්  ජපානයේ හිටපු අගමැති ෂින්සෝ  අබේගේ අවසාන කටයුතුවලට සහභාගී වීම සඳහා ජපානයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි වහාම ඔක්තෝබර් 1 වැනිදා තවත් ගැසට් පත්‍රයක් මඟින් එම අධි ආරක්ෂිත කලාප අවලංගු කළේය.

අධි  ආරක්ෂිත කලාප පිහිටුවීම පිළිබඳ ගැසට් නිවේදනයට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබුණු බවත්, ජනාධිපතිවරයා ඊට අස්සන් කොට ඇත්තේ ඒ බව නොදැන බවත් ඇතැම් ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. එසේම විදේශ නායකයන් හමුවේ මෙම අධි ආරක්ෂිත කලාප සාධරණීකරණය  කිරීම  දුෂ්කර වූ බවත් වෙනත් ජනමාධ්‍ය වාර්තාවල පළවිය.

ඒ අනුව පෙනෙන්නේ නව අධි ආරක්ෂිත කලාප අහෝසි කරනු ලැබූවේ ඒ හේතුව නිසා මිස අදහස් ප්‍රකාශ කිරීමේ හා විසම්මුතිය පිළිබඳ ජනතාවගේ අයිතිය මෙම අධි ආරක්ෂිත කලාප මගින් උල්ලංඝනය වන නිසා නොවන බවය. ජනතාවගේ එම අයිතීන් පිළිබඳව ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා උනන්දු වූයේ නම් නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දුෂ්කරතාවට පත් නොවූවද අධි ආරක්ෂිත කලාප මගින් ජනතාවගේ අයිතීන් සීමා වීම තේරුම් ගත හැකිව තිබිය යුතුය.

ආණ්ඩුව ජනතාවගේ එම අයිතිය පිළිබඳව පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දුෂ්කරතාවට පත්වීම ද සැලකිල්ලට නොගන්නා බව පෙනෙන්නේ අධි ආරක්ෂිත කලාප පිහිටුවීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ දිනයේම (සැප්තැම්බර් 23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත නිසාය.

‘‘විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමෙන් ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන්, පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී, අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන් සහ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් යම් තැනැත්තන්’’ පුනරුත්ථාපනය කිරීම පනතේ අරමුණ බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙහිදී ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායම් යන්නෙන් හා පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් යම් තැනැත්තන් යන්නෙන් අදහස් කෙරෙන්නේ  කුමක්දැයි පැහැදිලි නැත.

ආර්ථික අර්බුදයෙන් පෙර නොවූ විරූ අයුරින් පීඩාවට පත් පිරිස් පසුගිය මාර්තු මාසයේ සිට ජූලි මාසය දක්වා සාමකාමීව උද්ඝෝෂණයක් ගෙන ගියහ. ඒ අතර එම උද්ඝෝෂකයන්ගේ කොටසක් ලෙස පෙනීසිටි ඉතා සුළු පිරිසක් ගිනි තැබීම් හා ඝාතනවල නිරත වූහ. දැන් ආණ්ඩුව සියලු උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩකාරීන්, ෆැසිස්ට්වාදීන් ලෙස හඳුන්වයි. ඒ අනුව අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු එම ද්ඝෝෂණයේ නිරත වූවන් පුනරුත්ථාපනයේ නාමයෙන් රඳවා තබා ගැනීම ආණ්ඩුවේ අරමුණ බව පෙනේ.

මෙවැනිම උත්සාහයක් පසුගිය වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන්ද ගනු ලැබීය. ඒ 2021 මාර්තු 12 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගිනි. එමඟින් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන හා ආරක්ෂක අංශවලට භාර වන ‘‘අන්තවාදීන්’’ වසරකට පුනරුත්ථාපන කඳවුරුවලට යැවීමට පොලිසියට හැකියාව ලැබේ. එවැනි පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවනු ලැබුවද ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙන්නේ නැත. ඒ අනුව පුනරුත්ථාපන කඳවුරුවලට යැවිය යුතු අන්තවාදීන් කවුදැයි තීරණය කරන්නේ පොලීසියයි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 5 වැනිදා මෙම ගැසට් නිවේදනය අත්හිටුවූයේය. එම ගැසට් නිවේදනයට ජාත්‍යන්තර වශයෙන්ද විරෝධය එල්ල විය. පසුගිය වසරේ ජූනි මාසයේ 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන්  දෙන ජී.එස්.පී. බදු සහන අත්හිටුවීම පිළිබඳව සලකා බලන්නට පටන් ගත්තේ මෙම ගැසට් නිවේදනයත් ත්‍රස්වාදය වැළැක්වීමේ පනතත්, වෙනත් මානව හිමිකම්වලට බලපාන කරුණු ගණනාවකුත් නිසාය.

මේ වනවිට පුනරුථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිවද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. හිතුමතේ අත්අඩංගුවට ගැනීමෙන්, රඳවා ගැනීමෙන්, අසමාන ලෙස සැලකීමෙන් නිදහස් වීමේ අයිතිය මෙම පනත් කෙටුම්පතින් අහිමි කෙරෙන බවට පෙත්සම්කරුවෝ කියා සිටිති.

හිටපු සටන්කරුවන්, ප්‍රචණ්ඩ හා අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන් යන පුද්ගලයන් මෙම පනත මගින් නිර්වචනය කොට නැතැයි යන්න ඔවුන් නගන තවත් තර්කයකි. එමඟින් පසුගියදා පැවැත්වුණු විරෝධතාවලට සහභාගි වූවන් පවා පුනරුත්ථාපනය නමින් රඳවා තබා ගත හැකිවනු ඇතැයි ඔවුහු තම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටිති.

මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර  සහයෝගය අත්‍යවශ්‍යම අවස්ථාවකි. එය මෙරට දේශපාලනඥයන් අතරින් ඉතාම හොඳින් වටහා ගත හැකි පුද්ගලයා සමහරවිට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව පෞද්ගලිකවද විශාල වශයෙන් අත්දැකීම් ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතුය. එහෙයින් ඇතැමුන් පවසන්නේ ජනාධිපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නේ ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපෑම නිසා බවය. මන්දයත් ඔහුට  එම පක්ෂයේ සහයෝගය නැතිව අයවැය වැනි වැදගත් අණපනත් සම්මත කර ගත නොහැකි නිසාය. එසේම ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා වැඩිම හැකියාව ඇත්තේද එම පක්ෂයටය. එහෙත් ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ග  ගන්නේ පොදුජන පෙරමුණේ අවශ්‍යතාවටද, එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවටද නැත්නම් පක්ෂ දෙකේම අවශ්‍යතාවටදැයි දැනගත හැක්කේ ඉදිරියේදීය.

පොදුජන පෙරමුණ හෝ එහි නායකයන් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ කිසිදා ජාත්‍යන්තර  වශයෙන් කෙරෙන බලපෑම් ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට එහි නායකයෝ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන බලපෑම් හා මානව අයිතීන් සම්බන්ධයෙන් කෙරෙන චෝදනා දේශීය වශයෙන් තමන්ගේ දේශපාලනයට යොදා ගත්හ.

එහෙත් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එජාපය ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයක් ජාත්‍යන්තර වශයෙන් දිනා ගත්තේය. වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුව 2002-2003 කාලයේදී කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වූයේ ලොවේ ප්‍රබලම රටවල්ද ඇතුළු රටවල් 22 ක් හා ජාත්‍යන්තර සංවිධාන 50කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන නෝර්වේ නායකයන් මැදිහත්කරුවන් කර ගනිමිනි. සාපරාධී අපහාස නීතිය අහෝසි කෙරුණේද ඒ කාලයේදීමය.

අප මීට පෙර ලිපියකදී සඳහන් කළ පරිදි එජාපය මානව අයිතීන් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට වඩා ඉදිරියෙන් සිටින  බවක් ලෝකයට පෙන්නුම් කළේ 2015දී හා 2017දී එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනා දෙකකට සම අනුග්‍රහය සැපයීමෙනි. තනි පුද්ගලයකු වන විධායක ජනාධිපතිට  හිමි බලතල විශාල වශයෙන් කප්පාදු කරන 19 වැනි සංශෝධනයද 2015 දී සම්මත කෙරිණි. (එම කප්පාදු කිරීම මුල්වරට සිදුවූයේ 2001 පරිවාස ආණ්ඩු කාලයේදීය)

එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. ඉකුත් අගෝස්තු 10 වැනිදා ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා හමුවූ යුරෝපා සංගමයට අයත් තානාපතිවරු කණ්ඩායමක් රටේ මානව හිමිකම් තත්ත්වය ගැන සාකච්ඡා කළහ. ඇත්ත වශයෙන්ම මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාට එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් කරන්නට පැවැත්වුණු එකකැයිද සිතිය                            හැකිය. මන්දයත් එහිදී එම තානාපතිවරු සිවිල් හා මානව අයිතිවාසිකම්, විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා විසම්මුතියේ අයිතිය අවධාරණය කරමින් දැනටමත් ක්‍රියාත්මක ක්‍රියාවලි තුනක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාට කියා සිටියහ. එම ක්‍රියාවලි තුන නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කරනු ලැබ ඇති වැඩසටහන, ජී.එස්.පී. බදු සහන ක්‍රියාවලිය හා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ වැඩ කටයුතුයි. ඔවුන් මේ කියන්නේ කුමක්දැයි ජාත්‍යන්තර සබඳතා හා රාජතාන්ත්‍රික භෂාව ඉතා හොඳින් දන්නා ජනාධිපතිවරයා පහසුවෙන් තේරුම් ගන්නට ඇත.

එසේ තිබියදී යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩෙර් ලෙයෙන් ද පසුගිය සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. බදු සහනය තවදුරටත් දෙන්නේද යන්න පිළිබඳ සමාලෝචනය කෙරෙමින් තිබෙන බවත් එහි වාර්තාව මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවට තවදුරටත් ජී.එස්.පී. බදු  සහනය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉකුත් වසරේ ජුනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් මඟින් යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබිණි. ඉහත කී සමාලෝචනය කෙරෙන්නේ ඒ අනුවය. මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ නිදහස, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ මූලික අයිතීන් ඉතාමත් වැදගත් යැයි යුරෝපා කොමිසමේ සභාපතිනියගේ නිවේදනයේ සඳහන් විය.

මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා රැස්වීමේ නිදහස ගැන යුරෝපා කොමිසම කතා කරන්නේ දැනට ආණ්ඩුව අරගලකරුවන් හඹා යෑම නිසාය. ඒ බව පැහැදිලි වන්නේ යුරෝපා කොමිසමට අයත් රටවල තානාපතිවරුන් විසින් සිහිපත් කරන ලද මානව හිමිකම් කොමිසමේදී මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ මෙම හඹා යෑම ඉතා විවෘතවම සඳහන් වන හෙයිනි.

අරගලකරුවන් දස දහස් ගණනින් මහ මඟට බැස විරෝධතා පැවැත්වූයේ කිසිදු පක්ෂයක මෙහෙයවීමකින්  නොවේ. එය පැහැදිලිවම ජනතාව විඳි තවමත් විඳින පීඩනයේ ප්‍රකාශනයකි. ඉදිරියටද  එවැනි පුපුරා යාමක් සිදුවේ යැයි ආණ්ඩුව සැක කරන්නේ නම් කළ යුත්තේ ඒවා මර්දනයට නීති ගෙන එනවා වෙනුවට තමන් කරගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමයි.

 

Advertiesment