Monday 7th of October 2024

English Tamil
Advertiesment


ගොවිතැනට ව්‍යාපාරික දැක්මක්


2022-09-29 14325

 
(ආචාර්ය එල්.පී. රූපසේන)

 

මීට මාස කිහිපයකට පෙර කතාබහ කළේ වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවී සහල් හිඟයක් සැප්තැම්බර් මාසයේ සිට ඇතිවෙන බවයි. එහෙත් අද මාතෘකාව වී ඇත්තේ ගොවීන්ට වී විකුණා ගැනීමට නොහැකිවීමය. සාමාන්‍යයෙන් විකුණා ගැනීමට නොහැකිව වී මිල පහළ වැටෙන්නේ නිෂ්පාදනය වැඩි වූ අවස්ථාවලදීය. මෙවැනි තත්ත්වයක් අප අත් දකින්නේ මහ කන්නයේ අස්වැන්න නෙළන මාර්තු සහ අප්‍රේල් මාසවලදී ය. එහෙත් යල කන්නයේ අස්වැන්න වෙළඳපොළට එන ජූලි සහ අගෝස්තු මාසවල එවැනි තත්ත්වයක් වාර්තා නොවේ.

ඊට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත. යල කන්නයේ අස්වැන්න මේ රටේ වී නිෂ්පාදනයෙන් සියයට35 ක් පමණ වීම එක් හේතුවකි. දෙසැම්බර් සහ ජනවාරි මාසවල සහල් මිල ඉහළ යන නිසා මෝල් හිමියන් වී මිල දී ගෙන ගබඩා කිරීම අනෙක් කාරණයයි. එහෙත් මේ අවුරුද්දේ දැන් පවතින තත්ත්වය මීට ඉදුරාම වෙනස්ය.

යල කන්නයේ නිෂ්පාදනය පෙර වර්ෂවලට වඩා සියයට 40ක් පමණ අඩුවී ඇත. එවන් තත්ත්වයක් තුළ වී විකිණීමේ ගැටලු‍වක් ඇති වූයේ ඇයි..? මෙම ලිපියෙන් ඒ පිළිබඳ විග්‍රහයක් කර විසඳුම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

අද ඇති වී තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව රජය අනවශ්‍ය අවස්ථාවක වී මිලදී ගැනීමට ඉදිරිපත් වීමයි. මීට පෙර රජය වී මිලදී ගත්තේ මහ කන්නයේදීය. එයත් වී මිල සහතික මිලට වඩා අඩුවන අවස්ථාවේදීය. රජය පෞද්ගලික අංශයට වී මිල දී ගැනීමට ඉඩ දී එය අධීක්ෂණය කර අවශ්‍ය අවස්ථාවල දී පමණක් මිලදී ගත යුතුය. එනම් රජය ප්‍රධාන ගැනුම්කරු නොව අවසාන ගැනුම්කරු වශයෙනි. රජයට ව්‍යාපාර කටයුතු සාර්ථකව කළ නොහැකි බව ලොව පිළිගත් සිද්ධාන්තයකි. මෙතෙක් පැවති තත්ත්වය උඩු යටිකුරු කර මෙවර රජය ප්‍රධාන ගැනුම්කරු ලෙස කටයුතු කිරීමට උත්සාහ දරන ලදී. එමගින් ඉල්ලු‍ම-සැපයුම මගින් වෙළඳපොළ මිල තීරණය බිඳ වැටුණි. මෙවැනි තත්ත්වයක් 2012 සහ 2013 වසරවල තායිලන්තයේ සිදුවිය. බලයට පත් නව රජය වී සඳහා එතෙක් පැවති සහතික මිල විශාල ලෙස වැඩිකර ප්‍රධාන ගැනුම්කරු බවට පත් විය. එමගින් පෞද්ගලික අංශය අකර්මණ්‍ය කරන ලදි. රජය මිලදී ගත් වී තත්ත්වයෙන් පහළ මට්ටමට වැටී විකුණා ගත නොහැකි විය. එනිසා එම ක්‍රමය අත්හැරියේය.

පෞද්ගලික අංශය අඩු මිලට වී මිලදී ගැනීම ද වී මිල අර්බුදයට හේතු වී ඇත. එසේ වී ඇත්තේ රජය විසින් වෙළඳපොළ අවිනිශ්චිත තාවක් ගොඩනගනු ලැබීමය. මෝල් හිමියන් වී මිලදී ගෙන ගබඩා කරන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල ඉහළ මිලකට සහල් අලෙවි කිරීමටය. එහෙත් දෙසැම්බර්-ජනවාරි මාසවල සහල් මිල පිළිබඳ පුරෝකථනයක් කිරීමට නොහැකි වී ඇත. අනාගත වී මිල අවිනිශ්චිත හැම අවස්ථාවකදීම ව්‍යාපරිකයන් මිලදී ගන්නේ අඩු මිලටය. මෙම තත්ත්වය විශාල වියදමක් දරා ගබඩා කිරීමට සිදුවන වී වැනි නිෂ්පාදන සඳහා කැපී පෙනේ. රාජ්‍ය ආයතන පාඩු ලබන විට මිල අඩු කර වෙළඳපොළ අක්‍රිය නොකර ඔවුන් ලබන අධික ලාභය අඩු කිරීම සඳහා නව ව්‍යාපාර ආයතන බිහි කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් දැනට සිටින වී මෝල් හිමියන් තරඟයට මුහුණ දීමට හැකි වන මට්ටමට පත් කළ යුතුය. 

කාර්මික භාණ්ඩ මෙන් නොව කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය සිදුවන කාල රාමුවක් ඇත. අවුරුද්ද පුරා පවතින ඉල්ලු‍මට අවුරුද්ද පුරාම නිෂ්පාදනය කළ නොහැක. නොඑසේ නම් අවශ්‍ය අවස්ථාවට, අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කළ නොහැක. පාලනය කළ නොහැකි දේශගුණික සාධක මත කෘෂිකාර්මික භාණ්ඩවල නිෂ්පාදනය රඳා පවතී. ඒ අනුව වර්ෂාපතන රටාව අනුව මහ සහ යල වශයෙන් කන්න දෙකකට ශ්‍රී ලංකාවේ වී වගාව සිදුවේ. මහ කන්නයේ වර්ෂාව අධික නිසා යල කන්නයට වඩා වැඩි නිෂ්පාදනයක් එකී කන්නය තුළ සිදුවේ. මහ කන්නයේ නිෂ්පාදනය මාර්තු-අප්‍රේල් මාසවල බහුලව වෙළඳපොළට ලැබෙයි. එබැවින් එම මාසවල වී මිල විශාල වශයෙන් පහළ වැටේ. එහෙත් සහල් පරිභෝජනය වසර පුරා ඒකාකාරීව පවතී.

මේ නිසා අස්වැන්න වෙළඳපොළට එන මාසවල ඉල්ලු‍මට වඩා වැඩි සැපයුමක් ඇතිවී මිල පහළ වැටේ. අනෙක් අතට අවාරයේ වෙළඳපොළ ඉල්ලු‍මට වඩා අඩු සැපයුමක් ඇති බැවින් මිල ඉහළ යයි. ඒ අනුව වී මිල පහළ වැටීමට සහ ඉහළ යාමට ප්‍රධාන හේතුව සැපයුම් රටාවේ ඇති අවිධිමත් බවයි. මෙම අවිධිමත් බව නැති කිරීමට නම් අස්වැන්න නෙළන කාලයේ වෙළඳපොළට එන අධික සැපයුම පාලනය කළ යුතුය.   

අස්වැන්න නෙළන අවස්ථාවේ දී වී මිල පහත වැටීම වළක්වා ලීම සඳහා රජය විසින් සහතික මිලක් නියම කිරීම අප නිදහස ලැබූ 1948 වර්ෂයේ  සිට අද දක්වා පුරා දශක හතකට අධික කාලයක් පැවත එන්නකි. සහතික මිලක් නියම කළ මුල් අවස්ථාවේ දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීම කරනු ලැබූ අතර 1972 වර්ෂයේ ඒ සඳහා වී අලෙවි මණ්ඩලය පිහිටු වූවේය. රාජ්‍ය ආයතන විසින් වී මිල දී ගනු ලැබීම  ලංකාවට පමණක් සීමා වී නැත.

ඉන්දුනීසියාවේ ”‍බුලොක්”‍(Bulog) නැමැති ආයතනයක් ද ඉන්දියාවේ ආහාර සංස්ථාවක් ද (Food Corporation of India) පිලිපීනයේ ජාතික ආහාර අධිකාරියක් ද ඇත. (Narional Food Authority) මෙම ආයතන සියල්ලම විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමට පෙර පිහිට වූ ඒවා වන අතර දැනට එම ආයතන පාඩු මත ක්‍රියාත්මක වේ. එබැවින් විකල්ප ක්‍රියාමාර්ග දැනට ක්‍රියාත්මක වේ. ඒ තුළ රජය ප්‍රධාන ගැනුම්කරුගේ සිට අවසාන ගැනුම්කරු දක්වා පරිවර්තනය වී ඇත.

වී අස්වැන්න නෙළන කාලයේදී වෙළඳපොළට සැපයෙන වී ප්‍රමාණය පාලනය කිරීම සඳහා ක්‍රම රාශීයක් ලොව රටවල ක්‍රියාත්මක වෙයි. ගුදම් සහතික පත්‍ර මූල්‍ය ක්‍රමය (warehouse Receipt financing sistem)  ඉන් එක්  ක්‍රමයකි. මෙහි දී ගොවීන් රජය විසින් ස්ථාපනය කරනු  ලැබ ඇති ගබඩාවල තමන්ගේ වී ගබඩා කර සහතිකයක් ලබා ගනී. එකී සහතිකය බැංකුවට ඇපයක් වශයෙන් තබා හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය ලබා ගැනීමට පුළුවන. වී මිල ඉහළ යන අවස්ථාවක වී විකුණා,  ගබඩා වියදම් සහ බැංකු ණය පියවීමට හැකියාව ලැබේ.

හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අස්වැන්න නෙලූ විගස වී අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. ලොව අනෙක් රටවල මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වුවත් ලංකාවේ එවැන්නක් දක්නට නැත. 2016 වර්ෂයේ ලෝක බැංකු ණය ව්‍යාපෘතියක් යටතේ ආරම්භ වූ මෙම වැඩසටහන මගින් දැනට ගබඩා 7 පිහිටුවා ඇත. එම ගබඩා තුළ වී මෙට්‍රික් ටොන් 48000 ක්  ගබඩා කළ හැකි නමුත් මෙතෙක් යොදාගෙන ඇත්තේ එකී ධාරිතාවෙන් සියයට 5 කට අඩු ප්‍රතිශතයකි. මෙම වැඩසටහනට සම්බන්ධ රජයේ බැංකුව, අනෙකුත් රාජ්‍ය ආයතන සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවක් නොතිබීම මෙම වැඩ සටහන ශ්‍රී ලංකාවේ අසාර්ථක වීමට හේතු වී ඇත. 

ගොවීන් සිය අස්වැන්න සියල්ල එකවර නොවිකුණා ක්‍රමිකව විකිණීමට පෙළඹවීම තවත් එක් පියවරකි. ඒ සඳහා චීනයේ නිෂ්පාදන කාලයට එක් සහතික මිලකුත් අවාරය සඳහා තවත් සහතික මිලකුත් වශයෙන් ද්විත්ව මිලදී ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත. සමහර රටවල වගා ණය ක්‍රමයට අමතරව අලෙවි ණය ක්‍රමයක් හඳුන්වා ඇත. වගා ණය තරම් අවදානමක් එහි නැත. ශ්‍රී ලංකාවේ බැංකු විසින් මෝල් හිමියන් සඳහා මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඉන්දියාව ගම් මට්ටමේ වී ගබඩා ඉදිකර ගොවීන් ඒ සඳහා උනන්දු කර ඇත.

වී මිල පහත වැටීම වැළැක්වීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම තවත් ක්‍රමයකි. මෙහි දී තෝරා ගත් මෝල් හිමියන් සහතික මිලට හෝ ඊට වැඩි මිලකට වී මිල දී ගන්නා අතර ඔවුන්ට සහනදායි පොලියට ණය ලබා ගැනීම සහ ස්ථාවර වෙළඳපොළක් ලබා දී ඇත. තායිලන්තයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. අප්‍රිකා රටවල මෙම වැඩසටහන පාසල් දිවා ආහාරය හා සම්බන්ධ කර ඇත.

ගොවීන්ට තනි තනිව හෝ සංවිධානගත වී අලෙවි කටයුතුවලට සහභාගි විය හැක. වී -සහල් කර තම ප්‍රදේශය තුළම අලෙවි කළ හැකිය. අන්තර්ජාලය ද ඒ සඳහා භාවිත කළ හැකිය. තායිලන්තයේ මෙම ක්‍රමය භාවිත වේ. එමෙන්ම ගොවීන් සංවිධානගත වීමෙන් නව අලෙවි දාමයක් ගොඩනගා ගත හැකිය. ඒ තුළින් ඒකාබද්ධ වූ කාර්යක්ෂම විනිවිද පෙනෙන අලෙවිදාම නිර්මාණය කර ගත හැක. ගොවි සංවිධාන මගින් එක්රැස් කිරීම, ගබඩා කිරීම, වී කෙටීම, තොග සහ සිල්ලර වෙළඳාමට යොමුවිය හැකිය. ජපානය සහ කොරියාව යන රටවල මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වේ.  

මේ සියලු කාර්ය සාර්ථකව කිරීමට නම් ව්‍යාපාරික ගොවි පරපුරක අවශ්‍යතාව අනිවාර්ය සාධකයකි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ගොවි පරපුරක් බිහි වී නැත. එබැවින් අද ඇතිවී තිබෙන අර්බුදයට ඔවුන් ද වගකිව යුතුය. ව්‍යාපරිකයන් හැමවිටම උත්සාහ කරන්නේ තමන්ගේ නිෂ්පාදනය උපරිම මිලකට අලෙවි කිරීමටයි. ඒ සඳහා ඔවුහු නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි කරති. සුදුසු කාලය බලා අලෙවි කරති. ඉහළ මිලක් ගෙවන ගැනුම්කරුවන් සොයති.

නිෂ්පාදන වියදම අඩු කිරීමට කටයුතු කරති. සිය තරගකරුවන්ගේ නිෂ්පාදන සහ ඔවුන්ගේ ක්‍රියා මාර්ග සොයා බලා ඒ සඳහා ප්‍රතික්‍රියා ක්‍රියාත්මක කරති. අපගේ ගොවි මහතුන් මෙවන් ආර්ථිකයකට තවම අනුගත වී නොමැත. ඔවුහු තවම සාම්ප්‍රදායික අලෙවි රටාවට හුරු වී සිටිති. එනම් වී මිලදී ගැනීමට රජයට බල කරති. ඒ තුළ විකල්පයක් සෙවීමට උත්සාහ නොකරති. ගුදම් සහතික පත්‍ර මූල්‍ය ක්‍රමය වැනි නවෝත්පාදන ක්‍රම හඳුන්වා දුන්නත් ඒවාට යොමු නොවෙති. ලාභය උපරිම කිරීම සඳහා නිෂ්පාදන වියදම අඩු කිරීමට, වීවල ගුණාත්මක භාවය වැඩි කිරීමට, වී මිල ඉහළ යන තෙක් ගබඩා කිරීමට, වැඩි මිලක් ගෙවන ගැනුම්කරුවන් සොයා ගැනීමට ගොවීහු කටයුතු නොකරති. 

ව්‍යාපාරික ගොවි පරපුරක් බිහි කිරීම අප හමුවේ ඇති බරපතළම අභියෝගය වේ. ඒ සඳහා සාම්ප්‍රදායික ගොවි මහතා ව්‍යාපාරික ගොවි මහතකු කළ යුතුය. ගොවිතැන ව්‍යාපාරික ගොවිතැනක් බවට පරිවර්තනය කළ යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා ශක්තිමත් ආයතන ව්‍යූහයක් ගොඩනගා ගත යුතුය. ගොවිජන සේවා මධ්‍යස්ථාන ව්‍යාපාර සංවර්ධන කටයුතු භාර ගත යුතුය. ගොවියා සහ වෙළෙන්දා අතර මනා සම්බන්ධතාවක් ඇති කරන කාර්යක්ෂම අලෙවි දාමයක් ඇති  කිරීම අවශ්‍යය. කෘෂිකර්ම පර්​ෙ‌ය්ෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගේ අලෙවි කටයුතුවලට මැදිහත් විය යුතුය. ඊට අමතරව නිෂ්පාදන මත පදනම් වූ ව්‍යාපෘති සේවය අලෙවිකරණ ව්‍යාපෘති සේවයක් බවට පරිවර්තනය කළ යුතු වෙයි. වගා කළ යුතු භෝග පිළිබද ගොවීන් දැනුවත් කිරීමේ දැඩි වුවමනාවක් ද තිබේ. ඊට පසු එකී භෝගයෙන් උපරිම අස්වැන්න නෙළා ගන්නා ආකාරය පිළිබඳ ගොවීන් දැනුවත් කළ යුතුය. එතනින් ව්‍යාපෘති සේවයේ කටයුතු අවසන් නොවේ.

පසු නිෂ්පාදන ක්‍රියාවලියට ද ව්‍යාපෘති සේවය සම්බන්ධ විය යුතුය. නෙළාගත් භෝගය ගබඩා කරන ආකාරය පිළිබඳ ගොවීන් දැනුවත් කළ යුතුය. එමෙන්ම විකිණිය යුතු කාලය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම ද මේ ක්‍රියාවලියේ දී අවශ්‍ය වන්නකි. ඉහළ මිලක් ලබා ගැනීමට භාණ්ඩය විකිණිය යුතු ආකාරය (ලේබල් කිරීම) සහ ඉහළ මිලක් ලබාදෙන ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමට ව්‍යාපෘති සේවය පුරෝගාමීව කටයුතු කළ යුතුය. ව්‍යාපෘති සේවයේ “දැක්ම’’ විය යුත්තේ ගොවීන්ට උපරිම ආදායමක් ලබා දීමයි.  

ලොව අනෙක් රටවල මෙන් ප්‍රශ්න සඳහා විසඳුම් සකස් කිරීමට සහ එකී විසඳුම් ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට ශක්තිමත් ආයතන ව්‍යුහයක් ඇති කිරීමේ වුවමනාව දැඩිව තිබේ. ලොව අනෙකුත් රටවල සාර්ථක අත්දැකීම් අධ්‍යයනය කර ඒ අනුව අපගේ ප්‍රතිපත්ති සකස් කළ යුතුය. හිතුමතේ තීරණ ගැනීමේ ක්‍රමය නතර කොට දැනුම මත පදනම් වූ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රී ලංකාවට දියුණු විය නොහැක.

ශ්‍රී ලංකා රජ රට විශ්ව විද්‍යාලයේ
කෘෂිකර්ම පීඨයේ  කෘෂි පද්ධති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  
ආචාර්ය එල්.පී. රූපසේන

 

Advertiesment