Thursday 30th of April 2026

English Tamil
Advertiesment


රට-දැය වෙනුවෙන් ජීවිතයම කැප කළ කොස් මාමා  


2022-08-03 14943

 

පානදුරේ ආතර් වී. දියෙස්..!

 

 

(කොස් මාමා ලෙස හැදින්වූ පානදුරේ ආතර් වී. දියෙස් ජාතික විරුවාගේ 62 වෙනි ගුණ සමරුව 2022 ජූලි 31 වෙනි දිනට යෙදී තිබුණු අතර මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

ඉදිරියේදී රට මුහුණපාන ආහාර අහේනියක් පිළිබදව පසුගිය කාලවලදී සිදුකළ හෙලිදරව්ව ගැන තවමත් විශේෂ  අවධානයක් රට තුළ තිබෙනවාදැයි සැකයකි. එයින් මිදීමට ආරම්භ කළයුතු කෘෂි සංවර්ධන ව්‍යාපාරයන් පවතිනවාට  වඩා සිය ගුණයකින් වර්ධනය කළයුතු බව මාගේ අදහසයි. පසුගිය සියවසේ ජීවත්වූ නායකයෙකු ඉදිරි පරම්පරාවන් මුහුණ දෙන ආහාර අර්බුදයනට මුහුණදීම සදහා තමන් විසින් ආරම්භ කළ වගා මෙහෙයුමක් හැදින්වූයේ “බත් ගස් රෝපණය” ලෙසය. “බත් නොමැතිනම් කොස්” මෙම ව්‍යායාමයේ  ආදර්ශ පාඨය විය. වර්තමානයේ අප රටේ ආහාර හා පෝෂණය සදහා විශාල පිටුවහලක් වී තිබෙන කොස් දේශීය ආහාරයේ ප්‍රවර්ධනය සදහා මෙම ව්‍යාපාරය ලබාදී ඇති ශක්තිය සුළුපටු නැත. මේ  මහඟු ව්‍යායාමයේ නිර්මාතෘවරයා ජාතියෙන් සමුගෙන අද දිනට වසර 62 කි. කාතගුණ දත් ජනතාවක් ලෙස එම මාර්ගෝපදේශකයාණන් සිහිපත් කිරිම මෙම යුගයේ යුතුකමක් ලෙස මා සළකමි.  

එසේ අද දින සැමරුම් ලබන්නේ පානදුරේ ආතර් වී. දියෙස් නම් ලංකාභිමානී  දේශසේවකයාය. පානදුරේ විසූ මෙතුමාගේ දෙමාපියන් ධනයෙන් පිරීගිය ඉසුරුමත් පවුලක ප්‍රධානීන් විය. ඔවුනට අප රටේ විවිධ ප්‍රදේශවල සරුසාර ඉඩකඩම් රාශියක් විය. අක්කර ගණනින් ගතහොත් දහස් ගණනකි. රබර් වගාව ඔවුන්ගේ ප්‍රධාන වැවිලි භෝගයක්  විය. මෙරට “රබර් රජ්ජුරුවෝ “ යැයි හදුන්වනු ලැබූ හිටපු මහජන මන්ත්‍රීවරයෙකු වූ මතුගම විල්මට් පෙරේරා මහතා මේ පවුලට අයත් සාමාජිකයෙකි. දෙවනුව මොවුන්ට ධනය එන ප්‍රධාන මාර්ගයක් වූයේ අරක්කු නිෂ්පාදනයයි. ආතර් වී. දියෙස් මහතාගේ පියාණන් වූ ජෙරමියෙස් දියෙස් මහතා මෙම ව්‍යාපාර තුළින් එකල මේ රටේ විසූ ප්‍රබල ධනවතෙක් විය. එතුමා‌ගේ බිරිඳ වූයේ සෙලෙස්තිනා රුද්‍රිගු  මාතාවයි. මෙම දෙපළට දූ දරුවන් නව දෙනෙක් විය. ඒ අය අතර පුතුන් සිවු දෙනෙකි. දියණිවරුන් පස් දෙනෙකි. මෙම දරුවන් නව දෙනා අතර දෙවැනි දරුවා උපත ලද්දේ වර්ස 1886 පෙබරවාරි මස 10 වෙනිදාය. ඔහු නමින් ආතර් වී. දියෙස් නම් විය. පානදුරේ සාන්ත ජෝන් විදුහලෙන් අධ්‍යාපනය ආරම්භ කර පසුව ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වී උසස් අධ්‍යාපනය ලැබීය. 

සිටු කුමරුකු මෙන් ජීවිතය ගතකළ ආතර් වී. දියෙස්ට තම පියාගේ අරක්කු නිෂ්පාදනය සහ අලෙවිය පිළිබදව රුචියක් නොවිය. එය වඩාත් වර්ධනය වූයේ අනගාරික ධර්මපාල තුමන්ගේ සහ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමාගේ දේශණ ඇසීමෙන්ය. තමාගේ ජීවිතය තුළ මහා පෙරළියක්  සිදුකළ මෙම දේශන පිළිබදව තොරතුරු මවට පැවසූ ආතර් වී. දියෙස් සිසුවා පළමුව සිදුකළේ සිය මව වූ සෙලෙස්තිනා රුද්‍රිගු මාතාව තමාගේ පැත්තට යොමුකරවා ගැනීමය. ඒ අනුව තම පියා උපයන ධනය විශාල වශයෙන් සමාජ උන්නතිය උදෙසා කැප කිරිමට ආතර් වී. දියෙස් මහතාට අවස්ථාව උදාවිය. සිය මෑණියන්ද ඒ අයුරින් සමාජ සේවය සදහා සිය ස්වාමියා උපයන ධනය නිර්ලෝභීව  විය පැහැදම් කළේ දේශයේත්, ජාතියේත් අනාගත අභිවෘද්ධිය උදෙසාය. මෙතුමියගේ ධන පරිත්‍යාගය නිසා කොළඹ විශාඛා බෞද්ධ බාලිකා විද්‍යාලය අප දැයට උරුම විම විශේෂ සිද්ධියකි. 

1912 දී මේ රටේ විසූ ගිහි පැවිදි බෞද්ධ නායකයන් එකතු වී ආරම්භ කරන ලද අමද්‍යප මහා සභාවට එක්වූ ආතර් වී. දියෙස් තරුණයා අමද්‍යප තරුණ  නායකයෙකු ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවේ මෙරට පිළිවෙත් හෙළා දකිමින් කතා කිරිමට එයට එරෙහිව ක්‍රියා කිරිමටත් පියවර ගැනීම නිසා රජයේ උදහසට ලක්වූ පුද්ගලයෙක් විය. මෙහි ප්‍රතිපලයක් වූයේ 1915 දී අතිවූ මෙරට ජාතිවාදී අරගලයේ නායකයෙකු ලෙස සළකා ආතර් වී. දියෙස්  මහතාද අත්අඩංගුවට  ගෙන සිරගත කිරිමය. පසුව දැඩි කොන්දේසි මත නිදහස්ව පැමිණියද ඔහුගේ මූලික අරමුණු වෙනස් වූයේ නැත. 

කොළඹ  ආනන්ද විදුහලේ සංවර්ධනය උදෙසා ආරම්භ කර තිබූ සංවර්ධන අරමුදල සදහා තම පෞද්ගලික ආධාර වලට අමතරව පානදුර ප්‍රදේශයේ  ගෙයින් ගෙයට යමින් බෞද්ධ අධ්‍යාපනයේ වැදගත්කම ජනතාවට අවබෝධ කර දෙමින් එකතු කළ ආධාර මුදල් ආනන්ද විදුහලේ සංවර්ධනය උදෙසා විශාල පිටුවහලක් විය. 

ආතර් වී. දියෙස් මහතාගේ මහා ව්‍යායාමය වූයේ පාලක ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් පිටරටින් ගෙන්වා අප රටේ ජනතාවට හුරුකරන ආහාර රටාව වෙනස් කිරිමය. ඒ අනුව තිරිඟු පිටි නිෂ්පාදන පරිභොජනය කිරිම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජනතාවගේ ආහාර වේලට දේශිය නිෂ්පාදනයන් වන අල, බතල, මඤ්ඤොක්කා, ඉන්නල, ගහල ආදී අල වර්ගත් කොස්, දෙල් ආදියත් යොදාගන්නා ලෙස ජනතාව දැනුවත් කළේ ඉතා හැඟුම්බරවය. දේශණයෙන් හෝ ලේඛණයෙන් පමනක් නොව ක්‍රියාවෙනුත්  තමා පවසන දෑ නංවාලිම සදහා කොස්පැළ රෝපණය කිරීමේ ව්‍යාපාරය ඇරඹුවේ ඉමහත් ප්‍රීතියෙනි. කොස් පැල සිටුවීම, කොස් පැළ තවාන් ඇති කිරීම, කොස් ඇට එකතු කිරීම ඒවා රට පුරා බෙදාහැරිමට  තම  කාලය, ශ්‍රමය, ධනය නිර්ලෝභීව කැප කරන්නට විය. 

පාසල්, දහම් පාසල්, දායක සභා, මහිලා සමිති, ග්‍රාම සංවර්ධන  සමිති ආදියට තොග  වශයෙන් කොස් පැළ බෙදාදිම සිදුකරන ලදී. ගම්වලට ගොස් “ කොස් කඳවුරු” යනුවෙන් වැඩමුළු  පවත්වා කොස් වලින් සැකසිය හැකි ආහාර වර්ග නිෂ්පාදනය පිළිබදව ජනතාව දැනුවත් කළේ ප්‍රායෝගිකවය. දරුවන්ගේ ජිවිතවල වැදගත් දිනවලදී  පැළයක් සිටුවීමට පුරුදු කරන ලෙස ඉල්ලා සිටියේය. තමා පළමුවෙන්ම ඉඩමක් ලබාගත්විට ඉඩමට සරිලන ලෙස කොස් ගස් වගාකිරිමට උපදෙස් දුන්නේය. කොස් යන වදන යෙදෙන ගම් පිළිබදව ලේඛණයක් සකසා ප්‍රකාශයට පත් කළ අතර කොස් ආහාර නිෂ්පාදන පිළිබදව පත්‍රිකා ලියා මුද්‍රණය කර බෙදා හැරියේය. මේ සදහා එතුමාට උදවු කළ නායකයෙකු වූයේ හිටපු අගමැතිවරයෙකු වු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාය. එතුමා ආතර් වී. දියෙස් මහතාට කොස් ඇට පාර්සල් රට පුරා යැවීමට නොමිලයේ තැපැල් පහසුකම් හිමිකර දුන්නේය. මෙතුමාගේ මෙම මහා ව්‍යායාමය නිසා ආතර් වී. දියෙස් මහතා හදුන්වන ආදරබර නාමය ලෙස “ කොස් මාමා” යනුවෙන් ප්‍රසිද්ධ විය. 

මෙතුමාගේ සේවය අඟය කළ එංගලන්ත රජය මඟින් “ ශ්‍රීමත් නාමය යෙදෙන (සර්) නයිට්  පදවිය පිරිනැමීමට ආතර් වී. දියෙස් මහතාට කැමැත්ත පළ කළත්, එම නාමයන්ට වඩා මට “ කොස් මාමා” යන නාමය අඟනා බව පවසා එය ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ලංකාවේ ආණ්ඩු මඟින් එතුමාට සෙනෙට් සභාවේ මන්ත්‍රී පදවියක් ලබා දෙන්නට යෝජනා කරන සෑම අවස්ථාවකම එම තනතුරු තමාට ප්‍රයෝජනවත් නොවන බව පවසා කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම සිදුවිය. 

වර්තමානයේ පානදුර නගරයේ පිහිටි වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමි ප්‍රතිමාව අසළ පිහිටි තම නිවස ඉදිරිපිට ගාලු පාරට මුහුණලා විශාල පුවරුවක් සවිකළ දියෙස් මහතා දිනපතාම ජනතාවට ප්‍රයෝජනවත් වන උපදේශක කවියක් ලියා ප්‍රකාශ කළේ ජන සමාජයේ සුභ සිද්ධිය උදෙසා ජන ජිවිතයට යමක් එනතු කර ගන්නට උපදේශණයක් ලෙසය. 

මෙලෙස අති විශාල සේවයක් අප රටටත්, ජාතියටත් කළ ආතර් වී දියෙස් ශ්‍රීමතාණෝ මීට වසර  62 කට පෙර 1960 ජූලි 31 වන දින මෙලොව හැර පරලොව සැපත් වුයේ වසර 74 ක් ජිවන ගමන නිමා කරමිනි.  කොස් ගස් තිබෙනතුරු  අමතක නොවන නාමයක් තබා දැයෙන් සමුගත් මෙතුමාගේ මහා සංවර්ධන වැඩපිළිවෙල වර්තමානයේ සියලුම දෙනාගේ අවධානය යොමුකර ක්‍රියාත්මක කළ යුතු මෙහෙවරක් ලෙස මම දකිමි.
 

-වජිර අබේවර්ධන- 
සභාපති 
එක්සත් ජාතික පක්ෂය 
පාර්ලිමේන්තු මන්ත්‍රී  
 
Advertiesment