Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ජනතාව කෝප නොකර 19 බල ගන්වනු 


2022-06-15 15656

 

තව දුරටත් ජනතාව රටනු බැහැ 

 

රටට-ලෝකයට දුන් පොරොන්දු වහාම ඉටු කරනු 

 

(ඇන්ටනී අගාස් වාස්)

 

ජනතාව තව දුරටත් කෝප නොකර රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම බල ගැන්වීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් බදාදා (15) කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව අවධාරණය කර සිටී කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

අපගේ රාජ්‍ය නායකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙමින් මිනිස් අයිතීන් සුරකින බවට ජගත් මහ ලේකම්වරයාට සහ ලෝක ප්‍රජාවට පොරොන්දු වූ ආකාරය නැවතත් සිහි කරන්නට කැමතියි. එමෙන්ම 19 වැනි සංශෝධනය නැවත බල ගන්වන අතර විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බව එතුමා ශ්‍රී ලාංකික පුරවැසියන් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. 

එමෙන්ම බලයට පැමිණ අවුරුද්දකින් නව ව්‍යවස්ථාව ගෙන ඒමටත්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කොන්දේසිය අවුරුද්දකින් ඉවත් කරන බවටත්, ආගමික නායකයන් ඇතුළු සකල ජන වාසීන්ට සහතික වුණා. මේ පොරොන්දු ලබා දුන්නේ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා විසිනුයි. මේ කිසිවක් අද වන තුරු ඉටු කර නැහැ. නව ව්‍යවස්ථාවක් එළි දක්වා නැහැ. නව ව්‍යවස්ථාව වචනවලට සීමා වෙලා.

ලෝකයා හමුවේ දුන් එවැනි පොරොන්දු එළිපිට උල්ලංඝනය වන විට එවැනි රටක රාජ්‍ය නායකයාගේ පොරොන්දු ලෝකයා විශ්වාස කරයිද..? රට වැසියා විශ්වාස කරයිද..? ආයෝජකයා විශ්වාස කරයිද..? රට සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විශ්වාස කරයිද..? නැහැ.

අද අපි කණගාටුවෙන් සහ ලජ්ජාවෙන් මේ ගැන කරුණු කියන්නේ රජය විසින් ලබා දුන්  පොරොන්දු දැන් එළිපිටම කඩන නිසයි. මෙවැනි සිද්ධි නිසා ජනාධිපතිවරයාට පමණක් නොව ඔහු නියෝජනය කරන ශ්‍රී ලාංකික ජනතාවට ද විශාල අපකීර්තියක් ලැබෙන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි.

20 වැනි සංශෝධනය බල පවත්නාතාක් මෙරට මහ ජන නියෝජිතයින් සේම පුරවැසියන්ද ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍ර මූලධර්ම අමු අමුවේම උල්ලංඝනය කෙරෙන ඒකාධිපති, කෲර, අසංවර පාලනයක බව බහුතර මතයයි. අධිකරණය ඉක්මවා යන බලතල ජනාධිපතිවරයා සතුව තිබෙනවා. මහ ජන නියෝජිතයින් බලතල නොමැතිව අසරණ වී සිටිනවා. සර්ව බලධාරී එක් පුද්ගලයකු මිලියන 22 ක් ඉක්ම වන මුළු ජනතාවගේ ඉරණම පාලනය කරනවා. 

අද රට අභ්‍යන්තරයේ 20 වැනි සංශෝධනයට එරෙහිව දැඩි විරෝධයක් පවතිනවා. ආගමික නායකයන් සේම සමස්ත ජන ගහනයෙන් 82% ක් පමණද මෙම දරුණු ව්‍යවස්ථාව නිසා රට විනාශයට පත්වූ බවත්, එහෙයින් එම ව්‍යවස්ථාව වහා ඉවත් කළ යුතු බවටත් මතයක් දරන බවට සමාජ සමීක්ෂණවලින් පෙනී යනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනුව මිලියන 5කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙනුත්, දරුවන් 56,000ක් මන්දපෝෂණයෙනුත් පෙළෙන බවට සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා. අද අපි ලෝකයා හමුවේ අසරණ වී සිටිනවා. අපට මිතුරන් විරලයි. රටට පිළිගැනීමක් සහ ගෞරවයක් ඇත්තේ නැහැ. පිළිගැනීම සහ ගෞරවය බලෙන් ලබා ගත නොහැකියි. පිළිගැනීම සහ ගෞරවය උපයා ගත යුතුයි.

එම නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියන්නේ පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙසයි. ජනතාව මේ වෙනුවෙන් දක්වන උනන්දුව අපි දිනපතා දකිමින් සිටිනවා. මේ කරුණු සඳහන් කරන්නේ වගකීමෙන් යුතුවයි. විවිධ හේතු දක්වමින් ජනතාව තවත් කෝප කරන්නට එපා. මේ හඬ රට වටෙන්මත්, අරගල භූමිවලිනුත් අපට නිතර ඇසෙනවා. ඒ හඬ ඉදිරියට තවත් බලගතු වේවි. එම විරෝධය සුළුවෙන් තකන්නට එපා.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment