
වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත. පරාජිත බිඳුණු හඬකින් ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තීරණය රටේ ජනතාවට පවසන විට මුළු රටම බිඳ වැටී අඳුරේ ගිලී අවසන්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුව තරමටම, ජනතාව ද අන්ත අසරණ කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත් වුණි. එහි දී, IMF ආයතනය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි. ඒ අතරින් පළමුවැන්න, මුදල් නීති පනත සම්මත කර ගැනීමය. 2019 මුදල් නීති පනත සම්මත කර ගැනීමට යහ පාලන රජය කටයුතු කරමින් සිටින විට ආණ්ඩුව බිඳ වැටුණි. මුදල් නීති පනතේ වැදගත්ම කොටස මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහමහා භාණ්ඩාගාර ලේකම් මුල්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමය. රටේ බඩු මිල ඉහළයාමට ප්‍රධානම හේතුව වී ඇති හිතුමතේ මුදල් අච්චු ගැසීම නතර කර රජයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මුල්‍ය වෙළෙඳ පොළෙන් සපයා ගැනීම අනිවාර්ය කිරීම එහි අරමුණයි. රටේ මුල්‍ය විනය ඇති කිරීම එහි දිගු කාලීන වාසිය යි.
මේ ලියුම්කරු මීට පෙර ද නැවත නැවතත් අනාවරණය කළ පරිදි, ශ්‍රී ලංකා රජය IMF සමඟ පස්සා දොරෙන් ගණුදෙනු ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස පත්වූ මොහොතේදීම ය. හිටපු මහ බැංකු ප්‍රධානියෙකුගේ උපදෙස් පරිදි, ඉතා බලවත් තානාපති නිලධාරියෙකු මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙම මැදිහත්වීම සිදු විය. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික විනය සම්බන්ධයෙන් IMF සංවිධානය ඇඟයීම් දෙකක් ද, කේෂ්ත්‍ර හඳුනා ගැනීමක් ද සිදු කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද ශ්‍රී ලංකාවට පැන විය හැකි කොන්දේසි අතර මුලිකම වන්නේ 2019 ට පෙර පැවති බදු ක්‍රමය නැවත ස්ථාපනය කර ආදායම් ඉහළ නංවා ගැනීම ය. 2019 වත්මන් රජය බලයට පැමිණ සිය ව්‍යාපාරික හිතවතුන්ට ලබාදුන් බදු සහන ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත්වීමට මුලික හේතුවකි. වත්මන් රුපියල් අර්බුදයට ප්‍රධානතම හේතුව ද එම බදු සහනයයි. ගජ මිතුරු බදු සහන හේතුවෙන් ඉතිහාසයේ ඉහළම ලාභ වාර්තා කරමින් සිටින රජයේ ව්‍යාපාරික හිතවතුන් මේ යෝජනාවට මාරාන්තික ලෙස විරුද්ධවීම නොවැළක්විය හැකිය.
විදුලිය සහ ඉන්ධන සම්බන්ධයෙන් මිල සුත්‍ර හදුන්වාදීම IMF යහ පාලන රජයට ඉදිරිපත් කළ ඉල්ලීමකි. එදා මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා මුල් වරට මිල සුත්‍රය හදුණ්වා දුන්නේ IMF යෝජනාවකට අනුවය. වත්මන් ඉන්ධන අර්බුදයේ කේන්ද්‍රය වන්නේ මිල සුත්‍රයෙන් ඉවත්ව හිතුවක්කාරී ලෙස ඉන්ධන මිල තීරණය කිරීම ය. ණය පොලී අනුපාතික දේශපාලන අවශ්‍යතාව මත නොව, වෘත්තිකයින්ගේ උපදෙස් මත තීරණය කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය විනයක් ඇති කිරීම IMF කොන්දේසියකි. පොලී අනුපාත ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඑලය වනු ඇත්තේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සාමාන්‍ය පෙළ අසමත් 62,000ක් සහ උපාධිධාරීන් 52,000ක් රාජ්‍ය සේවයේ මුලික වැටුපට බඳවා ගෙන ඇත. මේ අය අද කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලබමින් සිටිති. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් IMF කොන්දේසිය රාජ්‍ය සේවය කුඩා කිරීම හෙවත් රැකියා කප්පාදු කිරීම ය. විශාල වශයෙන් අලාභ ලබමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ඇතුළු රාජ්‍ය ආයතන 40 කට වැඩි ප්‍රමාණයක් විකුණා දැමීම හෝ ප්‍රති ව්‍යුහගත කිරීම කරන ලෙසට IMF කොන්දේසි රජයට ඉදිරිපත් වනු ඇත.
2013 දී අය වැය මගින් මුදල් අවප්‍රමාණය කිරීම (රුපියල් 113 සිට 116 දක්වා) ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ බැංකුවට පිටින් විදේශ විනිමය අනුපාත වෙනස් කිරීමේ අශෝභන සහ අතාර්කික අවස්ථාවකි. ගෙවුණු සතියේ දී එම ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය විය. කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා විදේශීය ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ඩොලර් එකකට රුපියල් 38 ක අතිරේක මුදලක් ගෙවීමට යෝජනා කර තිබුණි. මුදල් අමාත්‍යාංශය (බැසිල් රාජපක්ෂ) සහ මහ බැංකුව (අජිත් නිවාඩ් කබ්රාල්) අතර පවතින සීතල යුද්ධය නිසා කැබිනට් තීරණයට පෙර මහ බැංකුව රුපියල පා කිරීමට තීරණය කළේය. දවසක් ගත වන තුරුම ඩොලරයේ සැබෑ අගය පිළිබඳ ආර්ථි විශේඥයින්ට පවා අවබෝධයක් ඒ නිසා ලැබුණේ නැත. එහි ප්‍රතිඑලය වී තිබෙන්නේ මේ වන විට ඩොලරයට රුපියල් 300 දක්වා රුපියල වේගයෙන් බාල්දු වීම ආරම්භ වීමය.
බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම, ඉන්ධන මිල සුත්‍රය, පොලී අනුපාත, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය, මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මහ බැංකුව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීම, ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සාකච්ඡා ඇරඹීම සහ ඉන්දියාව හරහා කෙටි කාලීන ණය පහසුකම් සැපයීම යන පියවරවලින් පසුව රුපියල පා කිරීම මගින් විනිමය අනුපාත ස්ථාවර කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ මාර්ග සිතියම වූවේය.
කෙසේ නමුත් මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කළේ ඒ පියවර සියල්ලට කලින් සහ අවම වශයෙන් කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් කිරීමකින් තොරව ගෙවුණු සතියේ දී රුපියල පා කර හැරීමය. මේ සිද්ධිය වනාහී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර බල අරගලයේ තීරණාත්මක සංධිස්ථානයකි.
අද වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය සහ ණය වාරික අතර අනුපාතය අනුව මොනම අයුරකින් හෝ රට බලංකොලොත්වීම නොවැලැක්විය හැකිය. ඩොලර් අර්බුදයට අමතරව, රටේ රුපියල් අර්බුදයක් ද මතුව ඇත. එවැනි රටකට ණය ලබාදීමට IMF ආයතනයට නීතියෙන් හැකියාවක් නැත. එබැවින්, ණය ප්‍රතිව්‍යුහ ගත කරණයකට ශ්‍රී ලංකාව යොමු කිරීමට IMF ආයතනයට සිදු වේ.
ශ්‍රී ලංකාව ආයතන, රාජ්‍ය, සංවිධාන සහ පුද්ගලයින් 150 කට වැඩි සංඛ්‍යාවකින් මුදල් ණයට ගෙන ඇත. මෙම ආයතන-රාජ්‍ය-සංවිධාන සමඟ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට සාකච්ඡා ඇරඹීමට ශ්‍රී ලංකා රජයට සිදු වනු ඇත. අනෙක් අතට, අවශ්‍ය වන්නේ නම් IMF එම සාකච්ඡා සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරනු ඇත.
කෙසේ නමුත් අද, ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන්‘ වෘත්තීය භාවයකින් යුතුව කටයුතු කළ හැකි, වෘත්තීය නායකත්වයක් නැත. ඒ නිසාම, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කණ්ඩායමක් සකස් කර ගැනීම පහසු නැත. අනෙක් අතට, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ධූර කාලයේ අතිරික්ත ධූර කාලය දරමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධූරයෙන් 2022 ජූලි 4 දින දක්වා ඉවත් කළ නොහැකිය. දෙවන ධූර කාලයක් සඳහා අජිත් නිවාඩ් කබ්රාල් පත්වීම වැලැක්වීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් වත්මන් ආර්ථික අර්බුදයට සහ බල ශක්ති අර්බුදයට එමගින් ලැබෙන සහනයක් නම් නැත.

Lanka Newsweek © 2026