Sunday 31st of May 2026

English Tamil
Advertiesment


ඔබගේ එකම අභියෝගය සහ බාධකය ඔබේම මනසයි 


2022-02-11 14906

 

ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත

 

ඔබගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි 

 

කණස්සල්ල මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිත කරයි 

 

"The mind is everything. What you think you become" -Lord Buddha-

 

 
(දේශප්‍රිය නානායක්කාර)

 

මිනිසා (ඔබ) කරන දේ, මිනිසාගේ එසේ නැත හොත් අපගේ ජීවිතය ගත කරන ආකාරය සහ අප අත්කර ගන්නා දේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ අපගේ අභ්‍යන්තර මනස (The Inner Mind) බව බහු ආංශිකව පිළිගැනිමට ලක් වී ඇත. අභ්‍යන්තර මනස අපගේ ජීවිතයේ ප්‍රධාන ගාමක බලවේගයයි. ඇත්ත වශයෙන්ම, අපගේ හැඟීම්, සිතුවිලි, තීන්දු තීරණ, සංජානන සහ තේරීම් නිර්මාණය කිරීමේ පදනම අභ්‍යන්තර මනසේ ක්‍රියාකාරිත්වයයි.

මිනිසාගේ මනසෙහි, එනම් අභ්‍යන්තර මනසෙහි තත්ත්ත්වය සහ ක්‍රියාකාරිත්වය අපගේ ජීවිතයේ ගුණාත්මක භාවයට බලපානු ලබයි. ප්‍රශ්නය වන්නේ, (01) අපගේ මනස කළමනාකරණය කරන්නේ කෙසේද, (02) පාලනය කළ නොහැකි සිතුවිලි ප්‍රවාහයක් සමඟ අප කටයුතු කරන්නේ කෙසේද සහ (03) ධනාත්මක සිතුවිලි ඇති කර ගන්නේ කෙසේද යන්නයි. 

මේ මොහොතේ සුන්දරත්වය අත්විඳින්න..! අප අත ඇති කර්තව්‍යය කෙරෙහි අවධානය යොමු කරන්න..! නිර්මාණශීලිත්වය අභ්‍යාස කරන්න..! කරුණාව සහ කෘතඥතාව සපිරි සැබෑ සම්බන්ධතා පෝෂණය කරන්න..! අනෙකාට ගරු කරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජීවන ක්‍රමය අභ්‍යාස කරන්න..! (Democratic Life Skills) 

අප ආදරය කරන දේවල් සැලකිල්ලට ගැනීම-ආරක්ෂා කර ගැනිම වැනි මානවිකරණයේ ලාලසාවන්වලට සහ ඍණාත්මක සිතුවිලිවලට ඇලී ගැලී සිටීම හේතුවෙන් ඔබ මන්දෝත්සාහි වනු ඇත. අපගේ භෞතික ශක්තිය, මානසික ශක්තිය, අභ්‍යන්තර පැවැත්ම සහ බාහිර පැවැත්ම පිළිබඳ හැඟීම හෝ දැනුවත්භාවය ක්ෂයවීම වළක්වා ගැනීමේ මනසෙහි ප්‍රවණතාවන් අප ජය ගන්නේ කෙසේද..?

 
මනසෙහි ප්‍රවණතා

 

2005 දී ජාතික විද්‍යා පදනම (NSF) දිනකට ජනිත වන මිනිස් සිතුවිලි පිළිබඳ පර්යේෂණ සාරාංශ ලිපියක් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට සිතුවිලි 12,000ත් 60,000ත් අතර ප්‍රමාණයක් ජනිත වන බව සොයා ගන්නා ලදී. එම සිතුවිලි දහස් ගණනින් 80%ක් ඍණාත්මක වන බවත්, 95%ක් ම පෙර දිනයේ ද මතු වූ එකම පුනරාවර්තන සිතුවිලි බව ද නිරික්ෂණය වී ඇත. (The National Science Foundation (NSF) is an independent agency of the United States government that supports fundamental research and education in all the non-medical fields of science and engineering.)

අප සිතන දේ අප ප්‍රකාශ කරන කරුණුවලට (දේවලට) බලපානු ලබයි. අප සිතන සහ පවසන දේවල් අප කරන දේවලට බලපායි. අප පවසන සහ කරන දේවල් අපගේ පුරුදු බවට පත් වේ. අවසානයේදී අප අපගේ චරිතය තීරණය කරන්නේ අපගේ පුරුදුවලින් ඇති වන ගති ලක්ෂණ එකතුවෙනි. එම ක්‍රියාවලිය අපගේ ජීවිතයේ මාවත සඳහා පුර්වාදර්ශ සකසනු ඇත. 

මනෝ විද්‍යාවේදී, ගති ලක්ෂණ න්‍යාය (Trait theory) යනු මානව පෞරුෂය අධ්‍යයනය කිරීමේ ප්‍රවේශයකි. ගති  ලක්ෂණ න්‍යායවාදීන් මූලික වශයෙන් උනන්දු වන්නේ ගති ලක්ෂණ මැනීම සඳහා වන අතර එම ගති ලක්ෂණ පුරුදු හැසිරීම් රටාවන්, සිතුවිලි සහ චිත්තවේගයන් ලෙස අර්ථ දැක්විය හැක. "Watch your thoughts, for they become words.  Watch your words, for they become actions.  Watch your actions, for they become habits. Watch your habits, for they become character. Watch your character, for it becomes your destiny."

අපට ඇත්ත වශයෙන්ම අපගේ සිතුවිලි පාලනය කර අපගේ ජීවිතය වෙනස් වන ආකාරය තීරණය කළ හැකිය. වරින් වර ඔබේ මනසෙහි ඉස්මතු වන සිතුවිලි පාලනය කිරීමට ඔබට නොහැකි විය හැකි බව පිළිගත්තද, ඔබ ඒවා සමග සාර්ථකව කටයුතු කරන්නේද..? එසේ නැත හොත් කණගාටුවට පත් වන්නේද යන්න ඔබටම තෝරා ගත හැකිය. ඔබ ඒ සඳහා මනස පුහුණු කර ගැනිමට සමත් විය යුතුය.

මනසෙහි එක් ප්‍රවනතාවයක් වන්නේ ඍණාත්මක දේ කෙරෙහි අවධානය යොමු කිරීම සහ නොයෙක් විට කණස්සල්ලට හේතු වන එකම දේ නැවත නැවත නැවතත් සිහිපත් කිරිමයි. නොයෙක් විද්‍යාත්මක නිරීක්ෂණයන්හී නිගමනය වී ඇත්තේ අපගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිත වන අතර එහි 
ප්‍රතිඵලය පදනම් විරහිත අශුභවාදී හැඟීම් බවයි.

2005, කෝනල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයා ගත් පරිදි, පළමුව අප කණස්සල්ලට පත් වන දේවලින් 85%ක් කිසි විටෙකත් සිදු නොවේ. දෙවනුව, සිදු වූ කණස්සල්ලෙන් 15%ක් සමඟ, විෂයයන්ගෙන් 79%ක් සොයා ගත්තේ එක්කෝ තමන්ට බලාපොරොත්තු වූවාට වඩා හොඳින් කටයුතු කළ හැකි බව හෝ දුෂ්කරතාවය ඒ ඒ පුද්ගලයාගේ දෛනික ජීවිතයට වටිනා අත්දැකිම් සහ විවිධාකාර පාඩම් ඉගැන්වූ බවයි. 

ඒ අනුව සිතුවිලිවල පුරුද්දක් වන නොයෙක් විට කණස්සල්ලට හේතු වන එකම දේ නැවත නැවත නැවතත් සිහිපත් කිරිම පදනම් විරහිත කණස්සල්ල පිරි මානසිකත්වයකට, ආතතියකට හසහ වෙහෙසකට ප්‍රධාන හේතුවකි. එම තත්ත්වය මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිත කරය. එනමුත් ධනාත්මක මනෝභාවය පවත්වා ගැනීම පිළිබඳවු නොයෙක් විධ අධ්‍යයනයන් විසින් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ ධනාත්මක මනෝභාවයන් මිනිසුන්ට නිර්මාණශීලී වීමට, නිදහසේ සිතීමට සහ වඩාත් පරිකල්පනීය වීමට ඉඩ සලසන බවයි. 

මනෝවිද්‍යාවේදී මනෝභාවයක් යනු බලපෑම්කාරී තත්ත්වයකි. (In psychology, a mood is an affective state) මනෝභාවයන් සාමාන්‍යයෙන් විස්තර කරනුයේ ධනාත්මක හෝ සෘණ සංයුජතාවයක් නොහොත් චලිතතාවක් (Valence) ඇති ලෙසයි. වෙනත් වචනවලින් කිව හොත්, මිනිසුන් සාමාන්‍යයෙන් හොඳ මනෝභාවයක් හෝ නරක මනෝභාවයක් ගැන කතා කරයි.

සැබැවින්ම සිතුවිලිවල අභ්‍යන්තර කේන්ද්‍රීයභාවය සහ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවනාමය ශිල්ප ක්‍රම දිනපතා පුහුණුවීම සහ සිතුවිලි අලුත් කර ගැනිම සඳහා ශාරීරිකවත් මානසිකවත් විවේක ගැනීමේ වැදගත්කම අතිශයින්ම තීරණාත්මකය. අපගේ මනස අපගේ තිව්‍ර අභියෝගය සහ බාධකය විය හැකි නමුත්, අප එම මනස දක්ෂ ලෙස කළමනාකරණය කළ හොත් ඒ මනසම අපගේ විශාලතම මිතුරා විය හැකි බව ස්‍ථීරය. පුද්ගල සංවර්ධනයේ සහ කාර්ය සාධනයේ නව උසකට ළඟා වීමට විවේකී පුහුණු මනසේ ප්‍රවණතා ඉතාමත් වැදගත්මය.

මානව සංහතියේ අද්‍යතන පරම්පරාවේ විශාලතම විප්ලවය නම්, මිනිසාගේ මනසෙහි අභ්‍යන්තර ආකල්ප (Internal Attitudes) වෙනස් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ බාහිර අංග වෙනස් කළ හැකි බව සොයා ගැනීමයි. ආකල්ප යනු පුද්ගලයෙකු, අදහසක් හෝ වස්තුවක් කෙරෙහි අපගේ ඇගයීම් හෝ හැඟීම් වන අතර සාමාන්‍යයෙන් එම ආකල්ප ධනාත්මක හෝ ඍණාත්මක වේ. ආකල්පමය වෙනසක අභ්‍යන්තර ආකාරයක් යනු සංජානන අසමගිය හෝ අපගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් ගැටෙන විට අප අත්විඳින ආතතියයි. "We are shaped by our thoughts; we become what we think. When the mind is pure, joy follows like a shadow that never leaves." -Lord Buddha-

ඔබේ අභ්‍යන්තරයට (The Emotional and Spiritual Part of Someone) සම්බන්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ වටිනාකම්, දැක්ම, අභිප්‍රේරණය සහ ජීවිතයේ විශ්වාසයන් ගැඹුරින් දැන ගැනීම වන අතර ඒ සඳහා අඛණ්ඩ ස්වයං දැනුවත්භාවයක් සහ ස්වයං විමර්ශනයක් අවශ්‍ය වේ. "The Inner Self" යනු පුද්ගලයෙකුගේ පුද්ගලික සහ අභ්‍යන්තර අනන්‍යතාවයයි. එම ස්වභාවය බාහිර සමාජ බලවේග සහ සම්බන්ධතා මගින් නිර්වචනය කරන ලද අනන්‍යතාවයන්ගෙන් වෙනස් වූ එකකි. එම අනන්‍යතාවය පුද්ගලයෙකුගේ වටිනාකම්, විශ්වාසයන්, ඉලක්ක සහ අභිප්‍රේරණයන් සමඟ සමීපව බැඳී ඇත.

 

 

Advertiesment