කෘෂි රාසායන තහනම ඉවත් කළ ගැසට්ටුව ගොවියා රවටන ප්‍රෝඩාවක් වන අතර මේ දක්වාම කිසිදු කෘමි නාශයකයක්, වල් නාශකයක් හෝ දිලීර නාශකයක් රටට ගෙන්වීමට අවසර දී නැතැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
කෘෂි රසායන ආයනය තහනම ඉවත් කරලා දැනට මාසයක් ගත වෙලා. තවම එකම කෘෂි රාසයනයක්වත් ගෙන්වන්නට නිල අවසරය ලැබිලා නෑ. පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනිවාර්ය නිවාඩු යවලා දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළා. වැඩ බලන රෙජිස්ට්‍රාර් තවම එකම කෘෂි රසායනයකටවත් අනුමැතිය දී නෑ. ඊට අදාළ සියලු ලිපි ගොනු තියෙන්නේ මහාචාර්ය ලේකම්ගේ මේසය උඩ.
කෘෂි රසායන ආනයනය සඳහා ඉදිරිපත් කළ සියලුම ලේඛන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය ලේකම්ගේ මකර කටට වැටිලා. ඇස් දෙකට දැකපු නැති චීන අශුචි කන්දට ඩොලර් ලක්ෂ 67 ක්, (රුපියල් බිලියන 1.34) ක් ගෙව්වේ මේ කාබාසිනියා ලේකම් තමයි. ඉන්දියාවෙන් නැනෝ යූරියා 400% ක් වැඩි පුර ගෙවලා ගෙන්නුවෙත් මේ ලේකම් ම තමයි. ඉන්දීය බෝට්ටු තහනම් කෘෂි රසායන ගෙන්වන්න අවශ්‍ය පරිසරය හදන්න තහනම් කෘෂි රසායන වැටලීම් නැවැත්තුවෙත් මේ ලේකම් ම තමයි.
ගිය සතිය පුරාම කෘෂි රසායන ආනයන ඉල්ලුම්පත් ලේකම් ළඟ අනුමැතිය දෙන්නේ නැතුව තියා ගෙන ඉන්නවා. හැබැයි, මොහු ශ්‍රී ලංකාවේ මාළු ඔළු ටික, වැසිකිලිවලවල් ටිකට ඩොලමයිට් දාලා පුපුරන කෑන් හදලා රට පුරා බෙදනවා. කුණු මාළු සුවඳට, අශුචි රසට බල්ලොයි, ඌරෝයි, කඹරයොයි මේ වන විට කුඹුරු විනාශ කරනවා. කෘමි හානිය නැවැත්තුවොත් අස්වැන්නෙන් 30% ක් බේරෙනවා. ඒ බව දැන දැනම කෘමි නාශක ආනයනය නවත්වා වගා විනාශ වෙන්න ඉඩ හරිනවා.
ආණ්ඩුව චීන අශුචි ගොඩට දක්වන ආදරේ රටට බත සපයන ගොවියාට දක්වන්නේ නෑ. මහ කන්නය වගා කළ ගොවියෝ පොහොර නැතිව - කෘෂි රසායන නැතිව අන්ත අසරණ වෙලා සිටිනවා. වගා කළ බිම වල් පැල ආදියෙන් වැහිලා යනකල් ආණ්ඩුව බලා ගෙන ඉන්නවා. බටු මිරිස්, බඩ ඉරිඟු, ගොයම් ටික පනුවෝ, දළඹුවෝ, කෑඩෑවෝ, පිපියෝ අතින් විනාශ වන තුරු ආණ්ඩුව බලා ගෙන ඉන්නවා. වැස්සත් එක්ක උඩරට, පහතර, මැද රට හැම තැනම දිලීර රෝගවලින් වගා විනාශ වෙනවා. මීදුමත් එක්ක තේ වගාව දිලීර රෝගවලින් විනාශ වෙනවා.
මේ හැමදේම සිදු වන තුරු ආණ්ඩුව බලා ගෙන ඉන්නවා. නැනෝ පොහොරවලින් හොරකම් කළ රාජපක්ෂ ගැන මම පාර්ලිමේන්තුවේ කිව්වා. අශුචි නැවෙන් කොමිස් අර ගෙන ඉවරයි. දැන් තවත් අශුචි නැවක් ඇනවුම් කරන්න යනවා. මේ කන්නයට ගොවියාට එකම කෘෂි රසායනයක්වත්, පොහොර මිටියක්වත් අලුතෙන් ගෙන්වන්නේ නෑ. ඊළඟ වගාවට ජනවාරි - පෙබරවාරි වගාවට අවශ්‍ය බඩු ගේන්නවත් කෘෂිකර්ම ලේකම් අවසරය දෙන්නේ නෑ. මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ ගබඩාවල තිබුණ යුරියා ටික බඩ ඉරිඟු ගොවියාට හරි වෙලාවට දුන්නේ නෑ. ඒ නිසා මුළු වගාවම කහ පාට වෙලා. ගොවිතැන දන්නේ නැති පොතේ ගුරාලා රට සහ කෘෂිකර්මය වනසනවා.
Lanka Newsweek © 2024