Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


තලේබාන් සංවිධානය වොලිබෝල් ක්‍රීඩිකාවකගේ හිස ගසා දමලා


2021-10-23 14876

 
(හේමන්ත තුසිත කුමාර)

 

ඇෆ්ගන් කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායමේ තරුණ සාමාජිකාවක් වන මහජුබින් හකිමි ඔක්තෝබර් මස මුලදී තලේබාන් සංවිධානය විසින් හිස ගසා දැමූ බව කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ සුරයා අෆ්සාලි පවසයි.

සුරයා අෆ්සාලි සහ පර්සියානු ඉන්ඩිපෙන්ඩන්ට් සමඟ තිබූ සම්මුඛ සාකච්ඡාවකදී, මහජුබින් හකිමි මරා දමා ඇති බව තහවුරු කර ඇත. නමුත් ක්‍රීඩිකාවගේ පවුලේ අය හැර වෙනත් කිසිවෙකු සිද්ධිය සිදුවූ නිශ්චිත වේලාව හෝ ස්ථානය නොදන්නා බව පවසා ඇත.හකිමිගේ පවුලට නිහඬව සිටින ලෙස තර්ජනය කර තිබූ නිසා මෙම සිදුවීම සැඟවී තිබෙන්නට ඇත.

බොහෝ ක්‍රීඩිකාවන් මේ ආකාරයෙන් තර්ජනයට ලක්ව සිටින බව ඇය තව දුරටත් පවසා ඇත. මෙලෙස තර්ජනයට ලක්ව ඇත්තේ විදේශීය සහ දේශීය තරඟවලට තරඟ කර ඇති එමෙන්ම මාධ්‍ය වැඩසටහන්වලට පෙනී සිටි අයයි.

මෑතකදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අල්ලා ගත් දා සිට විවිධ නගර වල ක්‍රීඩිකාවන් සොයමින් ඔවුන්ගේ නිවෙස් ආක්‍රමණය කරමින් සිටින බව ද අෆ්සාලි පවසයි.

පුහුණුකරු පැවසුවේ ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාමට හැකියාව ලැබී ඇත්තේ කණ්ඩායමේ වොලිබෝල් ක්‍රීඩිකාවන්  දෙදෙනෙකුට පමණක් බවයි.

වොලිබෝල් කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් සහ සෙසු ක්‍රීඩාවල නිරත කාන්තා ක්‍රීඩිකාවන් දැඩි අසීරුතාවයට, බලාපොරොත්තු සුන්වීමට හා භීතියට පත්ව ඇති බවත් සෑම කෙනෙකුටම පලා යාමට හා නොදන්නා ස්ථාන වල ජීවත් වීමට සිදු ව ඇති බවත් අෆ්සාලි තව දුරටත් පවසා ඇත.

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට අනුව කාන්තා ක්‍රීඩාව කඩාකප්පල් කිරීමට තලේබාන් සංවිධානය දිගු කලක් තිස්සේ අපේක්ෂා කරයි. ආරක්‍ෂාව පිළිබඳව සලකා සියලුම කාන්තා ක්‍රීඩා, කාන්තා සමාජ හා දේශපාලන ක්‍රියාකාරකම් නැවතිණි.

 

Advertiesment