ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපයේ දී ගලා ගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 සහ චීනයෙනුත් බංග්ලාදේශයෙනුත් ලැබුණු අත මාරු ඩොලර් මිලියන 400ත් සමඟය.
2021 ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබා ගත් ණය සහ අත මාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත. නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද..?
චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබා ගත් "SINOPHARM" එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැය වීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900ත් 1000ත් අතර ප්‍රමාණයක විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර ඇතුළු අනෙකුත් අන්තර් සහ ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය.
රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව සේම ආනයනය තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එම භයානක අනතුර වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානමකට සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමකට මුහුණ දී සිටීමය. මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ "සෞභාග්‍යයේ දැක්ම" හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීමය. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත. අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට මෙසේ ඉදිරි පත් කරන්නෙමු. .
(01) ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද..?
(02) පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට සහ මහා බැංකුවට හැකි වනු ඇතිද..?
(03) විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද..?
(04) මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද..?
මේ වන විටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිණෙමින් පවතීයි. විදේශවල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදා හරිමින් සිටියි.
තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්ත්වය යටතේ නැවතත් දුප්පත්කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දරවලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්ත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි.
සරලවම කිව හොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික අසමතුලිතයකට රට ගමන් කරමින් පවතියි. විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරෙහි වෙළෙඳ පොළ විශ්වාසය බිඳ වැටී ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ රුපියල් බිලියන 30ක් සහ 20ක් වශයෙන් 2021 අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර දෙක සඳහා දේශීය වෙළෙඳ පොළේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභවලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි. ඉතිරි බිලියන 46 (92%) සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම් විට ආණ්ඩුවට සිදු වනු ඇත.
බොරු පුරාජේරු සහ වගාඩම්බර කතාවලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැහැ වැනි උද්ධච්ඡ ප්‍රකාශ සිදු කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යැයි කියමින් ප්රශ්නය ලඝු කොට තැකීම වැනි ක්‍රියාවලින් කිසිම සෙතක් නොවනු ඇත.
ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි. ආණ්ඩුව අවිද්‍යාත්මක ක්‍රමයට COVID-19 වසංගතයෙන් රට වැනසූ ආකාරයටම අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත. විද්‍යාත්මක වසංගත පාලනයකට සහ විද්‍යාත්මක මූල්‍ය කළමණාකාරීත්වයකට කාලය එළඹ තිබේ.
Lanka Newsweek © 2024