Friday 26th of April 2024

English Tamil
Advertiesment


ආණ්ඩුව මුරණ්ඩුවක් වෙලා 


2021-08-28 7795

ආණ්ඩුව පසු වන්නේ පූර්ව ළමා අවදියේය

 

වහාම පුනරුත්ථාපනය කළ යුතුව තිබේ 

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)


යහ පාලන කෙහෙල්මල පරදවා අපි 2019 දී වියත් පාලකයෙකු ද, 2020 දී වියත් ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තෙමු. එමගින් අප රට වෙනුවෙන් බලාපොරොත්තු වූ දේ බොහෝය. ඒ අතුරින් මහා බැංකු කොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් දීම, පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් සොයා ගැනීම, යහ පාලනයේ සියලු අයුක්තීන්ට පිළියම් යෙදීම, ආගමික අන්තවාදය පරාජය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබීම, සමාජ සාධාරණත්වය, ආර්ථික සෞභාග්‍යය, මහා ජන ආරක්ෂාව, එක-රටක් එක- නීතියක්, අලි-මිනිස් ගැටුමට විසඳුම්, රැකියා උත්පාදනය, විදේශ විනිමය ඉපයුම, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය සේම රාජ්‍ය ආරක්ෂාව යනාදිය ප්‍රධාන වේ. මේ අතරේ  COVID-19 උවදුර ද පැමිණි බැවින් එම වසංගතය මැඩලීමේ වගකීම ද හරි හැටි ඉටු කරනු ඇතැයි අපි සිතුවෙමු.

අලුත් ආණ්ඩුව පත්වී මේ වන විට අවුරුදු දෙකකට ආසන්න වෙමින් පවතියි. එනම් පාලන කාලයෙන් තුනෙන් එකක් අවසන් වෙමින් පවතියි. මේ වන විට අප අපේක්ෂා කළ සියලු ප්‍රාර්ථනා සුන් වී ගොස් තිබේ. නැත හොත් හැට නව ලක්ෂය අපේක්ෂා භංගත්වයට පත් වී සිටිති. "69" යනු කුනුහරුපයක් යැයි එකල විපක්‍ෂය කීවේය. අප එවිට ඉන් කිපුනේය. එහෙත් මේ වන විට ඒ හැට නව ලක්ෂයටම විපක්ෂය කී කතාවේ අරුත වැටහී ඇත. ඊට හේතුව වන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට අමතකව ගොස් තිබීමයි. පොරොන්දු අමතක වී යාම ළමා වයසේ දී බෙහෙවින් සිදු වන්නකි. එමෙන්ම දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලන විට ළමුන් කිපෙන්නේය. එසේ කිපී මුරණ්ඩුකම් පාන්නේය. 

ළමුන්ගේ එම හැසිරීම පූර්ව ළමා අවදියේ දී කුඩා ළමුන්ගෙන් දිස් වන හැසිරීමක් බවත් වයසින් වැඩෙත්ම මනස මෝරා යන විට එම පූර්ව ළමා හැසිරීම වෙනස්ව ගොස් තාර්කික චර්යාවන් ගොඩ නැගෙන බවත් ළමා මනෝවිද්‍යාවේ දැක්වේ. කළ නොහැකි දේ කිරීමට ගිය විට ළමුන්ට මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවේ. නොදන්නාකම නිසා සිය හැකියාවන් අධි තක්සේරු කළ ද එපමණ වැඩ කළ නොහැකි බව දැන ගත් විට ඔවුන් ලැජ්ජාවට පත් වේ. එම ලැජ්ජාව නිසාම ඔවුන් මුරණ්ඩුකම් පෙන්වීමට පෙළඹේ. ඒ නිසා පූර්ව ළමා අවධියේ දී ළමුන් වැඩිහිටියන් සමග නිතර සන්ඩුසරුවල් කරයි. මුරණ්ඩුකම් පෙන්වයි. වැඩිහිටියන්ට කන් නොදී සිටියි. නොකරන ලෙස කියන දේම කරයි. එමගින් වැඩිහිටියන් තරහ ගන්වයි. ඒ වනාහි පූර්ව ළමා හැසිරීමයි.

මේ ආණ්ඩුවට ද මේ පූර්ව ළමා චර්යාවන් හොඳින්ම පිහිටා ඇත. ඒ මෙම ආණ්ඩුවට වයස නැති නිසා නොව ආණ්ඩු කිරීමේ විලාසය නොදන්නා නිසාය. අලි වැට ඉදි කරන ලෙස මිනිසුන් ඉල්ලයි. ආණ්ඩුව එම ඉල්ලීම ඉටු නොකරයි. ඉඩම් අයිතිය ඉල්ලන විට හොරුන්ට රජයේ ඉඩම් අල්ලා ගන්නට ඉඩ දී සිටියි. පොහොර ඉල්ලන විට ගුටි දෙයි. එන්නත් ඉල්ලන විට එළවා දමයි. ජීවනාධාර ඉල්ලන විට නොදී සිටියි. වැරදිකරුවන් හිරේ යවන ලෙස ඉල්ලන විට හිරේ ඉන්න උන් එළියට ගනී. මහ මොළකරුවන් අල්ලන ලෙස ඉල්ලා සිටින විට කුඩා මොළකරුවන් අල්ලයි. බඩු මිල අඩු කරන ලෙස ඉල්ලන විට බඩු මිල වැඩි කරයි. චීනාට වැඩිය කිට්ටු නොවන ලෙස ඉල්ලන විට තවත් කිට්ටු වෙයි. එක නීතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන විට එක එකාට එක එක නීති ක්‍රියාත්මක කරයි. දුක්ගැනවිලිවලට කන්දෙන ලෙස ඉල්ලන විට ඊට කන් නොදෙයි. අනික් අතට නොකරන ලෙස ඉල්ලන දේම කරයි. විදේශිකයන්ට ඉඩම් නොදෙන ලෙස ඉල්ලන විට ඔවුන්ට ඉඩම් දෙයි. "Port City" ය චීනට නොදෙන ලෙස ඉල්ලන විට ඌටම දෙයි. ණය නොගන්නා ලෙස ඉල්ලන විට ණයම ගනී.  

මෙසේ කිරීමෙන් ආණ්ඩුව හොඳටම මුරණ්ඩු වී තිබෙන බව පෙනේ. හරියට කුඩා ළමුන්ගේ මුරණ්ඩුව හා සමානය. අපේ රටේ තියෙන්නේ ආණ්ඩුවක් ද, නැති නම් මුරණ්ඩුවක් දැයි ඇසිය යුතු තරමට ආණ්ඩුව මුරණ්ඩුවක් වී තිබේ.  කුඩා ළමුන් වගේම රිසි සේ හිතුවක්කාරකම් කරයි. හිතුවක්කාරකම නිසා භාණ්ඩ හිඟය වැඩි වී ඇත. මිල ඉහළ ගොස් ඇත. අඩු ආදායම් ලබන්නන්ට ආහාර පාන අහිමි වී ඇත. කොටින්ම කිය තොත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේ ඇති වූ සාගතය අත ළඟය. මෙහි බැරෑරුම්කම ආණ්ඩුවට නොතේරෙයි. හරියට කුඩා ළමයෙකුට සාගතය ගැන කිව හොත් ඒ ගැන ඔහු නොදන්නවා වැනිය. හිතුවකාරකම යනු හිතන දේම කිරීමයි. එම ක්‍රියාවම නිවැරදි යැයි සිතීමයි. කිසිවෙකුට කන් නොදීමයි. සිය මතයට අවනත අයට පමණක්ම කන් දීමයි. හිතුවක්කාරකම වැඩි වී මුරණ්ඩුව ද වැඩි වී කියන දේ නාහන ළමුන් පුනරුත්ථාපනය කරනු ලැබේ. මෙම ආණ්ඩුව ද පූර්ව ළමා අවධියේ පසු වන ළමයෙකුගෙන් වෙනස් නොවේ. එහෙත් අවාසනාව වන්නේ පුනරුත්ථාපනය කොට යහ මග යැවීමට ක්‍රමයක් නොමැති වීමයි.

-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
 
Advertiesment