Friday 26th of April 2024

English Tamil
Advertiesment


මරණ සියයට 28කින් වැඩි වෙලා


2021-06-09 7715

 

ආසාදිතයින් සියයට 12කින්..!

 

දැඩි සංචරණ සීමා තව දුරටත් අවශ්‍යයි

 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ගෙවුණු සතියට අදාළව මේ වන විට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 12%කින් සහ මරණ සංඛ්‍යාව 28%කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ බව හෙළි කර සිටින්නේ, "COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර" යන ශීර්ෂය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් වන අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය මෙසේය. 

 
COVID-19 වසංගතය පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර
  

1. Astra Zeneca දෙවැන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය වන ලක්ෂ හයක් වන එන්ත්‍රනත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නය වැඩි අවධානයක් යොදා නියමිත කාල සීමාවක දී ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර එම උත්සාහය හදිසියේ හෝ අසාර්ථක වුව හොත් ඒ වෙනුවට කළ හැකි වෙනත් විකල්පයක්ද සොයා ගත යුතුයි. මේ සඳහා පිළිගත් විද්‍යාත්මක උපදෙස් ඉතා ඉක්මනි ලබා ගත යුතු අතර, කාලය ගත වනවාත් සමඟ වෛරස නව ප්‍රභේදවලට එරෙහි ආරක්ෂාව නැති වී ඒවා පැතිර යාමට ප්‍රථම මේ කටයුතු කළ යුතුය. 
 
2. ඉදිරිගේ දී සැලසුම් කර ඇති අනිකුත් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේ දී එහි දෙවන මාත්‍රාවට අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව ලැබීමට ස්ථීර ක්‍රමයක්, ස්ථාපිත කර තැබීමෙන් අනතුරුව පළමු එන්නත් ප්‍රමාණය ලබා දීම සඳහා යොමු කරන පිරිස තීරණය කළ යුතුයි. මෙහිදී අවධාරණය කළ යුතු තව කරුණක් වන්නේ මෙම ලැයිස්තු සැකසීමේ දී කොටසකට පමණක් විශේෂත්වයක් නොදක්වා සියලුම සෞඛ්‍ය සේවා සහ ඊට සම්බන්ධ අයත් ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයන්ටත් ප්‍රමුඛත්වය ලබා දීමෙන් ඔවුන්ගේ සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාර වනු ඇති බවයි. 
 
3. විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණයක් මත අවශ්‍ය වුව හොත් රෝහල්වලට වෙනත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සඳහා ලබා දීමට යම්කිසි එන්නත් ප්‍රමාණයක් රජයේ රෝහේවලට ලබාදීම ද වැදගත් වනු ඇත. 
 
4. එන්නත් කරණයේදී අනුගමනය කරන ක්‍රමවේදය පැහැදිලි, සාධාරණ සහ විද්‍යාත්මක ක්‍රමයක් විය යුතු අතර මහ ජනයාගේ දැන ගැනීම සඳහා එම ක්‍රමය ප්‍රසිද්ධ කළ යුතුය. එමගින් මෙම ක්‍රියාව සඳහා මහ ජනයාගේ විශ්වාසය ඉතා උපරිමයෙන් පවත්වා ගත හැකිය. එවිට ඔවුන් එම ක්‍රියාවට යොමු කිරීම සංයමයකින් සහ කාර්යක්ෂමවද සිදු කළ හැකිය. මෙම ක්‍රියාව සෞඛ්‍ය අමාත්‍යාංශගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු අතර නීතිය සහ සාමය රැකීම සඳහා අවශ්‍ය වුව හොත් කටයුතු කිරීමට පොලිසියට සහ අනිකුත් ආරක්ෂක අංවල සහාය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට නොඅඩුව ලබා දිය යුතුය. නිරෝධායන නීති රැකීම සේම මෙම ක්‍රියාමාර්ග ද කිසිවකු විසින් අඩපණ නොකළ යුතුයි. 
 
අවසාන  වශයෙන් දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵල දායක වන ලෙස දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, දිනෙන් දින රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු වන ලෙස වැඩි වන රෝගීන් සංඛ්‍යා සහ එම රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන බව නිරීක්ෂණය වී තිබීමෙන් සනාථ වේ. 

දැනට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛන අනුව 12%ක රෝගී වර්ධනයක් සහ 28% ක මරණ වර්ධනයක් පසුගිය සතියයේ වාර්තා වී ඇති අතර එම තත්ත්වය අපගේ දැඩි කණස්සේලට හේතු වන්නේ සෞඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරී‍මේ හැකියාව මේ හේතුවෙන් තවදුරටත් සීමා වන බැවිනි. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුව හොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදයකට ලක් වීම වැළැක්වීමට නො හැකිය.

Advertiesment