Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රනිල් පෙළන කරු භීතිකාව


2021-06-07 14362

අව්‍යාජ දේශපාලනයේ සංකේතය

 

කොළඹ මහා නගර සභාවෙන් ආරම්භ වූ සාර්ථක දේශපාලනය 

 

 

(මහාචාර්ය රජීව විජේසිංහ)

 

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ මුල් අවස්ථාවේ දී ඔහු සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයට, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට සහ පාක්ෂිකයින්ට කිසිදු ගැටලුවක්, ප්‍රශ්නයක් හෝ විරෝධයක් නොතිබුණු අතර ඔහු සමඟ පක්ෂයේ බහුතරයක් දෙනා එකට සිටී බව කිව යුතුය.

කෙසේ නමුත් 1999 පැවැති ජනාධිපතිවරණයේ දී සහ ඊට වසරකට පසුව එනම් 2000 දී පැවැති මහා මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය, එවකට ජනාධිපතිනියව සිටී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය දුන් පොදු ජන එක්සත් පෙරමුණ හමුවේ පරාජයට පත් විය. ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය මෙසේ පරාජයට පත් වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සේම හැකියාව කෙරෙහි පක්ෂ අභ්‍යන්තරයේ සහ පාක්ෂිකයින් අතර පැවැති විශ්වාසය පළුදු වී ඔවුහූ දේශපාලනික වශයෙන් කලකිරුණහ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් මෙසේ කලකිරුණු පක්ෂ අභ්‍යන්තරයේ කණ්ඩායම් සහ පාක්ෂිකයින් දේශබන්දු කරු ජයසූරිය මහතා කෙරෙහි විශ්වාසය තබමින් ඔහු වටා එකට ඒකරාශී වීමට පෙළඹුණේ මේ පසුබිම යටතේය.

ඊට හේතු වූයේ, 1997 දී කොළඹ නගරාධිපති ධූරයට පත් වීමෙන් පසුව සිය හැකියාව, දර්ශනය සහ වැඩ පිළිවෙළ ප්‍රදර්ශනය කරමින් ඉතා සාර්ථක නගරාධිපතිවරයකු ලෙස රටේත් ලෝකයේත් නමක් දිනා සිටී කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පාක්ෂිකයින් අතර වගේම රටේ බහුතර සිංහල-බෞද්ධ ජනයා අතර ද කැපී පෙනෙන සහ ජනප්‍රසාදයට පත් නායකයෙකු ලෙස නමක් දිනා ගෙන සිටී නිසාය. කෙසේ නමුත් එවකට පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය මෙහෙය වමින් ඊට නායකත්වය ලබා දීම සඳහා 1999 වන විට කරු ජයසූරිය මහතාව නාගරික දේශපාලනයෙන් සහ කොළඹ නගරාධිපති වගකීම්වලින් එළියට ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මෙම තීරණයට හේතු වූයේ පෝස්ටර්, බැනර් සහ කටවුට්වලින් යුතු පරිසරය විනාශ කරන සහ ප්‍රචණ්ඩත්වයෙන්, හිංසාවෙන් වගේම මර්දනයෙන් යුතු මැර දේශපාලනයෙන් තොරව, පරසර හිතකාමීව, සාමකාමීව සේම සාධාරණව සිය කොළඹ නගරාධිපති මැතිවරණ ව්‍යාපාරය සාර්ථක ලෙස මෙහෙයවා ජය ගෙන සිය හැකියාවන් පෙන්වා නමක් දිනා ගැනීමට කරු ජයසූරිය මහතා සමත් වී සිටීමය. ඊට පසුව 2000 දී පැවැති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන කරු ජයසූරිය මහතා විශාල ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන අතර කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා වන එකම සුදුස්සා බවට පක්ෂය අභාන්තරයේ සහ පාක්ෂිකයින් අතර දැඩි මතයක් ඇති වන්නේ ඒ ජයග්‍රහණයත් සමගය. 

ජන මතය එසේ වුණත් ඒ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා වන ගාමිණී අතුකෝරාළ මහතාව ඉදිරියට ගත් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුට ද ලබා දුන්නේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය නොව උප නායක ධූරය වන අතර එමගින් පැහැදිලි වන්නේ එම අවස්ථාවේ දී පක්ෂයේ කිසිදු පරිවර්තනයක් ඇති කිරීමට ඔහුට අවශ්‍ය නොවූ බවය. කෙසේ නමුත් කරු ජයසූරිය මහතා ගාමිණී අතුකෝරාළ මහතා සමඟ ඒ වන විට සමගියෙන් යුතුව වැඩ කරමින් සිටී අතර මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට අනුර බණ්ඩාරනායක මහතා ද කැමැත්තෙන් පසු විය.

ඊට හේතු වී තිබුණේ ඔහුගේ සහෝදරිය වන ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආගමනය සහ ඇයගේ ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ රටේ තමා අපේක්ෂා කළ ස්ථානයට යන්න අනුර බණ්ඩාරනායක මහතාට නොහැකි වී තිබීමය. මේ වන විට විදේශ සංචාරයක යෙදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ නෝර්වේ රාජ්‍යයේ වන අතර ඔහුට වහාම දුරකථනයෙන් කතා කළ අනුර බණ්ඩාරනායක මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් සිය ඉල්ලීම සහ කොන්දේසි සපුරා දෙන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට සූදානම් බව දන්වා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ අරමුදල්වලින් අධික වියදමක් දරමින් නිතරම විදේශ සංචාරවල නිරත වන රනිල් වික්‍රමසිංහ මහතා මේ සංචාරයේ යෙදී සිටියේ ද පක්ෂයේ අරමුදල්වලින් වන අතර අනුර බණ්ඩාරනායක මහතාගේ සිද්ධිය හේතුවෙන් සිය විදේශ සංචාරය නිමවා හැකි ඉකමනින් ශ්‍රී ලංකාවට යළි පැමිණියේය. වහාම ශ්‍රී ලංකාවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් කළ සාකච්ඡාවේ දී අනුර බණ්ඩාරනායක මහතාට දුන් පොරොන්දු ඉටු කරමින් ඔහු එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීමට එකඟ විය. ඒ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතාම ඉකමනින් එම තීරණය ගනු ලබන්නේ ඔහුට කරු ජයසූරිය මහතා පමණක් නොව ගාමිණී අතුකෝරාළ මහතා ගැන ද කිසිම විශ්වාසයක් නොමැති නිසාය.

ඇත්තටම කරු ජයසූරියට සෑම අවස්ථාවකදීම අවශ්‍ය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවමින් ඔහු බැබළවීමට නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම එම යථාර්ථය තේරුම් නොගත් බව කිව යුතුය. තත්ත්වය මෙසේ තිබිය දී කරු ජයසූරිය මහතා දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ඉස්මතු වෙමින් පැවතිණ. මේ වකවානුවේ රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරමින් සිටියේ ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග රජයේ මැති ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට බිලී බා ගැනීමටය. එවැනි කටයුතු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ පුරුද්දක් තිබෙන අතර ඔහුගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් ශූරයෙකුව සිටියේය. 

මුදල් ඇතුළු කුප්‍රකට සහ කූට ගනුදෙනුවලින් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය 1964 දී පෙරළා දැමීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළේ ඒ අනුව වන අතර දේශපාලන ක්ෂේත්‍රයේ වර්තමානයේ ද සිදු වෙමින් පවතින්නේ එවැනි සිද්ධීන් බව කිව යුතුව ඇත. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නැගණිය වන ශානිකා වික්‍රමසිංහ සහ වැඩුමහල් සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහූ ද රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ මෙම කූට දේශපාලන ගනුදෙනු සඳහා එක්ව සිටියහ. ඒ අනුව එවකට පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා විවිධ පාර්ශව සමඟ රාත්‍රී කාලයේ දී විවිධ රහසිගත ස්ථානවල හමු වී සාකච්ඡා පැවැත් වූයේ මේ දෙදෙනාය. 

රුපියල් කෝටි හයක චෙක් පත් දෙකක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සම්බන්ධයෙන් නහිල් විජේසූරිය මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එදා අසු වන්නේ මේ අතරතුර දී ය. නාහීල් විජේසූරිය මහතා මෙම රුපියල් කෝටි හයක චෙක් පත් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබීමට සලස් වන්නේ කොළඹ 05 වැනි පටු මඟ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ දී වන අතර එසේ එම මුදල් ලබා දෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන මහා ජන මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව බිලී බා ගැනීම සඳහාය.   

මේ වන විට රටේ ව්‍යාපාරික ප්‍රජාව ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වටා එකට ඒකරාශී වෙමින් එම පක්ෂයට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටී අතර ඊට හේතු වූයේ ඒ වන විට ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටත් ආර්ථිකයත් විනාශය කරා ගෙන යමින් සිටින බවට ඇති වී තිබූ මතය විය. 1999 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එල්ටීටීඊ ත්‍රසතවාදීන් විසින් ඇයට එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අයගේ එක් ඇසකට බරපතළ හානි සිදු විය. මේ අනතුරේ ප්‍රතිඵලයක් ලෙස කල් යත්ම ඇයගේ හැසිරීම සහ ක්‍රියාකලාපය අසමබර, ප්‍රචණ්ඩ සහ ව්‍යාකූල වෙමින් පැවැති අතර මේ හේතුවෙන් එස් බී දිසානායක සහ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු ඇයගේ අතිශය සමීපතමයින් ද ඇයගෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් විය.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ද මෙම වකවානුවේ දී වන අතර එම ප්‍රහාරය මගින් රටේ ආර්ථිකයට අතිශය විනාශකාරී සහ තීරණාත්මක බලපෑමක් එල්ල කෙරිණ. ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට උතසහ දරන්නේ ද මීට සමගාමීවය. ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් සන්ධාන ගත වීම එක්සත් ජාතික පක්ෂයට දේශපාලනික වශයෙන් අවාසිදායක බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනාධිපතිනිය 2001 දී මහා මැතිවරණය කැඳවූ අතර ජනාධිපතිනියගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්ධානය පරදවා විශාල ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය.

ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරටත් රටේ අගමැතිවරයා බවට පත් වුණත් ඔහුට සහ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබිණ. ඒ නිසා ආණ්ඩුව පිහිටු වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය විය. ඒ කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තේ නොසිටියත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වඩා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඩි යමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ දේශපාලනික මතය විය. 

මේ වකවානුවේ දී, එනම් තමා පළමු වරට ජනාධිපති ධූරයට පත් වුණාට පසුව සිටම නීලන් තිරුචෙල්වම් සමග එකට එක්ව ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය උත්සහ දරමින් සිටියාය. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ අවස්ථාවේ දී ක්‍රියා කළේ එම වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට වන අතර මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් නීලන් තිරුචෙල්වම් සමග උරණ වී සිටී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවසානයේ දී ඔහු ඝාතනය කරනු ලැබීය.

ඊට පසුව ද්‍රවිඩ ජාතික සන්ධානය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණෙන අතර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජනාධිපතිනිය 2000 දී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන "පැකේජය" දෙමළ ජනතාවට ප්‍රමාණවත් නොමැති බව කියමින් ද්‍රවිඩ ජාතික සන්ධානය ද එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය. ඊට සමගාමීව යමින් එක්සත් ජාතික පක්ෂය ද මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ දී ඉරා පුළුස්සා දැමීමට කටයුතු කරන අතර ඊට හේතුව ලෙස එම පක්ෂය දක්වා සිටියේ මෙම යෝජනාවලිය මගින් දෙමළ ජනතාවට මේ රට මුළුමනින්ම පාවා දීමක් සිදු වන බවය. සිය මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවලිය ඉරා පුළුස්සමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඉඩ දී කිසිවක්ම නොකියමින් ඒ දෙස බලා සිටියේ ඉතාම සන්සුන්වය. මේ සිද්ධි දාමයෙන් පසුව දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වන තත්ත්වයන්ගෙන් සහ සිදු වීම්වලින් පැහැදිලි වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වඩා වැඩි යමක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයට සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට සැකයක් සහ අවිශ්වාසයක් නොමැති බවය.

2001 මහා මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන්නේ මේ පසුබිම යටතේ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා පාලනය යටතේ පැවැති උතුරු-නැගෙනහිර ප්‍රදේශවලත් සිය බලය ව්‍යාප්ත කිරීමට එල්ටීටීඊ සංවිධානයට අවස්ථාව හිමි විය. මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කරන්නේ, ඩී බී විජේතුංග ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී නීතිපතිවරයා ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා වන අතර ඔහු ඉතා උදාසීන පුද්ගලයෙකු විය. එල්ටීටීඊ සංවිධානයට ආයුද ප්‍රවාහනය කෙරෙන බෝට්ටු පරීක්ෂා කර අත්අඩංගුවට ගැනීමට ඔහු නාවික හමුදාවට අවසර නොදුන් අතර ඕනෑම යමක් ගෙන ඒමට එල්ටීටීඊ සංවිධානයට පූර්ණ අවසර දුන් විශේෂ දවස් ද ඒ දිනවල තිබිණ. ඔහු එසේ ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එල්ටීටීඊ සංවිධානයත් අතර තිබූ සම්බන්ධය නිසාය.

රට-ජනතාව පිළි ගත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන කරු ජයසූරිය සහ ගාමිණී අතුකෝරාළ වැනි නායකයින්ට රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට සම්බන්ධ බරපතළ සේම තීරණාත්මක වගකීම්, කාර්ය භාරයන් සහ ඇමති තනතුරු ලබා දෙනු ඇතැයි රටේ මධ්‍යස්ථ ජනතාව වගේම එක්සත් ජාතික පාක්ෂිකයින් සිතා සිටියත් ඔවුන්ට එවැනි තනතුරු ලබා දීමෙන් වැළකී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි මහතාගේ ප්‍රබල අනුගාමිකයෙකු වන ඉලීකා කරුණාරත්න මහත්මිය ඒ දවස්වල විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, කරු ජයසූරිය සහ ගාමිණී අතුකෝරාළ යන දෙදෙනාම විශ්වාස කළ නොහැකි බවය. කරු ජයසූරිය මහතාගේ විවිධ ප්‍රකාශ උපුටා දක්වමින් ඇය කියා සිටියේ, ඔහු සේනාධි නායකයා බවට පත් වී රට බේරා ගැනීමට සිහින මැවූ බවය. 

මේ කියන තත්ත්වය ද රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නයක් විය. එමෙන්ම සැකයට තුඩු දුන් කාරණයක් විය. කෙසේ නමුත් සිය ප්‍රකාශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කරමින් කරු ජයසූරිය මහතා කියා සිටියේ, සිය මාතෘ භූමියට සහ ජනතාවට ආදරය කරන පුරවැසියෙකු ලෙස තමා එවැනි ප්‍රකාශ කරන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් විනා නායකත්වයට අභියෝග කිරීමේ අරමුණකින් නොවන බවය. රනිල් වික්‍රමසිංහ මහතා එල්ටීටීඊ සංවිධානය කෙරෙහි දැඩි විශ්වාසයක් සහ කැමැත්තක් ඇතිව ක්‍රියා කළත්, ඔහු සිය නායකයා වූ නිසා මහත්මා දේශපාලනයක යෙදුණු කරු ජයසූරිය මහතා ඔහුට එරෙහිව ක්‍රියා කරමින් ඔහු පාලනය කිරීමට හෝ ඔහුට බලපෑම් එල්ල කිරීමට හෝ ඔහුට අභියෝග කිරීමට ක්‍රියා නොකළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව කරු ජයසූරියට මහතාට සාපේක්ෂව ගාමිණී අතුකෝරාළ මහතා පාලනය කිරීමට අසීරු පුද්ගලයෙකු වූ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගොඩනගා මාසයක් වැනි කෙටි කලක් ඇතුළත දී ඔහු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් විය. මේ මරණය සම්බන්ධයෙන් සමහරුන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සැක කළ අතර ඊට හොඳම උදාහරණය වන්නේ මේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බවට 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයය. මේ සැකයට හේතු වූයේ එක්සත් ජාතික පක්ෂයේ සහ රටේ දේශපාලන අනාගතයක් තිබුණු නායකයින්ට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ අත් වූ ශෝචනීය ඉරණම සම්බන්ධයෙන් ජන සමාජයේ තිබූ චෝදනාය. 

රටට අතිශය තීරණාත්මක සහ වැදගත් අමාත්‍ය ධූර සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත් ඔහුට ඇමතිවරුන්ට ඒ ඒ විෂයන්ට අදාළව ප්‍රාමාණික දැනුමක්, අවබෝධයක්, පළපුරුද්දක් සහ දැක්මක් ද නොතිබිණ. නමුත් රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය, රැකවරණය සහ අනුග්‍රහය ඔවුන් සියලු දෙනාට නොවඩුව ලැබිණ. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන එන්න උදව් උපකාර කළ ඔහුගේ සමීපතමයින් දුෂිතයින් වුණත් ඔහු ඔවුන්ට විරුද්ධව කිසිදු අවස්ථාවක කිසිදු පියවරක් අනුගමනය නොකරන බව ද පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ මහතා සිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිකම තිලක් මාරපන මහතාට ද, මුදල් ඇමතිකම කේ එන් චොක්සි මහතාට ද ලබා දීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීපතම පුවත්පත් කර්තෘවරයෙකු පවා එදා ඔහුව නිර්දය ලෙස විවේචනය කරමින් ඔහුගේ එම තීරණය වැරදි බව රට හමුවේ කියා සිටියේය.

 

"Ranil’s Fears of Karu" යන ශීර්ෂය යටතේ "Ceylon Today" පත්‍රයේ පළ වූ මහාචාර්ය රජීව විජේසිංහ මහතා විසින් රචිත ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි. 

 

 

 

 

     

Advertiesment