Saturday 19th of June 2021

English Tamil
Advertiesment


දෙවියන්-බුදුන් සහ COVID-19


2021-05-31 5488

ප්‍රඥාවන්තයා විද්‍යාව ඇසුරු කරයි-අඥානයා අවිද්‍යාව ඇසුරු කරයි..!

 

දෙවියන් අදහන්නෝ දෙවියන්ගේ ගත්තෝය

 

ගණ දෙවියෝ නුවණ දුන්නේ නැහැ-ඒ නිසා බෙහෙත් නිපද වූයේ නැහැ 

 

ලක්‍ෂ්මිය සල්ලි දුන්නේ නැහැ-ඒ නිසා එන්නත් ගන්න විදේශ විනිමය නැහැ

 
 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)  

 

දෙවියන් පිළිබඳ ඉතිහාසය අති දීර්ඝය. මානව ඉතිහාසය තරම්ම පැරණිය. බිය, සැකය, අනතුරු, ලෙඩ, රෝග සහ පීඩා යනාදිය නිසා ජීවිතය අවිනිශ්චිත වත්ම එහි නිශ්චිත බව ලබා ගැනීම සඳහා මිනිසා ඔහුට වඩා බලවත් බාහිර බලවේගයකට කන්නලව් කිරීමට පෙළඹීම දේව සංකල්පයෙහි ආරම්භක ස්වරූපයයි. 

එම ස්වරූපය පසු කාලයේ දී ඒක දේව සහ බහු දේව සංකල්පවලින් ගහන විය. බුදුන් යනු දේව වාදයට එරෙහි වූ මිනිසෙකි. බුදුන්ට වයස අවුරු 2500කි. මැද පෙරදිගින් බිහි වූ දෙවියන් ඊට වඩා අවුරුදු පන්-හයසීය තරම් බාලය. ඉන්දීය දෙවියන් කෝටි ගණනකි. ඇතැමුන්ගේ වයස වසර ලක්ෂ ගණන්ය. අලුත්ම දේවිය කොරෝනා දේවියයි. ඇයගේ වයස දින ගණනකි. 

දෙවියන්, බඹුන්, භූතයන් සහ ප්‍රේතයන් කියා මිනිසාට පෙනෙන කිසිවෙකු නැත. එවන් කිසිවෙකු සිටී ද, හේ පියවි ඇසට නොපෙනේ ද හේ ක්‍ෂුද්‍ර ජීවියකි. මිනිසා වනාහි එම ක්‍ෂුද්‍ර ජීවීන් හැඩ ගන්වා, ඔළු, අත්, පා ලබා දී සළුපිළි අන්දවා, ආභරණ සහ ආයුද ද ලබා දී එම ආයුදවලින් මිනිසාටම පහර දෙන බලය ද අභිමතය ද ඔවුන්ට පවරා ඔවුන්ගෙන් සරණ අයදින දීන, නිහීන, තුච්ඡ, තිරිසනුන්ටත් වඩා පහත් මානසික මට්ටමක පසු වන ජීවී කොට්ඨාසයකි. 

බුදුන් වහන්සේ ලෝක ධර්මතාව පිළිබඳ අවබෝධයෙන් අග තැන්පත් මිනිසෙකු ලෙස මෙවැනි මානව හැසිරීම් පිළිකෙව් කළ සේක. හේතු ඵල ධර්මය ඔස්සේ සත්‍යාවබෝධය ලබා ගන්නා ආකාරය පෙන්වා දුන් සේක. එහෙත් ආදී කාලයේ සිටම සඟුන් විසින් බුද්ධ දේශනාව විකෘති කරමින් අටුවා ටීකා සපයමින් වෛදික, ජෛන, තන්ත්‍රයාන, නාගාර්ජුනගේ ශුන්‍යතාවාද සහ හින්දු ඉගැන්වීම්වල එන දේව වාද වපුරමින් දෙවියන්ට පුද පූජා බාරහාර කන්නලව් කිරීම දක්වා පැමිණ ඇත. පසු කාලයේ දී පත්තිනි, කතරගම සහ ගණ වැනි දෙවියන් ද බුද්ධාගමට ඈඳා ගත්තේය. ගුරුකම්, හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර, වශී, සහ වෙදකම් ද ළඟා කර ගත්තේය. නාථ නම් දෙවියෙකු මවා ගෙන ඔහු මෛත්‍රී බුදුන් බවට පත් කරවීම දක්වා ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් විකෘති කරන ලද්දේය. 

දෙවියන් විසින් විශ්වය මවා දෙවියන්ගේ ගැත්තන් ලෙස මිනිසුන් මවා ඔවුන්ට රෝග පීඩා මැව්වේ ද සර්ව බලධාරී දෙවියන් විසින් බව දේව ආගම්වල විශ්වාසයයි. බෞද්ධ ඉගැන්වීමේ එවැන්නක් නැතත් රෝග පීඩා ඇති වූ කල පිරිත් කීමෙන් ඒවා සුව වන බව සඟුන් විශ්වාස කරයි. ඒ සඳහා රතන නම් සූත්‍රයක් ද ඔවුන් නිෂ්පාදනය කර ගෙන ඇත. (මේ ගැන වෙනම විශ්ලේෂණයක් ලිවීමට සිතමි.) එබැවින් ඔවුන් කොරෝනා පැරද වීමට 2020 සිටම පිරිත් කීමට පටන් ගත්තේය. පිරිත් කීමේ තීව්‍රතාව වැඩිවත්ම කොරෝනා රෝග ව්‍යාතියේ තීව්‍රතාව ද වැඩි විය. මේ නිසා පිරිත් කීමත් කොරෝනා රෝගයත් අතර ධනාත්මක සම්බන්ධතාවක් පවතින බව සඟුන් තහවුරු කළේය. නැත හොත් පිරිත් කීම කොත්තමල්ලි ඇටේක ප්‍රයෝජනයක් නැති වැඩක් බව තහවුරු කළේය. කොත්තමල්ලි යනු කොරෝනා මඩින ආයුර්වේද ඔසුවක් වන බැවිනි. ඒ අනුව වෙසෙසින්ම රතන සූත්‍රය පීචං වුණේය.

සර්ව බලධාරී දෙවියන් හෝ බුදුන් විශ්වාස කළත් විද්‍යාව දියුණු චීනය, එංගලන්තය, ඇමෙරිකාව (ඉන්දියාව පවා) දෙවියන්-බුදුන්ගෙන් ප්‍රයෝජනයක් නැති බව දැන කොරෝනා නාශක එන්නත් නිපද වීය. කොරෝනා මැඩ පැවැත් විය හැක්කේ ඊට පමණක් බව තහවුරු වීම නිසා ලෝකයම එන්නත් භාවිතයට පෙළඹිණ. මේ අනුව උද්ගත වී තිබෙන ප්‍රශ්නය වන්නේ අපේ ගණ දෙවියෝ අපට නුවණ නොදීමයි. ඒ නිසා බෙහෙතක් නිපදවීමට නොහැකි විය. ලක්‍ෂ්මි අපට ධනය නොදුන්නාය. ඒ නිසා එන්නත් ආනයනය කිරීමට විදේශ විනිමය ද හිඟ විය. සඟුන් ඇතුළු මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන්ට එන්නතක් නිපදවීමට මගක් නැත්තේ නොවේ. එනම් පිරිත් පැන් එන්නතයි. රතන සූත්‍රය ලක්ෂ වාරයක් කියා පැන් බල ගන්වා කුප්පිවලට දමා එන්නත් ලෙස ලොව පුරා විකිණිය හැකිය..!

ලෙඩ දුක් රෝග පීඩා හානි යන සියල්ල ලෝක ධර්මතාවෙහි ලක්ෂණයන්ය. ඒවා ක්ෂුද්‍ර ජීවී මනඃකල්පිත දෙවියන්ගේ කෝප වීමෙන් හට ගන්නා සංසිද්ධීන් නොවේ. ඊට විසඳුම් ඇත්තේ මිනිස් මොළයේයි. දෙවියන්ට මොළේ තිබේ නම් ඔවුන් විසින් මැවූ දරුවන්ට මෙවැනි ව්‍යසන උපද්‍රව සිදු වීමට ඉඩ තබන්නේ නැත. එබැවින් දෙවියන්ට කන්නලව් කිරීමෙන් හෝ පුද පුජා කිරීමෙන් තඹයක ප්‍රයෝජනයක් නැත. යකඩ කටින් පාලි ගාථා කීවාට කොරෝනාවට හෝ කොරෝනා දේවියට ඇහෙන්නේ නැත. 

කොරෝනාව එක අතකින් හොඳය. ඒ මක් නිසාද යත් කොරෝනා වැනි ඇහැට නොපෙනෙන වෛරසයක් විසින් සර්ව බලධාරී දෙවියන්, බඹුන්, පමණක් නොව සූත්‍ර පිටකය ද උස්සා පොළොවේ ගැසූ බැවිනි. එහෙත් මිනිසාට ලැජ්ජාවක් නැත. ඒ මිනිසාගේ මෝඩ කම නිසාය. නැත හොත් ප්‍රඥාව නැති නිසාය. ප්‍රඥාවන්තයා විද්‍යාත්මක විසඳුම් සොයයි. දුප්පඥයා අවිද්‍යාව ඇසුරු කරයි. එහි සැරිසරයි. අවිද්‍යාවම පිහිටට ගනී. 

මේ සටහනට දුප්පඥ බෞද්ධයන්ගෙන් පහර වදින්නේය. ඒ ඔවුන් ප්‍රඥාව උපදවා ගැනීමට අකමැති නිසාය. බුද්ධ දේශනාව තේරුම් ගත හැක්කේ ප්‍රඥාව ඇත්තන්ට පමණක් බව බුදුන් වදාළ සේක. උන්වහන්සේ විජ්ජාචරණ වන සේක. දේව ආගම්වලින් එන විවේචන සාධාරණය. ඒ මක් නිසාද යත් දේවාගම් අදහන්නන් දෙවියන්ගේ ගැත්තන් වන බැවින්ය.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
Advertiesment