ජනපතිවරණ සහ මහා මැතිවරණ වේදිකාවේ දී ජනතාව රවටා ඡන්දය ගෙන බලයට ආවා වගේ වෛරස් රැවටීමට නොහැකි බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දී බදාදා (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේය.
කොළඹ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
මේ වන විට (2021.05.26) වාර්තා වී තිබෙන ආකාරයට රටේ ජන ගහනයෙන් 170,000කට පමණ වෛරසය වැළඳී, 1269 ක් මිය ගොස් තිබෙනවා. අපේ රටේ මේ වෛරසය පැතිරී යන බරපතළ ආකාරය මේ අනුව පැහැදිලියි. සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැඩි සංචරණ සීමා නොපනවා මේ චක්‍රය බිඳින්න බැරි බව ආණ්ඩුවට දැන්වූවා. ඒ වගේම විශේෂඥ වෘත්තීයවේදීන්ගේ සංගම් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඒ බව ඉල්ලා තිබුණා. ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා මේ වන විට එම සීමා පැනවීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය මත පැනවූ දැඩි සංචරණ සීමා නිසා දෛනික ආදායම් උපයන්නන් බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග ඇහිරිලා. ගොවීන් සහ ධීවරයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගන්න සැලැස්මක් නැහැ. ඒ වගේම ජනාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ලබා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එසේ නොවුණ හොත් වෙනත් ආකාරවලින් පීඩනය පුපුරා යා හැකියි.
කොරෝනා දෙවැනි රැල්ල අවස්ථාවේදී මූලික අවශ්‍යතා සඳහා ජනතාව පොලිස් බාධක කඩා ගෙන ආ හැටි අපි දැක්කා. ඒ වගේම එළවළු සහ මාළු නිෂ්පාදන මිලදී ගැනීම සහ පුරවැසියන්ගේ අවශතාවය සඳහා බෙදාහැරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි. අපට ඉතාමත් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයත් මේ යාන්ත්‍රණයේ කොටස්කරුවන් කර ගත යුතුයි.එමගින් ගැටලුකාරී තත්වයක් ඇතිවීම අවම කර ගත හැකියි.
සංචරණ සීමා යටතේ අපනයන කර්මාන්ත පවත්වා ගෙන යාමට ආණ්ඩුව උත්සුක වෙනවා. නමුත් එම කර්මාන්තවලත් විශාල ගැටලුකාරී තත්ත්වයන් මතුවී තිබෙනවා. පානදුර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අවුරුදු 34ක තරුණියක් කොවිඩ් නිසා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම බියගම සහ අනෙකුත් කර්මාන්ත කලාපවල පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමේ නිසි වැඩ පිළිවෙළක් නැහැ.
මේ කලාපවල කොවිඩ් රෝගය වැළඳුනු සේවිකාවන්ගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ වැටුප් නතර කිරීමට ක්‍රියා කර තිබෙනවා. ඒ වගේම පොදු සමාජයේ මළ ගෙදරක් වැනි අත්‍යාව්‍යශ කටයුතුවලට දැඩි සීමාවන් පවතිනවා. මේ වැනි තත්ත්වයක් යටතේ දැඩි සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල අත්පත් කර ගත යුතුයි. ඒ ප්‍රතිඵල අත්පත් කර ගන්නේ නැති නම් ආර්ථිකයට ඇති වන බලපෑමත් සමාජයීය ජීවිතයට ඇති වන බලපෑමත් ගඟට ඉනි කැපුවා වගේ වෙනවා.
ජනතාව විශාල කැප කිරීමක් කරමින් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සංචරණ සීමා මත සාමූහිකව එකම අරමුණකට එන්න කියලා අප ආරාධනා කරනවා. පුරවැසියන් විසින් සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් වෛරසය පාලනය කිරීමේදී ඇති වී තිබෙන ව්‍යාකූලත්වය පිළිබඳ පසුගිය කාලයේ ආණ්ඩුව තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා හොඳ සමාලෝචනයක් කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා නිහතමානී වී ඉතාමත් හොඳ පසු විපරමක් සිදු කොට අදාළ තීන්දු-තීරණ දැඩිව සහ නිශ්චිතව ගත යුතුයි. එසේ නොකරන්නේ නම් මේ කැප කිරීම්වලින් කිසි ඵලක් නැහැ. ආණ්ඩුව විසින් මේ වෙනුවෙන් මූලික වැඩ කොටස් කිහිපයක් කළ යුතු වෙනවා. එනම්,
■ සමාජයේ බිඳ වැටී තිබෙන දත්ත සහ තොරතුරු පිළිබඳව යළි විශ්වසනීයත්වය ගොඩනගන්න ඕනෑ. ඒ විශ්වසනීයත්වය බිඳ වැටීම පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා දෙන ලද දත්ත තොරතුරු පිළිබඳව ජනතාව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වී තිබෙනවා.
■ ඊළඟට ආණ්ඩුව ලබා දෙන තීන්දු-තීරණ පැහැදිලිව නිශ්චිතව කෙනෙක් හෝ දෙදෙනෙක් ලබා දිය යුතුයි. අද ලබා දෙන තීන්දු-තීරණ පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව විවිධ ප්‍රකාශ කරනවා. සංචරණ සීමාවන් පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුව පැවැත් වූයේ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සංචාරක අමාත්‍යවරයා සහ මහා මාර්ග අමාත්‍යවරයා විසිනුයි. ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව වග කිව යුතු කිසිදු නිලධාරියෙක් සහභාගි කර වූයේ නැහැ. නිරෝධායන නීති පිළිබඳව නිසි බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. හැබැයි ඒ වැනි නිලධාරීන් ප්‍රධාන තීන්දු-තීරණවලදී සහභාගි කර ගන්නේ නැහැ. නිරෝධායනය නීති ලිහිල් කිරීමේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුවල විශාල ව්‍යාකූලත්වයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යළි විශ්වාසනීයත්වය ගොඩනගා ගත යුතුයි.
■ වසංගතය මර්දනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක්‍රියාදාමය එන්නත්කරණය බව ජනාධිපතිවරයා පමා වී හෝ පිළි ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් නිසි සැලැස්මක් ආණ්ඩුවට ඕනෑ. එසේ නැතිව ආණ්ඩුව පැරණි, යට ගිය, විකාර රූපී නාඩගම්වල නොයෙදිය යුතුයි. පැණිය සහ කරල්, වැනි දේවල් ප්‍රවර්ධනය නොකළ යුතුයි. ඡන්ද වේදිකාවේ ඡන්ද ලබා ගැනීම සඳහා ජනතාව රවට්ටනවා වගේ වෛරසය රවට්ටන්න බැරි බව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තේරුම ගත යුතුයි. 2021 අප්‍රේල් මස මුල් සතියේදී ආණ්ඩුව කීවේ සෑම සතියකම සිකුරාදාට රුසියාවෙන් එන්නත් ලක්‍ෂයක් ලැබෙන බවයි. එහෙම ලැබුණාද..? ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් ඇණවුම් කර තිබෙන බව කීවා. හැබැයි ඒ එන්නත් ලබා ගැනීම සඳහා නිසි වැඩ පිළිවෙළක් මේ දක්වා සකස් කර නැහැ.
■ ජන ගහනයෙන් 70%කට එන්නත් ලබා දීම සඳහා අඩුම වශයෙන් ලක්‍ෂ 140ක් අවශ්‍ය වෙනවා. මාත්‍රා දෙකටම ලක්‍ෂ 280ක් අවශ්‍යයි. සංචරණ සීමා පැන වීමේ ප්‍රතිඵල ලබා ගත හැක්කේ ඒ අනුව විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. එහි 40 වැනි පිටුවේ ඉතාමත් පැහැදිලිව ජාතික සැලැස්ම ගැන සඳහන් වෙනවා. එහි මූලිකවම කොවිඩ් මර්දන සෞඛ්‍ය අංශ මූලිකවම එන්නත්කරණයට ලක් කරන බවත්, අවුරුදු 60ට වැඩි අයට ඊළඟ ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ආදී වශයෙන් සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ අනුව එන්නත් ක්‍රම ක්‍රමයෙන් වැඩියෙන් ලැබෙන විට සමාජයේ පළල් අවකාශයක් කරා ගෙනයනවා.
■ හැබැයි ආණ්ඩුවේ ප්‍රධානීන් තම තමන්ගේ අය වෙනුවෙන් කෝටා වෙන්කර ගත්තා. පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයකටත් චන්න ජයසුමන අමාත්‍යවරයාගෙන් එන්නත් ලබා ගෙන තිබෙනවා. අද කෙරෙන්නේ ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනයක්. ඔවුන්ට අනුව සුවිශේෂී ජීවිත සහ අවශේෂී ජීවිත කියලා බෙදීමක් තිබෙනවා. නමුත් මහා පාරේ ඉන්න යාචකයාටත් ඒ වගේම ඇමතිවරයගේ බිරිඳගේ ඥාතිවරයාටත් තිබෙන ජීවිතවල වටිනාකම් සමානයි. මේ පාලකයන්ට ඔවුන්ගේ ජීවිත සුවිශේෂී වන අතර මේ රටේ ජනතාවගේ ජීවිත අවශේෂ ජීවිත හැටියට සලකනවා. ඒ මනෝභාවය නිසා එන්නත් ලබා දීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කර තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශ පැත්තක තැබුවත් අඩුම තරමේ බුදු දහමේ මූලික මූලධර්මවලටවත් මේ පාලකයන් ගරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත කියලා බෙදුවේ කොහෙද..? පාලකයන්ට මේ රටේ ජනතාව ඉලක්කම් විතරයි.
■ ආණ්ඩුව විසින්ම 2021 ජනවාරි 08වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ජාතික සැලසුම බිඳ දමා තිබෙනවා. එම ජාතික සැලැස්ම නැවත නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ඒ අතරම හිතුවක්කාරි සහ තක්කඩි අත්හදා බැලීම් කරන්න එපා කියලා අපි කියනවා. බැසිල් රාජපක්‍ෂ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කියා තිබුණා යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙනාවේ පරීෂක්‍ෂා කර බලන්න කියලා. එසේ පරීක්ෂා කර හෝ අත්හදා බලන්න අවශ්‍ය නම් ඒ අය ගෙන්වා ගෙන ඒ අයව ඔහු ඔහුගේ ගෙදර නතර කර ගත යුතුයි. උදයංග වීරතුංගට සංචාරක ව්‍යාපාරය ලබා දෙන්න අත්හදා බැලීම් කරලා මේ ව්‍යසනය ඇති කළා. කළු ආර්ථිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව අත්හදා බැලීමේ භූමියක් බවට පත් කළා. හැබැයි අත්හදා බලන්න තීන්දු ගත්ත කෙනා මේ වෛරසය පැතිරීමේදී රටේවත් නැහැ. ඒ ගොල්ලන්ගේ මව්බිමට ගිහිල්ලා. මේ හැම දේකින්ම පෙන්වන්නේ මේ පාලකයන් අමානුෂික පාලකයන් බවයි.
■ ඒ නිසා සංචරණ සීමාවලින් ප්‍රතිඵල ගන්න නම් ජනතාව තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරමින් හැසිරවීම, දත්ත, තොරතුරු සේම තීන්දු තීරණ පිළිබඳ විශ්වසනීයත්වයත් සමාජයේ ඇති කිරීම, එන්නත් ලබා ගැනීම සඳහා වේගවත් වැඩ සටහනක් ඇති කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම ඒ සංවිධානයට අප විසින් ලබා දුන් වැඩ පිළිවෙළට අනුව එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම සහ නැවත හිතුවක්කාරී මෝඩ අත්හදා බැලීම්වලට අපේ රටේ පුරවැසියන් බිලි නොදීම යන කරුණු අවධාරණය කරනවා. මේ කරුණු පිළිබඳව ජනතාවගේත් ආණ්ඩුවේත් අවධානය යොමු කරවන්න කියන ඉල්ලීම දැඩිව සිදු කරනවා.
Lanka Newsweek © 2026