Friday 26th of April 2024

English Tamil
Advertiesment


විස්සේ පියවරුන්ට අනාගත පපුරෙන් සමාවක් නැහැ 


2021-01-01 7687

20 කියන්නේ ජාති ද්‍රෝහී ලියවිල්ලක් 

 

ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කරූ නව වසරේ වැඩ අරඹයි 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අනාගත පරපුර අදාළ වග කිව යුත්තන්ට කිසිදු සමාවක් නොදෙනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

අනාගත පරපුර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් සලකනු ඇත්තේ ජාති ද්‍රෝහීන් ලෙස යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා  20 වන සංශෝධනයෙන් ලබා ගත් අසීමිත බලය අද ආණ්ඩුව යොදා ගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම පටහැනි අත්තනෝමතික ක්‍රියාවන් බල ගැන්වීම සඳහා යැයි ද චෝදනා කර සිටියි. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ, "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (31) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

මෑත භාගය තුළ සෑම සතියකටම වරක් පාහේ සංවිධානයක් ලෙස අප ජනමාධ්‍ය හමුවේ විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරනු ලැබුවා. අප එසේ කළේ ජාති ආගම් ආදී වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද කිසිදු භේදයකින් තොරව මේ රටේ ජනතාව දැනුවත් කිරීම අප සතු වූ වගකීමක් ලෙස කල්පනා කළ නිසයි.

අප මෙම කටයුත්ත සිදු කරන්නේ රටේත් ජනතාවගේත් යහපත අරමුණු කර ගෙන සංවිධානයක් ලෙස අප සංවිධානයේ මතය ජනතාව හමුවට ගෙන යාමට  පමණක්ම නොව මේ රටේ බලධාරීන්ට ද ඒ බව දැනුම්දීමට යි. එහිදී අප එම කටයුත්ත සිදු කරන්නේ කිසිම ආකාරයක කුහකත්වයකින් තොරව ඉතාමත්ම සද්භාවයෙනුයි.

කොවිඩ් වසංගතය පමණක් නොව වග කිව යුතු ඉහළ බලධාරින්ගේ ද අසමත් භාවය නිසා මේ රටේ ජනතාව අද මේ වන විට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බව අප දන්නවා. අප මෙම කරුණු ‍පෙන්වා දෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට නොවේ. අප විසින් ඉදිරිපත් කරන කරුණු කාරණා හා සාධනීය විවේචනයන්ද සැලකිල්ලට ගනිමින් මේ රටේ ජනතාවගේ යහපත පිණිස රජය ක්‍රියා කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

එහෙත් කණගාටුවෙන් වුවත් අප මේ මොහොතේදී ද පෙන්වා දෙන කාරණයක් වන්නේ ජනතාවගේ විරෝධය නොසලකා හරිමින් සම්මත කර ගත් 20 වන සංශෝධනයෙන් ලබා ගත් අසීමිත බලය අද ආණ්ඩුව යොදා ගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම පටහැනි අත්තනෝමතික ක්‍රියාවන් බල ගැන්වීම සඳහා වන බවයි.  ඒ නිසා අපට ඇස් කන් පියා ගෙන සිටිය නොහැකියි.

අද වන විට අපට ඉතා පැහැදිලිවම පෙනෙන කාරණයක් වන්නේ, මේ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මහ ජන නිදහස හා ජනතාවගේ යහපත ප්‍රසිද්ධියේම විනාශය කරා ගෙන යනවා පමණක් නොව කිසිදු ලැජ්ජාවකින් තොරව අසත්‍ය හා වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් තමන්ගේ අසමත්භාවය වසා ගැනීමේ උත්සහයක ද නිරතව සිටින බවයි.

මහර බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසක් ඝාතනය කළ සිදුවීම ඒ සඳහා දැක්විය හැකි එක උදාහරණක් පමණයි. එහිදී රජය නිල වශයෙන් සිදු කළ  ප්‍රකාශයෙහි සඳහන් වූයේ කිසිවෙකුට වෙඩි නොතැබූ බවයි. නමුත් පසුව ඒ පිළිබදව සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කුමක්ද..? මිය ගොස් ඇති රැදවියන් අට දෙනෙකුටම වෙඩි තබා ඇති බව ඒ මඟින් පැහැදිලි වුණා. 

මෙවැනි තත්ත්වයන් අතීශයින්ම සෝචනීය වනවා පමණක් නොව අතිශයින්ම භයානකද වෙනවා. එමෙන්ම අන්තර්ජාතික වශයෙන් පවා එම තත්ත්වය අප රටට ඉතාමත්ම අහිතකර ලෙස බල පෑ හැකි බව රජය වටහා ගත යුතුයි. ඒ කෙසේ නමුත් අවසානයේ සත්‍ය පැහැදිලි වී තිබෙනවා. ඒ නිසා බලය යොදා ගනිමින් සත්‍යය සදාකාලික ලෙස යටපත් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු වනවා. එමෙන්ම එම සත්‍ය රටට හෙළි කළ අදාළ පරීක්ෂණ කමිටුවේ සියලුම සාමාජිකයන්ට ද අප අපගේ ගෞරවය පළ කරනවා. එම ක්‍රියාවලිය මේ රටේ දැනට ක්‍රියාත්මක වන අනෙකුත් පරීක්ෂණ සභා හා කොම්ෂන් සභාවලටද හොද ආදර්ශයක්.

රාජ්‍ය පාලනයක තිබිය යුතු වැදගත්ම අංගය වන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම එහි ප්‍රගතිය වාර්තා කිරීමේදී නිවැරදි දත්ත හා විස්තර ඉදිරිපත් කිරීමයි. නමුත් මෑත යුගයේ දී අප දුටුවේ ඉදිරිපත් කළ දත්ත විවිධ අවස්ථාවල දී නොයෙක් වෙනස්වීම්වලට භාජනය වීමයි. මෙවැනි සිදුවීම් රජයට සහ අදාළ ආයතනවලට හානි කර බව අප වටහා ගත යුතුයි.

උදාහරණයක් වශයෙන්, රටේ ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙකුට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් ගරු ජනාධිපතිතුමාගේ නියෝග මත ඔහු අදාළ  තනතුරෙන් ඉවත් කළ බවට පුවතක් අප දුටුවා. ඊට පසුදා එම ජනමාධ්‍යයන්ම වාර්තා කළේ අධික වැඩ කටයුතු නිසා එම සභාපතිවරයා අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි. ඊට පසුව පළ වූ වාර්තාවන්හි දැක්වුණේ වඩා වෙනස් තත්ත්වයක්. එනම් අදාළ පුද්ගලයා ආයතන දෙකක සභාපති තනතුරු දරමින් සිට ඇතත් ඉල්ලා අස්වි ඇත්තේ එයින් එක් ආයතනයක සභාපති තනතුරෙන් පමණක් බවයි. මෙහිදී වඩා වැදගත් වන්නේ එහි අවසාන ජවනිකාවයි. එනම් එම පුද්ගලයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අභිනව සභාපතිවරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් පත් කර ඇති බවයි.

මෙවැනි සිදුවීම් අප තේරුම් ගත යුත්තේ කෙසේද..? මහ ජනතාව මුලා කිරීම සඳහා මේ ආකාරයේ රංගනයන් සිදු කරන බව නොවේද..? අප එය අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැහැ. මේ සිදු වන දේවල් ගැන අද වන විට රටේ ජනතාව හොදින්ම තේරුම් ගනිමින් සිටිනවා. කෙසේ නමුත් මෙවැනි පරස්පර ප්‍රකාශයන් නිසා අවසානයේ ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට බලවත් හානියක් සිදු වෙනවා. 

ගෙවුණ වසරේ අප රටේ සිදුවූ බොහෝ කටයුතු අතර 20 වන සංශෝධනය බලාත්මක වීම නිසා රටට අත්වූ අහිතකර තත්ත්වයන් ගැන අප තවදුරටත් විමසිලිමත් විය යුතු වෙනවා. 20 වන සංශෝධන මඟින් සිදු වූයේ මේ රටේ මිලියන 21ක ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරා ගෙන එක් පුද්ගලයෙකු වෙත පවරා දීමයි.

මේ රටේ අති බහුතර සබුද්ධික ජනතාව මෙන්ම ආගමික නායකත්වයේ අති බහුතරයද එම තත්ත්වය නොපිළි ගන්නා බව රජය දැන්වත් වටහා ගත යුතුයි. ජනතාවගේ සැබෑ මතය වටහා ගැනිම රජයේ අනාගත සුභ සිද්ධියට හේතු විය හැකියි. 20 වන සංශෝධනය මඟින් පැවැති ව්‍යවස්ථා සභාව අහෝසි කර ස්වාධීන කොමිෂන් සභාද අකා මකා දමමින් ඒවා පටු දේශපාලන අතකොලු බවට පත් කළ හැකි ආයතන ලෙස පරිවර්තනය කර තිබෙනවා. මහ ජන උපයෝගීතා කොමිෂම වැනි ආයතන අක්‍රීය කර ජනතාව සූරා කෑම සඳහා තම දේශපාලන මිතුරන්ට අවස්ථාව ලබාදීමත් මේ මඟින් සිදු කර තිබෙනවා. එවැනි අතිශය අප්‍රසන්න හා වැරදි ක්‍රියාවන් ගැන මහ ජනතාව මහත් වූ පිළිකුලෙන් යුතුව බලා සිටිනවා. කිසිම සීලාචාර රටක් එවැනි තත්ත්වයකට යන්නේ නැහැ.

මේ අවස්ථාවේ අප මීට වඩා අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අප බුද්ධි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව අප සංවිධානයේ මතය ඔබ හමුවේ ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් අප එක් අනාවැකියක් පළ කරන්නට කැමැතියි. 20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම්වලට සිදු කළ විනාශය ගැන නම් මේ රටේ අනාගත පරපුර ඔවුන්ට කිසිම සමාවක් දෙනු ඇතැයි අප සිතන්නේ නැහැ. එදා වන විට අප ජීවත්ව නොසිටින්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අනාගත පරපුර 20 වන සංශෝධනයේ නිර්මාතෘවරුන් සලකනු ඇත්තේ ජාතිද්‍රෝහීන් ලෙසයි. 

ඒ කෙසේ නමුත් ලැබුවා වූ නව වසර පිළිබඳව අප සියලු දෙනාම සුභවාදී අපේක්ෂා දල්වමු. රටට යහපතක් වන, ජනතා අපේක්ෂා මල් ඵල ගැන් වෙන අනාගත පරපුරේ යහපත උදෙසා තීන්දු තීරණ ගන්නා වූ වසරක් ලෙස 2021 වසර පත් වේවායි අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු. එළඹෙන 2021 නව  වර්ෂය ඔබ සැමට යහපතක්ම උදාකරන වසරක් වෙත්වා..!

Advertiesment