Monday 7th of October 2024

English Tamil
Advertiesment


ගෙවුණු සතියේ කොවිඩ් 19 පැතිරුණේ මෙහෙමයි


2020-11-07 14345

කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයත් සමඟ ගෙවි ගිය සතිය වඩාත් උණුසුම් කරමින් බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ ගණනාවකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබු අතර ගෙවී ගිය සතිය නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක වූ සතියක් විය. බස්නාහිර පළාතට ගෙවී ගිය සතියේ පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 5 දක්වා දීර්ඝ කළ අතර එය ඉදිරියේදි ක්‍රියාත්මක වීම පිළිබඳව නිල ප්‍රකාශයක් ලිපිය ලියන මොහොත වන වටත් දැනුම් දී නොතිබුණි. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සතිය ආරම්භයේදීම විශේෂ ප්‍රකාශයක් කරමින් ඇඳිරි නීතිය පිළිබඳව දැනුම් දුන් අතර අතර ඇහැලියගොඩ හා කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශ, කුරුණෑගල නගර සීමාව ඇතුළු පොලිස් බල ප්‍රදේශ 118 කට පමණ මේ ආකාරයෙන් ඇදිරි නීතිය ක‍්‍රියාත්මක විය.

ගෙවි ගිය සතිය තුළ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම් 12,000 ඉක්මවා යන්නට වූ අතර මරණ ප්‍රමාණයද 24 ක් දක්වා ඉහළ ගියේය. ඒ වන විටත් දැනට රෝහල්ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 5540 ක් වු අතර සුවපත් වූ කොරෝනා රෝගීන් 6623 ක් විය. ඒ අතරම වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාව අනුව ගෙවී ගිය අවසන් පැය 24 දෛනික රෝග වාර්තාවද 443 ක් විය.

සතිය ආරම්භයේදී කොළඹ නගර සීමාවේ වයිරස ව්‍යාප්තියත් සමඟ කොළඹ නගර සභාව සතු ගොඩනැගිලි 35ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට තීරණය කෙරුණි. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකු ඇතුළු හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර එයින් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක්ද, ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙක්ද විය. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර පසුගිය සති අන්තය වන විට වඩාත්ම කතා බහට බඳුන් වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වාර්තා කිරීමට ගිය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 5 දෙනෙක්ද කොරෝනා වසංගතයට ගොදුරු වීමයි. මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් 60 දෙනෙකුට ආසන්න ප්‍රමානයක් පාර්ලිමේන්තුවේ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු අතර ඔවුන් සියලු දෙනාම පි. සී. ආර් පරීක්ෂණවලට බදුන් වූ අතර ස්වයං නිරෝධායනයටද ලක් විය. 

රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයන්ව දින 10-14 ගිය පසු තව කෙනෙකුව ආසාදිතයකු බවට පත් කළ හැකි තත්ත්වයක් නැහැ. එමනිසා කිසිදු බයක් නැතිව මේ අයව නිවසට යැවිය හැකියි. පී. සී. ආර් එකකින් හඳුනා ගන්නේ වයිරසයේ කොටස් මිසක එහි ජීවි අජීවි බව නොවෙයි. 


- වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

සතිය ආරම්භයේදී වෙරළබඩ පොලීසිය වසා දැමුණේ එම පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වීම නිසාවෙනි. ඉතිරි නිලධාරීන් 83 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබුණි. කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ කිහිපයකට සංචාරණ සීමා පනවා තිබූ අතර ඒ ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙනි.

වත්තල ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබුණේ පසුගිය 31 වැනිදාය. ඒ 120 දෙනෙකුට කරන ලද පරීක්ෂණ වලින් අනතුරුවය.

කොරෝනා ආසාදනය වූ අවුරුදු 54ක් වන කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී මියගිය අතර මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගියේය. පසුගිය 31 දා කොරෝනා වයිරසය ආසාදිතයන් 239 ක් හදුනාගෙන තිබූ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි. මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 7185 ක් ඒ වන විටත් වාර්තා වී තිබූ අතර සමස්ත ආසාදිතයන් ගණන 10,663ක් විය.

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමඟම නිරෝධායන මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝහල් බවට පසුගියදා පත් කළේය. මෙසේ තාවකාලිකව රෝහල් බවට පත්කර ඇත්තේ කන්දකාඩු, කනගොල්ල, ගල්ලෑල්ල සහ පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයි. හොරණ පිහිටි බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පසුගියදා හඳුනාගෙන තිබේ. ආසාදිතයන් හමුවීම හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා සේවකයන් සියලු දෙනාගේම නිවෙස් නිරෝධායනයට යොමුවිය.

නොවැම්බර් 1 වනදා කොරෝනා වෛරසය ආසාදිතයන් 397ක් හඳුනාගෙන තිබුණි. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින්ගේ එකතුව 11,000 ඉක්මවීය. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන බව දැනුම් ද තිබුණද එය යළි විවෘත කර තිබුණේ නැත.

එළඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දුන්නේ පසුගියදාය. ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාලය දීර්ඝ කර ඇත්තේ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය Alwr Leval-3 මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබුණේ පසුයල සති මැදය. ඒ නිරෝධායන ඇදිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරමිනි.

නොවැම්බර් 1 දා වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට රජය කටයුතු කර තිබුණි. ඒ අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල, හෙම්මාතගම, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශත් ගලිගමුව ප‍්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු යොදා තිබුණි.

කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොමසාරිස් කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් තබමින් නිවේදනය තිබුණේ පසුගිය දාය. එසේම හොරණ MAS Bodyline (Pvt) Ltd ආයතනයේ සේවකයන් 34 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට එම ආයතනය සඳහන් කර තිබුණි. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්තෝම්බර් 30 වැනි සිකුරාදා දිනයේ දී සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔක්තෝම්බර් 31 වැනි සෙනසුරාදා දින ආයතනය වසා දැමීමට පියවර ගත් බවත් ය.

මේ අතර ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර ආරම්භ වූ අතර සතියක් තුළ අදාළ දීමනාව ලබා දී අවසන් කිරීමට නියමිතය.

කොරෝනා වයිරසය ආසාදිත ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවැසූයේ පසුගිය 5 වැනිදාය. ඉකුත් 30 වැනිදා සිට මේ වනතෙක් මෙම පිරිස නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35ක් තුළ 1,082 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2, 321ක් විය. මේ අතර නිරෝධායනය වූ පවුල් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට ආරම්භ විය.

කොළඹ අපරාධ කොට්ඨාස සේවය කරන පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණේ පසුගිය 3 වැනිදාය. ඒ හේතුවෙන් මළලසේකර මාවතේ පිහිටි පොලිස් කාන්තා නිල නිවාසවල සිටින නිලධාරිනියන් 235 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

පසුගිය සතිය මැද වන විට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පැවැසීය. කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා 24 වැනි මරණය වාර්තා වූයේ පසුගිය 4 වැනිදාය. ඇය කොටහේනේ පදිංචි කාන්තාවකි.

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ පසුගිය සතියේය.

ඒ හේතුවෙන් ඔහු සේවය කළ වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබුණි. 3 වන දා වන විට තුළ මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 407 දෙනෙකු හදුනාගෙන තිබුණි. ඔවුන්ද සමඟ මෙරට කොරෝනා අසාදිත ප්‍රමාණය 11,744 දක්වා ඉහළ ගියේය.

පසුගිය සති අන්තය වන විට කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර ඒ වන විටත් එම පොලිසියෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 59කි.

පසුගිය 4 වැනිදා කොරෝනා ආසාදිතයින් 443 වාර්තා වූ අතර එයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 212 කි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රියදුරන් තිදෙනෙක් හා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාකරුවකුට කොවිඩ් -19 ආසාදනය වී ඇත්තේ සති අන්තයේ වන අතර ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවාහන අංශය තාවකාලිකව වසා දමා තිබුණි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් නිලධාරීන් 182 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ පසුගියදාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 49 දෙනකු ද බොරැල්ල පොලිසියේ නිලධාරින් 15 දෙනකු ද වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් 5 දෙනකු ද බස්නාහිර පළාත් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 5 දෙනකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ සාමාජිකයන් 2 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතයන් 3දා වනවිට වාර්තා වී තිබුණි. ඒ අතර කොළඹ වරාය අධිකාරියේ සේවය කරන සේවකයන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස පසුගියදා හඳුනාගෙන තිබුණි. ඒ වරාය සේවකයන් දෙසීයක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදිය. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පස්දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදන වී ඇතැයි වාර්තා වූයේ පසුගිය 5 වැනිදාය.

කොරෝනා වයිරසය ආසාදිත ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවැසූයේ පසුගිය 5 වැනිදාය. ඉකුත් 30 වැනිදා සිට මේ වනතෙක් මෙම පිරිස නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35ක් තුළ 1,082 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් 3 දා වනවිට 63,122 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටත්ව ගොස් ඇතැයි ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන පි.සී ආර් පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාවද මේ වන විට ආරම්භ කර තිබේ. එසේම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබුණි. තැපැල්පතිවරයා සඳහන් කරන්නේ එහි සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවකි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පී.සී.ආර්. පරික්ෂණ 536,337 ක් සිදු කර ඇති අතර ඉකුත් දෙවැනිදා පමණක් පී.සී.ආර්. පරික්ෂණ 11,889ක් සිදුකළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරිම සඳහා සිංගප්පූරුවේ තෙමාසෙක් පදනම රුපියල් මිලියන අසූවක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කළේ 5 වැනිදාය. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන පි.සී ආර් පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාවද මේ වන විට ආරම්භ කර තිබේ. එසේම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබුණි. තැපැල්පතිවරයා සඳහන් කරන්නේ එහි සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවකි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා 5 දා සවස වන විට නිල වශයෙන් ප්‍රකාශ කළේ තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බවකි. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.


“අපි මේ වන විටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසයි. මුණ ගැසීම්, රැස්වීම් මෙන්ම විවිධ හමු විම් පවා සීමා කළ යුතුයි. බස්නාහිර පළාත තුළත් මේ වන විට මේ වසංගතය වැඩියෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. යමෙකු යම් රෝගියකුගේ ආශ්‍රිතයකු වූයේ නම් එය දැනගත් වහාම තමන් සිටින ස්ථානයේම ස්වයං නිරෝධායනය විය යුතුයි. ඒ වගේම යමකුට මේ හා සම්බන්ධ රෝග ලක්ෂණ පවතී නම් රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. මේ වන විට හමුව ඇති රෝගීන්ගෙන් 7582 ක්ම මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට සම්බන්ධ රෝගීන්. පසුගිය දිනවල අපි තීරණයක් ගත්තා, ජාත්‍යන්තරයේ හා අපේ රටේ මේ හා සම්බන්ධ දැනීම් පදනම් කර ගෙන පි. සි. ආර් පරීක්ෂණ වලින් තොරව රෝග ලක්ෂණ නැති රෝගීන් මුදා හැරීමට. රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයන්ව දින 10-14 ගිය පසු තව කෙනෙකුව ආසාදිතයකු බවට පත් කළ හැකි තත්ත්වයක් නැහැ. එමනිසා කිසිදු බයක් නැතිව මේ අයව නිවසට යැවිය හැකියි. පි. සි. ආර් එකකින් හඳුනා ගන්නේ වයිරසයේ කොටස් මිසක එහි ජීවි අජීවි බව නොවෙයි.

මේ දක්වා ලොව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලින් මේ බව හොඳින්ම තහවුරු වි තියෙනවා. මේ කරුණ රෝහල්ගත කළ රෝගින් විධිමත්ව පිට කිරීමට හේතුවක් වෙනවා..“

 

 

 

 

-සිළුමිණ- 

Advertiesment