Friday 26th of April 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිය පහත හෙළයි 


2020-09-29 7788

B-2 සිට Caa-1 දක්වා දර්ශකය පහත යයි 

 

මූල්‍ය සහ ආර්ථික ඵලදායීතාවයට බාධා

 

ජාත්‍යන්තර "Moody’s" ආයතනය කියයි  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වෛරී ශ්‍රේණි ගත කිරීම B-2 දර්ශකයේ සිට Caa-1 දක්වා පහත හෙළීමට ගෝලීය ප්‍රාග්ධන වෙළඳ පොළ සඳහා ණය ශ්‍රේණිගත කිරීම්, පර්යේෂණ සහ විශ්ලේෂණ සිදු කරන ජාත්‍යන්තර "Moody’s Investors Service" ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  "Moody’s Investors Service" ආයතනය මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ පුළුල් අය-වැය හිඟය, මන්දගාමී ප්‍රතිසංස්කරණ සහ දුර්වල ආයතන පද්ධතිය උපුටා දක්වමින් වන අතර මේ තීරණය කෙරෙහි බල පෑ වැදගත්ම සාධකය වන්නේ රටේ "පාලන සලකා බැලීම්" (Governance considerations) බව එම ආයතනය අවධාරණය කර සිටියි. 

ශ්‍රී ලංකාවේ ආයතන පද්ධතිය, රජයේ පාලන ශක්තිය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී වේගය සහ දේශපාලන අවදානම ඇතුළු කරුණු කාරණා, රටේ මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ ඵලදායීතාවයට බාධා පමුණු වන බව "Moody’s Investors Service" ආයතනයේ ස්ථාවරය වී තිබේ.  

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ බිඳෙන සුළු සහ පිරිහෙමින් පවතින මූල්‍ය තත්ත්වය මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ඵලදායීතාවයට බාධා පමුණු වනු ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු ද්‍රවශීලතා එන්නත් කර ඇති නමුත් රුපියලේ අගයට සහ උද්ධමනයට අවදානමක් ඇති බව ද එම ආයතනය පෙන්වා දෙයි.

2020 සහ 2025 අතර කාලයේ රජයේ භාහිර ණය සේවා ගෙවීම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් වන බැවින් රජයේ ද්‍රවශීලතාවය සහ භාහිර අවදානම තීව්‍ර වනු ඇතැයි ද, ඉදිරි වසර කිහිපය ඇතුළත ඇති විය හැකි පුළුල් අය-වැය හිඟයන් සඳහා විසඳුමක් ලෙස අවම වශයෙන් අර්ධ භාහිර මූල්‍යකරණයක් අවශ්‍ය වනු ඇතැයි ද  "Moody’s Investors Service" ආයතනය අපේක්ෂා කරයි.  

"මෙම කාල සීමාවේ දී කල් පිරෙන රජයේ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ මනෝභාවය වෙනස් වනු ඇත."

ගෙවුණු මාස කිහිපයේ දී  භාහිර මූල්‍ය තත්ත්වයන් තරමක් ලිහිල් වී ඇති අතර, එක්සත් ජනපද භාණ්ඩාගාරය මත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 1000 ක් පමණ ඉහළ ගොස් තිබීමෙන් පෙන්නුම් කරන්නේ තවමත් වෙළෙඳ පොළ ප්‍රවේශය දුර්වල වී ඇති බව යැයි ද  "Moody’s Investors Service" ආයතනය පෙන්වා දෙයි.

පරිණත ස්වෛරී බැඳුම්කරයක් ඔක්තෝම්බර් මාසයේදී සමථයකට පත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන නමුත් ආනයන පාලනය දීර්ඝ කළහොත් ආර්ථික ප්‍රකෘතිය ප්‍රමාද වනු ඇතැයි ද  "Moody’s Investors Service" ආයතනය වැඩි දුරටත් අනතුරු අඟවා සිටියි.

Advertiesment