Monday 7th of October 2024

English Tamil
Advertiesment


මහා කන්නයේ දී වගා පෙරළියකට ජනපති සූදානම් 


2020-09-09 14335

ආහාරවලින් රට ස්වයං පෝෂිත කිරීම අරමුණයි 

 

පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹේ 

 

මහා කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයේ 

 

කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කෙරේ 

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

ඉදිරි මහ කන්නයේදී ශ්‍රී ලංකා කෘෂි ඉතිහාසයේ මහා වගා පෙරළියක් සිදු කරමින් රට ආහාරවලින් ස්වයං පෝෂිත කිරීමට සැලසුම් කර ඇති හෙයින් මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කර ඇත. 

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ, පොහාර නිෂ්පාදනය, සැපයුම, රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතය පිළිබඳ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී වන අතර එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගත යුතු බවය. 

ඉදිරි මහ කන්නයේදී රටේ කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් සිදු කිරීමට රජය ගෙන ඇති තීරණය හමුවේ කලක් මුළුල්ලේ අතහැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සූදානම් වෙමින් සිටිති.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් සිදු කර තිබෙන අතර වතුවලට සහ ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. 

මෙහිදී අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇති අතර බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇති බවය. 

ආනයනයට පමණක් සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පොහොර රට අභ්‍යන්තරයේම නිෂ්පාදනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර ඇතුළත දී දේශීය වෙළෙ ඳපොළට සැපයීමට හැකියාව ඇති බවය. 

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව "Single super Phosphate"  රටට අවශ්‍ය ප්‍රමාණයට නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබෙන අතර "Nano" තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය කෙරිණ. ඒ අනුව පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබා දෙන බව ද මෙහිදී සඳහන් කළේය.

පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000ක් සඳහා කාබනික පොහොර භාවිත කෙරුණු අතර එමගින් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ මෙහිදී සඳහන් කළහ. එසේ නම් මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%ක් සඳහා කාබනික පොහොර යොදා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව වහාම සොයා බලන ලෙස ද එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බැලීමට ද එහිදී විසින් උපදෙස් දෙනු 

එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කරන අතර කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට කටයුතු යොදා ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සිහිපත් කළේය. 

රසායනික පොහොර මගින් ජලයට සහ භූමියට සිදු වන හානිය වැළැක්වීමත්, වකුගඩු රෝගයෙන් සහ සෙසු රෝගවලින් ජනතාව මුදා ගැනීමත්, පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමත් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රට-ජනතාව හමුවේ තමා සහතික වී තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේ, රසායනික පොහොර සහ කාබනික පොහොර 70% සහ 30% ප්‍රතිශතයට යොදා ගැනීමට පියවර ගන්නා බවය. එළවළු ගොවින්ගෙන් ඝෘජුව මිලදී ගෙන එළවළු වර්ග 6කින් යුත් මල්ලක් රුපියල් 350ක මුදලකට කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක සාර්ථකව අළෙවි කළ බව ද ඔහු සඳහන් කළේය. 

ඉදිරියේදී ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රේඛීය අමාත්‍යාංශ සමග එක්ව ඝෘජුව පාරිභෝගිකයා වෙත එළවළු සැපයීම අඛණ්ඩව සිදු කරන බව ද මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහූ, පොහොර සමාගම් නියෝජිතයෝ සහ වගාකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Advertiesment