Friday 26th of April 2024

English Tamil
Advertiesment


රනිල්-සජිත් ගෙවිය යුතු වන්දිය


2020-07-22 7841

එජාපය කැඩීමේ පාපයට දෙදෙනාම වග කිව යුතුය 

 

රට කාලකන්ණි කළේ කවුද..?

 

ආර්ථික වර්ධනය ඍන 3 ට යනු ඇත 

 

රට බංකොලොත්ය..?

 

මහින්ද අභිභවා යන්න ගෝඨාගේ වියතුන්ට බැරිය

 

පාර්ලිමේන්තු මැතිවරණය -2020    

 

 

(වික්ටර් අයිවන්)

 

කොරෝනා වසංගතය ඇති කර තිබෙන ව්‍යාකූලතාව තවමත් පහවී නැත. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට සිදුවී තිබෙන්නේ දෙවැනි රැල්ලක් පිළිබඳ බියක් වර්ධනය වෙමින් තිබෙනා අවස්ථාවකය. එම තත්ත්වය ද මැතිවරණ උද්‍යෝගය හීන කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත. එසේ තිබියදීත් මැතිවරණය ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ශක්තිය උරගා බැලෙන මාපකයක් ලෙස ක්‍රියා කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය මැතිවරණය ජය ගනු ඇතත් ආස්වාද ජනක ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් එය ආණ්ඩුවේ ශක්තිය හීන කිරීමට බල පානු ඇත. ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ජන්ද 69 ලක්ෂයක් ලබා ගැනීමට සමත් විය. මේ මැතිවරණයේදි ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණය කොතරම් විය හැකිද?

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂය තුළ බල මධ්‍යස්ථාන දෙකක් තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි. එක බල මධ්‍යස්ථානයක් ගොඩ නැගී තිබුණේ ජනාධිපති ගෝඨාභය කේන්ද්‍ර කර ගෙනය. අනෙක් බල මධ්‍යස්ථානය ජනාධිපතිගේ සහෝදර අගමැති මහින්ද කේන්ද්‍ර කර ගෙනය. මධ්‍යස්ථාන දෙකටම ආධාර කරුවන් සිටි අතර ජනාධිපතිගේ ආධාර කරුවන් ගෝඨාභය සලකන ලද්දේ පිරිසිදු ප්‍රගතිශීලි නායකයකු ලෙසය. ඔවුන් අගමැති මහින්ද සලකන ලද්දේ අපිරිසිදු ප්‍රතිගාමි නායකයකු ලෙසය. මේ දෙදෙනා අතර ගැටුමක් නොවේ නම් දරන අදහස්වල පරස්පරයක් තිබෙන බවද පෙනෙන්නට තිබුණි.

මැතිවරණයෙන් පසුව මේ අයිය මලෝ දෙදෙනා අතර තිබෙන බල තුලනයේද වෙනස්කම් ඇති විය හැකිය. මෙතෙක් පාලන බලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ජනාධිපතිය. අපේක්ෂා කළ ආකාරයට අගමැති මහින්දගේ ආධාරකරුවන් අභිභවා බලය ලබා ගැනීමේ හැකියාවක් වියත් මගට නැත. 19 වැනි සංශෝධනය අනුව රාජ්‍යය බලයේ කේන්ද්‍රීය පුද්ගලයා බවට පත් වන්නේ ජනාධිපති නොව අගමැතිය. ජනාධිපතිවරයා, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දෙන උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය. කැබිනට් මණ්ඩලය තීන්දු කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව අගමැතිටය. එම තත්වය සමහර විට අවුල් ඇති කිරීමට හේතු විය හැකිය.

විරුද්ධ පක්ෂය

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ දෙකට කැඩුණු තත්ත්වයකය. ජනාධිපතිවරණයෙන් ලැබූ අති විශාල පරාජයෙන් පසුව වුවත් එම පක්ෂයේ ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමට සමත් වී නම් බලවත් පක්ෂයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් එම තත්ත්වය එම පක්ෂයට හිමි කර දීමට පරණ නායකයා සේම අලුත් නායකයාද අසමත් විය.ඒ වෙනුවෙන් එම නායකයින් දෙදෙනාට සේම එම පක්ෂයටද ලොකු වන්දියක් ගෙවන්නට සිදු වනු නොවැළක්විය හැකිය.

මෙම මැතිවරණය ජවිපෙට ද තීරණාත්මකය. පිළි ගත හැකි ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් සාම්ප්‍රදායි වමේ පක්ෂවලට හිමි වූ ඛේදජනක ඉරණම එයටද හිමි විය හැකිය. අනෙක් පක්ෂවලට සාපේක්ෂව ගත් විට අන්ත දූෂිත තත්ත්වයකට තල්ලුවීමෙන් වැළකී සිටීමට සමත් වී ඇතත් පාර්ලිමේන්තු දේශපාලනය තුළ ඉදිරිගාමි හා නිර්මාණශීලි කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වූයේ නැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තුව ඇද වැටී තිබෙන දූෂිත තත්ත්වයට එරෙහිව ඵලදායී කාර්‍ය භාරයක් ඉටු කිරීමට සමත් වී නැත.

මැතිවරණයේදී ලබා ගන්නා ආසන සංඛ්‍යාව කුමක් වුවත් මුස්ලිම්,දෙමළ හා උඩරට දෙමළ යන සුළු ජාතික පක්ෂවලටද තමන් තෝරා ගත යුත්තේ කුමන මාර්ගයක්ද යන උභතෝකෝටික ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීම

මෙම තරගයෙන් ආණ්ඩු පක්ෂය ලබන ප්‍රතිඵලය කුමක් වුවත් විරුද්ධ පක්ෂයෙන් තේරී පත් වන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු කර ගනිමින් හෝ තුනෙන් දෙකක බලයක් ඇති කර ගැනීම ආණ්ඩුවේ අභිලාෂය වී තිබේ. එහෙත් එම අභිලාෂය ව්‍යවස්ථාවට පටහැනිය.

මන්ත්‍රී ධූර අහිමි කර ගැනීමෙන් තොරව පක්ෂ මාරු කිරීමට පුළුවන්කමක් නැතිකම දෙවන ජන රජ ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයට ආවෙනික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මැතිවරණයකින් ඇති කරන දේශපාලන බල තුලනය ඊළග මැතිවරණය තෙක් පක්ෂ මාරු කිරීම් නිසා වෙනස් නොවන තත්ත්වයක් සහතික කිරීම එම ආණ්ඩු ක්‍රමයේ දර්ශනයට ආවෙනික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වූ අවස්ථාවේදී  ඊට සම්බන්ධ මන්ත්‍රීවරුන් අට දෙනෙකු එජාපය සිය පක්ෂයෙන් නෙරපා හරින ලදී. එම අටදෙනා මන්ත්‍රීකම් ආරක්ෂා කර ගැනීම සදහා අධිකරණය ඉදිරියට ගියත් නඩුව විමසූ මාර්ක් ප්‍රනාන්දු ප්‍රමුක ත්‍රී පුද්ගල විනිශ්චය මණ්ඩලය ඒ සියලු දෙනාගේ මන්ත්‍රීකම් අහිමි කළේය.

ජනාධිපති චන්ද්‍රිකාගේ දෙවැනි පාලන කාලයේ ආරම්භයේ සිටම අධිකරණයේද සහාය ඇතිව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් එකතු කර ගන්නා හා ඔවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයේ එක් අවස්ථාවකදී මුස්ලිම් කොන්ග්‍රසයට සම්බන්ධ නුවා පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් (අමීර් අලි) අග විනිසුරු සරත් සිල්වා ප්‍රමුඛ පස් පුද්ගල විනිසුරු මඩුල්ලක් අපූරු නඩු තීන්දුවක් ලබා දුන්නේය. එම නඩු තීන්දුවෙන් කියා තිබෙන්නේ පක්ෂ මාරු කිරීම්වලට අදාළ නඩුවකදී ඉන් සිදු වන මහජන යහපතද සැලකිල්ලට ගත යුතු බවය. විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ලොකු අල්ලසක්ද ගෙන එකතු වන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කර දෙන ක්‍රමයක් අධිකරණය විසින්ම ඇති කරදීම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරව සිටින අධිකරණය විසින් කරන ලද බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක් ලෙස සැලකිය හැකිය. එය ආණ්ඩු ක්‍රමයේ ලොකු විකෘතියක් ඇති කිරීමට හේතුවිය.

මන්ත්‍රීවරුන් විශාල මුදලකට විකිනෙන ක්‍රමයක් ඇති වීම ඒ නිසා ඇතිවූ තවත් අවලස්සන ප්‍රතිඵලයක් විය. සමහර ආණ්ඩු පෙරළිවලදී එක මන්ත්‍රීවරයෙකු මිලියන සිය ගණනකට විකුණුනු අවස්ථා තිබුණි.

ආණ්ඩුවේ අපේක්ෂා

ජනාධිපති සිරිසේන 2018 ඔක්තෝබර්වලදී රනිල් අගමැති ධූරයෙන් නෙරපා හැර මහින්ද අගමැති ධූරයට පත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූයේ ආණ්ඩු පක්ෂයට එකතුවීමට කැමැත්තක් දැක්වූ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි විශාල මිලගණන් ගෙවීමට නොහැකිවූ නිසා බව එම ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කීවේය. ලංකාවේ රාජ්‍යය පාලනය පමණක් නොව රාජ්‍යය නායකයින්ද කුණුවී තිබෙන තරම ඉන් පෙන්නුම් කරයි.

මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකේ බලයක් සදහා ආණ්ඩුවට එකතු වීමට දැනටමත් කැමැත්ත පළ කර තිබෙන විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් සිටින බව ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණි. එවැනි ක්‍රමයක් ව්‍යවස්ථාවට පටහැනි බව ජනාධිපතිවරයා දන්නේ නැද්ද? රටේ විටින් විට බලයට පත් වන රාජ්‍යය නායකයින් පටු දේශපාලන අවශ්‍යතාවන් සදහා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම රටේ ආණ්ඩු ක්‍රමය අවුල් කිරීමට හා ජරාජීර්න කිරීමට බලපා තිබෙන වැදගත් හේතුවකි. රාජ්‍යය නායකයින් හා ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාරව ක්‍රියා කරන අධිකරණය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි නම් ඒ රට කාලකන්නි වීම අරුමයක් නොවේ.

තුනෙන් දෙකේ සිහිනය සඵල කර ගත හැකි පහසු සිහිනයක් නොවන අතර ඒ සිහිනය සැබෑ කර ගත්තද රටේ තිබෙන විශේෂ සමාජ-ආර්ථික හා දේශපාලන වටපිටාව තිබෙන්නෙ එවැනි බලයක් ඇතිව වුවද සාර්ථක පාලනයකට ඉඩක් නැති තත්ත්වයකය.

අවසානය

රටේ ආර්ථික ශේෂ පත්‍රය තිබෙන්නේ අල්ලා ගෙන සිටීම පවා ආමාරු කඩා බිද වැටීමක් නොවැළක්විය හැකි තත්ත්වයකය. ලෝක බැංකුවේ ප්‍රක්ෂේපනයන්ට අනුව ලංකාවෙ ආර්ථික වර්ධනය ඍණ 3 දක්වා පහත වැටීමට නියමිතය. විදේශ විනිමය ආදායම්වල අසාමාන්‍ය තරමේ පහත වැටීමක් පෙනෙන්නට තිබෙන අතර රජයේ දෛනික කටයුතු සදහා අවශ්‍ය වියදම් පියවා ගැනිම සේම වාණිජ පදනමක් මත ලබාගෙන ඇති ණය වාරික පියවීම හා පොලී ගෙවීම ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ.එම තත්ත්වය කිසියම් මොහොතක රට මුළුමනින් බංකොලොත් තත්වයකට පත් කිරීමට හේතු විය හැකිය.

රටේ ඇතිවී තිබෙන මෙම විශේෂ අයිතිහාසික ඓතිහාසික තත්ත්වය මෙසේ පිඩු කළ හැකිය. ලංකාවේ දේශපාලන ක්‍රමය බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණ දෙයක් වන අතර නිදහස ලැබීමේදී එය නිදහසේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස විධිමත් කර ගැනීමක් සිදු නොවීය. නිදහසින් පසුව ජාතික රාජ්‍ය‍යේ පැවැත්ම සදහා නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකි ජාතික ඒකාග්‍රතාව ඇති කර ගැනීමට හේතු වන ලෙස ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. නිදහසින් පසු බලයට පැමිණි පාලක පක්ෂ වර්ග, කුල, ආගම් භේද මත පදනම් වී මිනිසුන් පීඩාවට පත් කිරීම නිසා කැරලි කෝලාහල හා ව්‍යවස්ථාව නොසලකා ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තිය සමස්ත දේශපාලන ක්‍රමය අවුල් ජාලාවක් කිරීමට හේතු විය. 1978 සිට පොදු වස්තුව කොල්ල කෑම රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් වී රාජ්‍යය හා සමස්ත ආයතන ක්‍රමය උපරිම මට්ටමකට දූෂිත කිරීමට හේතු විය. දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණ එම ගරා හැළීම නිවැරදි කිරීම සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම දිගින් දිගට නොසලකා හැරීම නිසා සමස්ත ක්‍රමයම ක්‍රියා විරහිත කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ යයි කිව හැකිය. පරණ පක්ෂවලට හා නායකයින්ට තිබෙන පිළි ගැනීම සේම පරණ ආයතන ක්‍රමවලට තිබෙන පිළි ගැනීමද අහිමි වෙමින් තිබෙන්නේ එම ඓතිහාසික ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්  වශයෙනි.

මෙම තත්ත්වයේ වෙනසක් ඇති කළ හැකි වනු ඇත්තේ ව්‍යූහමය ප්‍රතිසංස්කරණ ඔස්සේ සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමට හේතු වන මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහනකට රට යොමු කිරීමෙන් පමණය.

Advertiesment