Saturday 27th of April 2024

English Tamil
Advertiesment


වසංගත තත්ත්වය සහ නීතියේ ආධිපත්‍යය


2020-04-02 7830

රටේ සාපරාධී නීතිය ක්‍රියාත්මක නොව බව වැඩ බලන පොලිස්පති දන්නේ නැද්ද..?

 

පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවටත් නැහැ-විපක්ෂයටත් නැහැ 

 

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව හදිසි නීති-ඇඳිරි නීති බැහැ 

 

ආර්ථික පීඩනය වසංගතයටත් වඩා පීඩාකාරී වේවි 

 

 

(වික්ටර් අයිවන්)

 

දරුණු වසංගත තත්ත්වයක් ඇති කාලවලදී භේදයකින් තොරව සියලු මිනිසුන්ට ජීවත් වන්නට සිදු වන්නේ ඉතාමත් දුෂ්කර පරිසරයක මළ මිනී අතර මරණ බිය සමගය. අපේ රටේ පවත්නා උෂ්ණාධික පරිසරය වෛරසයේ වර්ධනයට ප්‍රබල බාධකයක් ලෙස ක්‍රියා නොකළ හොත් ශ්‍රී ලංකාවටද නැවත මරණ බියෙන් යුතුව ජීවත් විය යුතු අවලස්සන සමාජ වටා පිටාවකට යන්නට සිදු වනු ඇත්තේය. තවමත් අපට ලොකුවට මරණ බිය දැනෙන තත්ත්වයක් ඇතිවී නැතත් ආසාධිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වී මිය යන අයගේ සංඛ්‍යාව වර්ධනය වන තත්ත්වයක් ඇති වුවහොත් මරණ බිය අපේ ජීවිතයේ වැදගත්ම අංගයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

කොරෝනා වසංගත තත්ත්වය ඇති කර තිබෙන අර්බුදය හේතුවෙන් බිහිසුනු අර්බුද දෙකක් ඇති වී තිබෙන බව අප අමතක නොකළ යුතුය. සෞඛ්‍ය අර්බුදය එක අර්බුදයකි. ආර්ථික අර්බුදය තවත් අර්බුදයකි. පළමු අර්බුදය ජය ගත්තත් දෙවැනි අර්බුදය ඇති කරන පීඩනය පළමු අර්බුදයටත් වඩා පීඩාකාරී සහ වේදනාකාරී විය හැකිය. ව්‍යාපාර බිඳ වැටීම නිසා රටේ මිලියන ගණනකට රක්ෂා අහිමි විය හැකිය. රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් නැති කමට වඩා රක්ෂා තිබුණ අයට රක්ෂා මහා පරිමාණයෙන් අහිමි කරන තත්ත්වයක් ඇති වූ විට ඇති වන තත්ත්වය වඩා පීඩාකාරීය.

සමාජයේ පවත්නා දේශපාලන,වර්ග, ජාති සහ ආගම් භේද තුනී කොට පොදු ජාතික ඒකාග්‍රතාවක් ඇති කිරීමට වසංගත තත්ත්වය තවමත්  හේතුවී නැත. එසේම දේශපාලන බල පොරයේ වියරුව තුනී කිරීමටද හේතුවී නැත.මේ වසංගත තත්ත්වයේ දී පවා දේශපාලන බලය විනාශකාරී උරචක්‍ර මාලයක් ලෙස පවතිනවා විනා අගනා දියමන්ති මාලයක් බවට පත්ව තිබෙනවා යැයි සැලකිය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ බලය දරන්නන්ට සේම බලයට පොර කන්නන්ටද එම බලය පෙනෙන බව පෙනෙන්නේ විනාශකාරි උරචක්‍ර මාලයක් ලෙස නොව අගනා දියමන්ති මාලයක් ලෙසය.

පාර්ලිමේන්තුව කැඳවන්න ආණ්ඩුවට කැමැත්තක් තිබෙන බවක් පෙනෙන්නට නැත. පුංචි කන්කෙදිරි ගෑමක් කරනවා විනා පාර්ලිමේන්තුව කැඳවා ගැනීමේ සැබෑ වුවමනාවක් විරුද්ධ පක්ෂවලට තිබෙන බවද පෙනෙන්න්ට නැත. පාර්ලිමේන්තුව දූෂිත වුවත් ව්‍යවස්ථානුකූල පාලනයක අත්තිවාරම ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුවය. ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබුණද ඇතිවී තිබෙන වසංගත තත්ත්වය හේතුවෙන්  තුළ එම මැතිවරණය ඉක්මනින් පැවැත්විය නොහැකි එකක් බවට පත්වී තිබේ. එවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැඳවීම ව්‍යවස්ථානුකූල පාලනයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි.

රටේ තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් නොව ඉතාමත් කලාතුරකින් පහළ විය හැකි අසාමාන්‍ය තත්වයකි. සටන් කරන්නට සිදුවී තිබෙන්නේ විදේශ ආක්‍රමණිකයෙකුට හෝ අභ්‍යන්තර කැරැල්ලකට එරෙහිව නොව බිහිසුනු වසංගත තත්ත්වයකට එරෙහිවය. එම අභියෝගය ජය ගැනීම සඳහා දේශපාලන, වාර්ගික සහ ආගමික අර්ථයෙන් වන උපරිම ජාතික සමගියක් සමග බලවත් පොදු ජාතික උත්සාහයක් ද අත්‍යවශ්‍යය. එල්ලවී තිබෙන අභියෝගය ජය ගැනීමට අවශ්‍ය කරන මහා ජාතික ජවයක් හෝ ජාතික උද්‍යෝගයක් මුදාහැරීමට හැකිවනු ඇත්තේ එවිටය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව හදිසි නීති තත්ත්වයක් හෝ ඇදිරි නීති තත්ත්වයක් පවත්වා ගෙන යා නොහැකිය. රජයේ නිලධාරීන් වැරදි ලෙස විවේචනය කරන අය අත්අඩංගුවට ගෙන සිර දඩුවම් පැමිණවීම පිණිස ක්‍රියා කරන බව පොලිස් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණි.රටේ  දැන් සාපරාධී අපහාස නීතියක් නැති බව එම පොලිස් ප්‍රධානියා දන්නේ නැද්ද? නැති නීති සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් කොයි කවරෙකුට හෝ නැති බවත් ඔහු දන්නේ නැද්ද?

 

Advertiesment