නව කොරෝනා වෛරසයට (COVID - 19) ගොදුරු වී සුවය ලබා නිවසට ගිය පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ මෙතෙක් නොකිවූ කතාවක් බීබීසී සිංහල සේවයට හෙළි කිරීමට කැමැත්ත පළ කළේය. මේ ඔහු හා සංවාදයේ යෙදුනු ෂර්ලි උපුල් කුමාර තබන සටහනකි.
''මාර්තු 09 වැනිදා හවස තමයි මට කොරෝනා කියලා තහවුරු වුණේ. එදා රෑ 11ට, 12ට මාව උඩ තට්ටුවට අරගෙන ගියා. මාර මරණ බයක් දැනුණා. එල්ලුම්ගහ පෙනී පෙනී කාමර වලට අරං යනවා වගේ හිතුණා. රෝහල් කාර්ය මණ්ඩලය බයවෙන්න එපා කියලා මාව සැනසුවා,'' යනුවෙන් ජයන්ත රණසිංහ සිය අත්දැකීම් විස්තර කිරීම ආරම්භ කළේය.
කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු මාර්තු 22 වන සඳුදා පස්වරුවේ යළි නිවසට පැමිණියේය. නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධනයට ලක් වන ලෙස වෛද්‍යවරු ඔහුට උපදෙස් දුන්හ.
COVID - 19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා තමන් බව අනාවරණය වීමත් සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ඉතා සුළු පිරිසකගේ රැවුම්, ගෙරවුම් වලට ලක්වූ බව ජයන්ත රණසිංහ කියා සිටියේය.
ජයන්ත රණසිංහ සහ සුජීවා රණසිංහ
''විෂ බීජ තියෙනවා කියලා අහල පහල අය ග්‍රාමසේවක මහත්තයට ලියුමක් දීලා තිබුණා. පසුව පීඑච්අයි මහත්තයා ඇවිත් රැස්වීමක් තියලා ගමේ අයට කරුණු පැහැදිළි කරලා තියෙනවා. ගොඩක් අපේ පැත්තට කතා කරලා තියෙනවා. ඒ අතරේ ගෙවල් ගිනි තියලා අපිව එලවන්න කතා වෙච්ච කාන්තාවෝත් ඉන්නවා.''
සංචාරක මගපෙන්වන්නෙකු ලෙස සේවය කරන ජයන්ත වැඩි වශයෙන් ඉතාලියේ සිට පැමිණෙන සංචාරකයන් සමග කටයුතු කරන අයෙකි. ඔහු කලක් ඉතාලියේ ජීවත්ව තිබේ.
ඉතාලියේ සිට පැමිණි සංචාරකයන් සිවුදෙනෙකු සමග මාර්තු 03 වැනිදා ඔහු දඹුල්ලට ගොස් තිබුණි. එහිදී රෝගිවීමත් සමග ප්‍රතිකාර කිරීමට ඔහු වෛද්‍යවරයෙකු හමුවට ගොස් තිබේ. මාර්තු 05 වැනිදා නුවරට පැමිණි අවස්ථාවේදී තරමක් අසාධ්‍ය වීම නිසා නැවත ප්‍රතිකාර ගෙන ඔහු නිවසට පැමිණ තිබුණේ මාර්තු 08දාය.
''මම ගෙදර එනකොට නෝනට කිවුවා ආපු ගමන් අපි නිතර බෙහෙත් ගන්න ගමේ ඩොක්ටර් ළඟට යන්න ඕනා කියලා. රෝග ලක්ෂණ බලල ඒ මත්තේගොඩ ඩොක්ටර් කිවුවා කෙලින්ම අයිඩීඑච් යන්න කියලා," යනුවෙන් ජයන්ත කියා සිටියේය.
අයිඩීඑච් රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ඔහුට COVID -19 වැළඳී ඇති බව තහවුරුවී ඇත.
එම රෝහල තුළ රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට එකිනෙකාට වෙන්වූ කාමර ඇති අතර, ඒවාටම සම්බන්ධ වැසිකිළි පහසුකම් ද ඇති බව ජයන්ත රණසිංහ පැවසුවේය.
ඔහුට රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග ලබා දී තිබූ කාමරය වෙනස් කෙරුණි.
දිනකකට හෙදියන් දෙවරක් හෝ තුන් වරක් සිය කාමරයට පැමිණි බවත්, ප්‍රධාන වෛද්‍යවරයා උදෑසන කාලයේ දිනපතා පැමිණි බවත් ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.
"අයිඩීඑච් රෝහලේ කාර්යමණ්ඩලය මට ලබා දුන් සේවාවයි, කරුණාවයි පුද්ගලික රෝහලකවත් නැති සුපිරි සැළකිල්ලක්. දවසට දෙපාරක් මම හිටපු කාමරය විෂබීජ හරණය කරනවා. කෑම, අතුරුපස හොඳටම ලැබුණා. මට කන්න බැරි වුණ වෙලාවේ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්තයා හැමදාම උදේට එතුමා ගෙදරින් එනකොට කැඳ හදාගෙන ඇවිත් මට දුන්නා. එහෙමයි සැළකුවේ.''
ජයන්තගේ පුතා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබයි. එම දරුවා මගින් අනික් දරුවන්ට රෝගය පැතිරී යනු ඇතැයි ඇතැම් මවුපියන් බිය පළ කළ බැවින් ඇතිවූ නොසන්සුන්තාවයක් ගැන පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසානයේදී දරුවාට රෝගය වැළඳී නැති බව තහවුරු කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කිරීමට සිදු විය.
එහෙත් රෝගය වැළඳී නැති බව තහවුරු වීම නිසා දරුවා දින තුනකට පසු යළි නිවසට පැමිණියේය.
සැමියා රෝගී වීමත් සමග තමන් හා දරුවන් මුහුණ දුන් සිදුවීම් ගැන ජයන්ත රණසිංහගේ බිරිඳ සුජීවා රණසිංහ මෙලෙස අදහස් පළ කළාය.
''අපි බුදුදහමත් එක්ක ජිවත් වෙන අය. මහත්තයා හැම පෝයකටම කිරිවෙහෙරට ගිහින් සිල් ගන්නවා. මම හැමදාම බෝධි පූජා තියනවා. අපිට ඒ ආශිර්වාදය තියෙන නිසා මිනිස්සු මොනවා කිවුවත් අපිට දැනේනේ නෑ.''
මේ අතර සංවාදයට එක්වූ ජයන්ත, තවදුරටත් රෝගය පැතිරීම වළක්වා ගැනීමට හා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සමාජයෙන් ඉල්ලීමක් කළේය. ඒ රෝග ලක්ෂණ ඇත්නම් පමා නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සහ සමාජමය දුරස්ථභාවය පවත්වාගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරමිනි.
''මගේ ජීවිතය බේරගන්න රජය ලක්ෂ ගානක් වියදම් කළා. ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න පමා වුණොත් ජීවිතය අනතුරේ වගේම විශාල මුදලක් වැය වෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන කියන්න මට වචන නෑ. ලෙඩා හඳුනා ගන්නකොටම සේරම සම්බන්ධීකරණය වෙලා. සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ මගේ බිරිඳට කතා කරලා ඒ අයගේ ජංගම දුරකථන අංක පවා දුන්නා. අපේ ගෙදරටම ඇවිත් ඒ මොහොතේම හොයලා බැලුවා. විශේෂයෙන් අපේ ආරක්ෂාව ගැනත් කටයුතු කරලා තියෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
BBC සිංහල සේවය
Lanka Newsweek © 2025