1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව අනතුරුව ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිගු ගමනක යෙදුණි. එය ජනාධිපතිවරණයට තරග කිරීම දක්වාම ආවේය. එම පසුබිමෙහි සිටිමින් භික්ෂුව කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතුවා සේම ඝෘජු දේශපාලනයෙන් ඈත් විය යුතුද යන ප්‍රශ්නය අභිමුව මේ අදහස් දැක්වීම ශාස්ත්‍රපති පණ්ඩිත හෑගොඩ විපස්සි හිමියන් ගෙනි.

ධර්ම විනයට අනුව භික්ෂුවක හැසිරිය යුත්තේ සියළු දුක් කෙළවර කරගැනීම පිණිසය, යනුවෙන් සඳහන් වෙනවා. සියළු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීම පිණිස ව්‍යායාමයේ යෙදීම තමයි ඉන් අදහස් වන්නේ. ඒ වගේම භික්ෂුවක සමාජයේ ක්‍රියාකාරී විය යුත්තේ කිනම් විලාසයෙන්ද යන්න විනය ග්‍රන්ථවල සඳහන් වෙනවා. එයට අනුගතවයි භික්ෂුවක සැමවිටම ක්‍රියාකාරී විය යුත්තේ. ඒවා සැමවිටකම ගිහියන්ගේ ක්‍රියාකාරකම් වලින් සපුරා වෙනස්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකු බාලයෙක්ට වඳින්නෙ නෑනේ. ගිහි වැඩිහිටියන් වයසින් බාල භික්ෂූන්ට වඳින්නේ මේ හේතුව නිසයි. මේ අනුව භික්ෂුවට දේශපාලනය අකැප විෂය ධාරාවක් බව කිව යුතුයි.
ප්‍රාදේශිය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණවලට ඉදිරිපත්වීම භික්ෂූන්ට කිසිසේත්ම සුදුසු නැහැ. බුදුසමයේ එවැන්නකට අනුබල දීමක් කිසිදු ආකාරයකින් සිදුවන්නෙත් නැහැ. සිද්ධාර්ථ කුමාරයා රජකම අතහැර පැවිදිව බුද්ධත්වයට පත්වූ බව අප දන්නව. ඉන් පෙනෙන කාරණය වන්නේ පැවිදි දිවියට එළඹෙත්ම දේශපාලනය අතහැරි බවයි. එවන් මඟ පෙන්වීමක් තිබෙන ධර්මයක නියැලෙන අයෙකුට කිසිසේත් දේශපාලනය සුදුසු වන්නේම නැහැ. රාජ්‍ය පාලන පරිසරයේදී, දඬුවම් දීම, ඇතැම්විට මරණීය දඬුවම් නියම කිරීම, මස් මාංශ වෙළදාම, ධීවර කටයුතු, මත්පැන් අලෙවිය සිදුවෙනවා. ඒවා රාජ්‍යන්හි සිදුවෙන සාමාන්‍ය දේවල්. ඒ වාගෙම කිසියම් රටක පාලනයකදි ඒවාට එරෙහිව කැරලි මතුවෙන අවස්ථා තිබෙනවා. එවිට ඒවා මර්දනය කළ යුතුයි. රාජ්‍ය පාලනයේ ස්වභාවය එයයි. එවන් අවස්ථාවලදී භික්ෂුවකට ඒවාට මැදිහත් වෙන්න පුළුවන්ද ? ඉතින් බැරිවෙලාවත් භික්ෂුවක් ජනාධිපති වුණොත් එහෙම සම්පූර්ණයෙන් භික්ෂුත්වය කණපිට ගහනවනෙ. එනිසා දේශපාලනය යනු ගිහියන්ගේ රාජකාරියක් මිසක භික්ෂුන්වහන්සේලාගේ කාරියක් නොවන බව අප හොඳින්ම වටහා ගන්න ඕනේ. භික්ෂුවට පැවරෙන්නෙ රජවීම නොව රජුන්ට අවවාද අනුශාසනා කිරීමයි. ඒ නිසා මා කියන්නේ භික්ෂූන්වහන්සේලාගේ පාර්ලිමේන්තු ආගමනය ලත් තැනම ලොප් කරලා දැමිය යුතුය යන්නයි.
බද්දේගම සමිත හාමුදුරුවන් මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වෙද්දී භික්ෂුන් වහන්සේලා විරුද්ධ වෙලා කටයුතු කළා නම්, 2004 දී පාර්ලිමේන්තුවට භික්ෂුන්වහන්සේලා නව දෙනෙකු තේරී පත්වෙන්නෙ නැහැ. ඒ වගේම උන්වහන්සේලා මැතිවරණයට ඉදිරිපත්වීම වැළකෙනවා. එසේ හාමුදුරුවරු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් සිදුවුණෙත් හොඳට වැඩිය නරක දේවලුයි.
මා දන්නා හැටියටනම් සෝමහිමියන් නියෝජනය කළ වජිරාරාම කතිකාවතට අනුව සෝමහිමියන්ගේ අදහස ඉතාම වැරදියි. වජිරාරාම කතිකාවත භික්ෂුවට දේශපාලනයට පිවිසීමට කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. කෙසේ වුවත් සෝම හාමුදුරුවො හදිසියේ අපවත් වෙනව. ඒ අවස්ථාවෙ දැවැන්ත රැල්ලක් ගොඩනැගෙනවා. මේ අවස්ථාවෙදි ලොකු ක්‍රියාකාරකමක් කරගෙන ආව ජාතික භික්ෂු සංවිධානය. ඒක එක පාරටම දේශපාලනයට අවතීර්ණ වුණා.
භික්ෂූන් වහන්සේලා නව නමක් පාර්ලිමේන්තුවට පත්වුණා. ඒ අවස්ථාවේදි ශාසනයට අපහාස උපහාස එල්ලවුණා. එයින් සිදුවුයේ අති දැවැන්ත හානියක්. මම මේ වෙලාවෙදි ධර්ම පර්යේෂණ ආයතනය විදියට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වුණේ මෙලෙසයි.
භික්ෂුවකට දේශපාලනය කිරීම හෙවත් රට පාලනය කිරීම සුදුසු යැයි ත්‍රිපිටකයේ කොහේවත් සඳහන් නොවේ. එසේ කියන්නේනම් එය ධර්මය විනය විරෝධියි. බුදු බණ වරදවා ගැනීමකි. ඒ ධර්ම විරෝධී නොවී, සමාජ විරෝධී නොවි, ආගමේත්, ජාතියෙත්, සංස්කෘතියෙත් දියුණුව හා සංරක්ෂණය සඳහා මහා සංඝරත්නයේ මඟ පෙන්වීමක් අනුශාසකත්වයක් අනුරාධපුර යුගයේ සිට මෑත භාගය දක්වා සිදුවූ බව පැහැදිලිය. ඒ කිසිදු අවස්ථාවක රජවීමට නොව රජුට උපදෙස් දීම උන්වහන්සේලාගේ කාර්ය භාරය වූ බව පටලවාගත නොවේ. දස පාරමිතාවලට අතිරේකව එකොළොස්වන පාරමිතාවක් ජාතික සංඝ සම්මේලනය බලාපොරොත්තුව භික්ෂු පක්ෂයක් පිහිටුවීමයි. මේ සඳහා උන්වහන්සේලා ජාතික හෙළ උරුමය පාරුවක් වශයෙන් ගන්නා බව ප්‍රකාශ කරති. මෙය පාරුවක් නොව සාසන පරිහානියේ පරාවලල්ලක් වනු නොඅනුමානයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාළේ “ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිනෙ. විෂයේ න ලච්ඡති. ථාරෝ ඕකරං න ලච්ඡති ථාරෝ ආරම්මනා”
“මහණෙනි පියාගෙන් උරුමවූ සුදුසු ප්‍රදේශයේ හැසිරෙන්නාගේ සිදුරක් මාරයා නොදකී. අරමුණක් මාරයා නොලබයි. එසේ නූනහොත් උරුම වූ ගොදුරුබිම ඉක්මවු පුංචි කැටකිරිල්ලට වු විනාශය අපටත් අත්වෙන්නේය.
ඒ නිසා තමයි මං කියන්නේ භික්ෂුව තමන්ට උරුම වු හිමි වු ගොදුරුබිම ඉක්මවා යෑම ව්‍යසනයකට මුල වන බව.
භික්ෂූන් වහන්සේලා දේශපාලන වේදිකාවේ දැඩිලෙස ක්‍රියාකාරි වී නරක පුර්වාදර්ශයක් වුයේ අද ඊයේ සිට නොවෙයි. වගකිව යුතු හාමුදුරුවරු මෙයට එරෙහිව කතිකාවතක් ගොඩ නොනැගූ නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. මේ වනවිට පන්සල්වල පවා දේශපාලන පක්ෂ කාර්යාල පිහිටුවලා තිබෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුණා. මේක බිහිසුණු පිළිකාවක් වගේ පැතිර යමින් තිබෙන්නෙ. 2020 වසර ආරම්භයේදීම ව්‍යවසනය නතර කරන ක්‍රියාමාර්ග ගතහැකියි, ගත යුතුයි. හොඳම අවස්ථාවත් එයයි. ඒකට ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා පෙරමුණ ගන්න ඕනේ.
තායිලන්තය, බුරුමය වගේ රටවල භික්ෂුන් වහන්සේලාට වඩා ශ්‍රී ලංකාවේ භික්ෂූන්ගේ වෙනසක් තිබෙනවා. ශ්‍රී ලාංකික භික්ෂුවට මන්ත්‍රීධුර දිය යුතුය යන්න ඉන් අදහස් වන්නේ නැහැ. එහෙත් භික්ෂුවක තමන්ගේ අනන්‍යතාව හා කාර්යභාරය කුමක්ද යන්න ඓතිහාසිකව අධ්‍යයනය කරමින් කටයුතු කළ යුතුයි.
අපේ ඇතැම් භික්ෂූන් වහන්සේලා හැසිරෙන්නෙ ඕලාරික විදියටයි. අපිත් ඒකට විරුද්ධයි. ගුරු ආදර්ශ ලබමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා රාජ්‍යයේ යම් යම් දේවලට බලපෑම් හෝ ඕලාරික ලෙස හැසිරීම් කරන්නෙ නැහැ. ඇතැම් භික්ෂූන් නොකළ යුතු ඉල්ලීම් පවා කරනවා. ඒ වගේම සියළු දේශපාලන පක්ෂ කිසිදු භික්ෂුවකට මැතිවරණ නාමයෝජනා ලබා නොදිය යුතුයි. ජාතික ලැයිස්තුවෙන් පවා මේ අවස්ථාව නොදිය යුතුයි.
දැන් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජනාධිපතිවරණයට ඉල්ලුවා. ඇත්තටම උන්වහන්සේට දිනන්න පුළුවන්ද? මේවා කරන්න එපා. ඉවත්වෙන්න කියා ඉල්ලීමක් කරන්න නායක හිමිවරුන්ට අයිතියක් තිබෙනවා.
භික්ෂුව දේශපාලන ව්‍යාපාරවලට වලට ඇදීයාම නිසා පන්සලක ආගමික කටයුත්තක්වත් ඉදිරියෙදි කරන්න බැරිවෙයි. මේ ජනාධිපතිරණය වෙලාවේදි මැතිවරණ ප්‍රචාරක කාර්යයන් නතර කළ වෙලාවේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කීවේ, පන්සල් වල බෝධි පූජා, ධර්මදේශනා සිදු කරත්දී දේශපාලනයට සම්බන්ධ නොවී ඒවා කරගන්න කියලා. මේකෙන්ම පේන්නෙ භික්ෂුව දේශපාලනයට ප්‍රවේශවීම නිසා සිදුවෙන විනාශය. ඉදිරියෙදී මේ අයට පන්සලක බණක්වත් කියන්න බැරිවේවි.
ඇතැම් භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් තුළ ජනතාවට ඒ වගේ හැඟිමක් ඇතිවෙන්න පුළුවන්. භික්ෂූන් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අනුශාසනා කිරීමේදි සතර අගතියෙන් තොරව එය කළ යුතුයි. දැනට නම් රාජ්‍ය පාලකයෝ භික්ෂූන් වහන්සේලාගේ ඕනෑකමට ක්‍රියාකරකම් කරනවා යැයි මා හිතන්නෙ නැ.
නාග ලෝකයෙන් ධාතු වැඩමෙව්වාය කියා කැළණියෙ ලොකු ආන්දෝලනයක් ඇති කළා තමයි. මේක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. ගඟේ කොහෙද නයි. උන් ඉන්නේ හුඹස්වලනෙ. මෙතන වුණේ බෞද්ධයාගෙ ශ්‍රද්ධාව නාගයාට යොමු කිරීමක්. ඒ තුළ යටි අරමුණු තිබුණාද කියා මා දන්නෙ නැ.
Lanka Newsweek © 2026