(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)
‘‘1994 ඉඳන් මේ වෙනකල් මේ රටේ ජනාධිපතිවරු හැදුවේ කවුද ? අවුරුදු 17ක් අපි විපක්ෂයේ ඉඳලා 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් පටන් අරගෙන එතුමියව දෙවතාවක් ජනාධිපති කෙරෙව්වා, මහින්ද රාජපක්ෂ මහත්තයාව දෙවතාවක් ජනාධිපති කෙරෙව්වා, ඊළඟට මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කළා. 05 වතාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරු හැදුවා.1994 ඉඳන් මේ වෙනකල් අපිට අවුරුදු කීපයයි ආණ්ඩුවකුත් නැති වෙන්නේ. අනෙක් සෑම අවස්ථාවකම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබිලා තියෙන්නේ’
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් භාණ්ඩාගාරික, හිටපු කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැතිවරයෙක් වන දුමින්ද දිසානායක මහතා මේ ප‍්‍රකාශය කළේ පසුගිය ඔක්තෝබර් 22 වැනිදා අනුරාධපුරයේ මහබෙල්ලන්කඩවලදී.
හිටපු ඇමැති දුමින්ද දිසානායක කියන විදිහට 1994 සිට මේ දක්වා මේ රටේ විධායක ජනාධිපති ධූරය තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන සන්ධානයක් අතේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය (1995-2005) මහින්ද රාජපක්ෂ මහතා (2005-2015) සහ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (2015 සිට 2019) දක්වා මේ රටේ විධායක ජනාධිපතිකම් කරලා තියෙනවා. කොටින්ම 1994 සිට මේ දක්වා ලංකාවේ තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන ආණ්ඩුවක් බවයි හිටපු ඇමැති දුමින්ද දිසානායක මේ නොකියා කියන්නේ.
හිටපු ඇමැතිවරයා කියන මේ කතාව ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ට නම් තවත් උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. ඒ ‘සදාකාලිකවම’ වුණත් ඔවුන්ගේ පක්ෂය බලයේ සිටිනු දැකීමට ඔවුන් කැමැති වීම නිසයි. ඒත් ප‍්‍රශ්නය වන්නේ මේ වන විට ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවී සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දුමින්ද කියන මේ පුරාණය නොදැන සිටීම හෝ දැන දැනම ඒ පුරාණය වසන් කිරීමයි.
කොටින්ම අද ජනාධිපතිවරණ වේදිකාවේදී ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු නායකයින් කියන ආකාරයෙන් නම් අපිට පේන්නේ දුමින්ද කියන ආකාරයේ ‘මහා පුරාණයක්’ ශ‍්‍රීලනිපයට නැති බවයි. කොටින්ම ‘මහින්ද - බැසිල් - ගෝඨා’ (2005-2015) සිටි යුගයේ හැරෙන්නට දුමින්ද කියන ශ‍්‍රීලනිප ආණ්ඩු හෝ ඇමැතිවරු කළ දෙයක් නැති බවයි.
මේ තත්ත්වය සරලව කිවහොත් ‘ශ‍්‍රීලනිපය සියඹලා ගෙනත්ම නැහැ’
යහපාලන ආණ්ඩුව රටේ පොදු ප‍්‍රවාහනය,කෘෂිකර්මය,ක‍්‍රීඩාව ආදි ක්ෂේත‍්‍ර විනාශ කළ බව රාජපක්ෂ කඳවුර චෝදනා කළේය.යහපාලන සමයේ පොදු ප‍්‍රවාහනය,කෘෂිකර්මය,ක‍්‍රීඩාව ආදි ක්ෂේත‍්‍ර කිහිපයක් ම පාලනය කළ ඇමතිවරු රාජපක්ෂ කඳවුරට එක් වූ විට සාදරයෙන් පිළිගත්හ. මේ සටහන තබන්නේ ලෝ ප‍්‍රකට මාධ්‍ය ජාලයක් වන බී.බී.සී ලෝක සේවයට අයත් සිංහල භාෂාවෙන් ක‍්‍රියාත්මක වන බී.බී.සී සන්දේශය (ඔක්තෝබර් 31) වෙබ් අඩවිය යි.
මෙම ලිපියෙදී අපගේ මුඛ අවධානය යොමු වන්නේ මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ද වැඩි වැඩියෙන් අවධාරණය කරන ‘මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තයට කළ දෙයක් නැහැ’ කියන ප‍්‍රකාශය කොතරම් දුරට නිවැරදිද යන්න ගැන විශ්ලේෂණය කිරීමටයි. ඒ සමග හිටපු ජනපතිවරයා සහ ජනපති අපේක්ෂකයා කියන දේ ඇත්ත නම් එහි වගකීම මෙන්ම ‘වගවීම’ ද දැරිය යුත්තේ කවුද ? කියා පැහැදිලි කර ගැනීමටයි.
මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරමින් සහ එය අති සාර්ථක ආකාරයෙන් අවසන් කරමින් එක්සත් ජාතික පක්ෂය සිය 17 වසරක පාලන යුගය (1977-1994) මෙරට කෘෂිකර්මාන්තයට දැවැන්ත මෙහෙයක් ඉටු කළේ ගොවිජනපද, බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය පිහිටුවීම මගින් ඞී.එස්. සේනානායක, ඩඞ්ලිසේනානායක තබා තිබූ ඒ ගෞරවණීය වාර්තාව තව දුරටත් ඉදිරියට ගෙන යමිනි.
1994 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තු බලය සහ විධායක ජනාධිපති ධූරයේ බලය අත්පත් කර ගැනීම සමග අභිනව රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා බවට පත් වන්නේ ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් හා පසුව අග‍්‍රාමාත්‍යවරයෙක් බවට පත් වූ දි.මූ ජයරත්න මහතා යි.
ඒ අතර 2001 දී ශ‍්‍රීලනිප නායකත්වයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ සහායෙන් පිහිටුවන ‘පරිවාස ආණ්ඩු’ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. සුප‍්‍රසිද්ධ ‘වැව් 10,000ක් ප‍්‍රතිසංස්කරණය කිරීම’ සිදු වුණේ අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ය.
2001 දෙසැම්බර් 05 දින පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2001 දෙසැම්බර් 12 වැනිදා තම කැබිනට් මණ්ඩලය නම් කළ අතර එහි කෘෂිකර්ම ද ඇතුළත්ව කෘෂිකර්ම, පශු සම්පත් හා සමාජ සුබසාධන ඇමැතිකම හිමිවන්නේ පොදුජන පෙරමුණේ සිට පැමිණි, ශ‍්‍රීලනිප මහ ලේකම් එස්.බී. දිසානායක මහතාට.
වසර දෙකකට ආසන්න කාලයක් පැවැති එජාප පෙරමුණු ආණ්ඩුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීමෙන් පසු 2004 අපේ‍්‍රල් 10 වැනිදා සිට 2005 ජූලි 27 වැනිදා දක්වා ඩග්ලස් දේවාන්නදා මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කරනවා. 2005 ජූලි 27 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් වූ රත්නසිරි වික‍්‍රමනායක මහතා කෘෂිකර්ම විෂයභාර ඇමැතිවරයා ලෙස පත්වන අතර එය යළිත් 2005 නොවැම්බර් 23 වැනිදා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ විට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කරනවා. පසුගිය කාලය මහත් ආන්දෝලනයක් ඇති කළ මොරගහකන්ද - කලූගඟ මහා ජලාශ ව්‍යාපෘතිය 2007දී ආරම්භ වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ වුවත් එය ඉතාම කෙටි කාලයකින් නවතා දැමීමට පමණක් නොව අදාළ විෂය තමාගෙන් ඉවත් කිරීමට පවා ජනාධිපතිවරයා කටයුතු කළ බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ 2014 නොවැම්බර් මස සිට දීර්ඝ කාලයක් පුරා චෝදනා කළේය.
2010 ජනාධිපතිවරණයෙන් යළි ජයග‍්‍රහණය කිරීම සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමුඛ අමාත්‍ය ධූරයක් වන ‘කෘෂිකර්ම’ අමාත්‍ය ධූරය ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් වන ‘මහින්ද යාපා අබේවර්ධන’ මහතාට ප‍්‍රදානය කළා.
මේ අනුව 1994 සිට කෘෂිකර්මාන්තයට අදාළ කැබ්නට් අමාත්‍ය පදවිවල ගමන් මග දෙස බලන විට 2015 දක්වා පුරා දශක දෙකක් කෘෂිකර්මාන්ත සහ ඊට අදාළ වාරිමාර්ග විෂයන් අයත්ව තිබෙන්නේ ද දුමින්ද දිසානායක මහතා කියන ආකාරයට ‘ශ‍්‍රී ලංකාකාරයින්ට’ බව පෙනී යනවා.
ඒ සමග හිටපු කෘෂිකර්ම ඇමැතිවරයෙක් ද වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර ජනාධිපති ධූරයට පත් වීම ද සුවිශේෂ තත්ත්වයක්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියන ආකාරයට ‘මහින්ද රාජපක්ෂ යුගයේ කුඩම්මාගේ සැලකිල්ල පවා නොලැබුණු කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනය (යළි පැරකුම් යුගයක් බිහි කිරීම) ඇති කිරීමයි ජනපතිවරයාගේ එක් ප‍්‍රාර්ථනාව වුනේ. ඒ අනුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ‘රජරට කෘෂිකාර්මික පුනර්ජීවනය’ වෙනුවෙන් තමා 2007 දී ආරම්භ කළත් මහින්ද රාජපක්ෂගේ කතුරට හසු වූ මොරගහකන්ද - කළුගඟ ජලාශය’ යළි ඉදිකිරීම ආරම්භ කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළා. ඒ අනුව බොහොම කෙටි කාලයකින් මොරගහකන්ද - කළුගඟ මහා ජලාශය ජනතා අයිතියට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා.
අපේ කතානායක, දුමින්ද දිසානායක මහතා වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම සහ වාර්මාර්ග අමාත්‍යවරයා ලෙස 2015 ජනවාරි 12 වැනි දා දිවුරුම් දුන්නා. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ කෘෂිකාර්මික සංවර්ධන හා වාරිමාර්ග ව්‍යාපෘති වන මොරගහකන්ද - කළුගඟ, යාන්ඔය ජලාශය, මල්වතු ඔය ජලාශය මෙන්ම ‘වැව් 1000ක්' ප‍්‍රතිසංස්කරණය කිරීම, ගෙවතු වගා 25 ලක්ෂයේ වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, 'සිතමු’ කාන්තා ගොවි සංවර්ධන වැඩසටහන වගේම මහින්ද රාජපක්ෂ පාර්ශවයේ දැඩි විවේනයට ලක් වූ ‘මුදල් - පොහොර’ වැඩසටහත් ආරම්භ වන්නේ හිටපු ඇමැති දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ යුගයේ බව අප අමතක නොකළ යුතුයි. මේ අතර 2018 දී ජනපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය ධූරය වෙනස් කළත් එය යළි හිමිවන්නේ ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයෙක් වූ මහින්ද අමරවීර මහතාටයි.
1994 සිට කෘෂිකර්මාන්ත කැබිනට් විෂය සම්බන්ධයෙන් ගත් විට අවුරුදු 24ක් පුරා අඛණ්ඩව ශ‍්‍රීලනිප ජනපතිවරුන් යටතේ එකී විෂයට හිමිකම් කියා ඇත්තේ ද ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයින් (කෙටි කාලයක් අමාත්‍ය ධූර දැරූ අනුර කුමාර දිසානායක සහ ඩග්ලස් දේවාන්නද හැර) බව දැකිය හැකියි. පසුගිය 2018 ඔක්තෝබර් මස 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණය පරාජය කිරීමෙන් පසු යළි නම් කළ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග වැනි විෂයන් රැසක් පී. හැරිසන් මහතාට හිමවීම දක්වා වසර 24කට ආසන්න කාලයක් ‘අඛණ්ඩව’ මෙරට කෘෂිකර්ම අමාත්‍යධූරය දරා තිබෙන්නේ ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයින් ම විසිනුයි.
දැන් මෙරට පොදු ජනතාවට ඇතිවන ප‍්‍රශ්නය වන්නේ මෙරට කෘෂිකර්මාන්තය පුරා වසර 25ක්ම ශ‍්‍රීලනිපය අතේම තිබුණා නම් (වත්මන් ආණ්ඩුව යටතේ ද) අද මහින්ද - ගෝඨා කියන ආකාරයට ‘කෘෂිකර්මාන්තයේ දැවැන්ත බිඳ වැටීමක්’ සිදු වුණේ කාගේ වරද නිසාද යන්නයි.
මන්ද වත්මන් ආණ්ඩුව යටතේ ද සම්පූර්ණ කාලය පුරාම (වත්මන් ඇමැතිවරයා යටතේ ද)කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සියලූ තීන්දු තීරණ ගත්තේ ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වන බව අගමැතිවරයා ද පසුගිය දා ප‍්‍රකාශ කළා. ඒ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට අලූත් ගොඩනැගිල්ලක් බදු ගැනීම සම්බන්යෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙමින්. එහිදී අගමැතිවරයා ඉතාම පැහැදිලිව කියා සිටියේ ‘කෘෂිකර්මය අපෙන් බාහිරව පැවැති විෂයක්’ බවයි.
මේ කතාව සත්‍ය බව අපට පසුගිය 2015 සිට මේ දක්වා කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන විවිධාකාර ව්‍යාපෘති සිදුවන ආකාරය අනුව පැහැදිලිව පෙනී යනවා. වසවිස නැති කෘෂිකර්මය, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ආදි සියලූ ‘වැදගත්’ ව්‍යාපෘති ඍජුව ක‍්‍රියාත්මක වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ස්ථාපිත කර ඇති අංශයක් හරහා බවයි, මේ සම්බන්ධ විමර්ශනයේදී පෙනී යන්නේ. ඒ වගේම අද මහින්ද - ගෝඨා හවුලේ ප‍්‍රබල ප‍්‍රකාශකයෙක් වී සිටින අතුරලියේ රතන හිමියන් ද පසුගිය කාලය පුරා මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්, විශේෂයෙන් වසවිස ගැන සහ ගොවිතැන සම්බන්ධයෙන් ප‍්‍රමුඛතම භූමිකාවක් නිරූපණය කළ බව අප විසින් අමතක නොකළ යුතුයි.
මේ තත්ත්වය තුළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආදි අති දැවැන්ත කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් මෙරට කෘෂිකර්මාන්තයේ සීග‍්‍ර සංවර්ධනයක් සිදු වූ 1977-1994 එක්සත් ජාතික පක්ෂ යුගයෙන් පසු වත්මන් 'මොරගහකන්ද - කලූගඟ ’ මහා ජලාශය දක්වා එක්සත් ජාතික පක්ෂය විසින් බිහිකළ කෘෂිකාර්මික පුනර්ජීවනය හා සංවර්ධනයට අලඟු තැබිය හැකි දෙයක් 1994 - 2015 දශක පාලනය තුළ සිදු වූවාද යන්න මහින්ද - ගෝඨා හවුලෙන් ප‍්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් මෙරට ජනතාවට තිබෙනවා.
ඒ ‘කෝකටත් තෛලයක්’ වි ඇති එල්ටීටීඊ සංවිධානය සමග පැවැති බෙදුම්වාදී ගැටුම් අවසන් කිරීම, සහ හම්බන්තොට ඉලක්ක කරගත් ‘දැවැන්ත සංවර්ධනය’ හැරෙන්නට ඉතාම පැහැදිලිව මෙරට කෘෂිකාර්මික ප‍්‍රදේශ වන නැගෙනහිර, උතුර සහ උතුරු මැදට මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ සංවර්ධනයක් නැති බව 'මොරගහකන්ද - කළුගඟ' ව්‍යාපාරය හරහා ම සක්සුදක් සේ පැහැදිලි වන නිසයි.
මේ සමග තවත් වැදගත් කරුණක් වෙත අපි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ රුපියල් 350ට පොහොර ලබාදීම හැර මහින්ද රාජපක්ෂ දශක පාලනය තුළ මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් සිදුකළ අන් යමක් නොමැති බවයි.
"මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයට ලබා දුන් ප‍්‍රමුඛ වගේම ආකර්ෂණීය පොරොන්දුවක් වුණේ මෙරට ගොවිජනතාවට රුපියල් 350ට පොහොර ලබා දෙන බවයි. එම පොරොන්දුව නිසා රාජපක්ෂ මහතාට 2005 ජනාධිපතිවරණයේදී කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් විශල ප‍්‍රසාදයක් හිමි වුණා. ඡන්ද ලැබුණා. ඒ තත්ත්වය අද දක්වාම මොනයම් හේතුවක් නිසා හෝ ආරක්ෂා කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වෙලා තිබෙනවා. මේ කාරණය ගැන පමණක් සැලකුවහොත් 2005 - 2015 යුගය තුළ මෙරට කෘෂිකර්මාන්තයට අල්පමාත‍්‍ර හෝ සේවයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් සිදු වුණේ නැහැ. ඔහු ප‍්‍රමුඛතාව දුන්නේ හම්බන්තොට කේන්ද්‍රකර ගත් දැවැන්ත සංවර්ධනයට මිස උතුරු - නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල කෘෂිකර්මාන්තයට නොවෙයි. අපි හොඳාකාරවම දන්නවා 2007 දී ආරම්භ කළ මොරගහකන්ද ජලාශය පවා ඔහුගේ පාලනය තුළ කුණුකූඩයට ගියා. ඉතිං අපිට තිබෙන ප‍්‍රශ්නය වන්නේ රජරට වකුගඩු රෝගයට ප‍්‍රමුඛ හේතුවක් වන රසායනික පොහොර භාවිතය ඔසවා තැබීම පමණක් කළ පාලකයෙක් අද කොහොමද කෘෂිකර්මාන්තය ගැන කිඹුල් කඳුළු හෙළන්නේ කියන එකයි. අනෙක් අතට වත්මන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උත්කර්ෂයට නංවන කොළඹ ලස්සන කිරීම ගැන මිස කෘෂිකාර්මික සංවර්ධනය ගැන ‘මළපොතේ අකුරක්’ දන්නේ නැහැ. ඉතිං අපිට තිබෙන ප‍්‍රශ්නය තමයි ගොවිජනපද, බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති (ගල්ඔය වැනි) මහවැලිය හදා දුන් එජාපයට වඩා මේ පාර්ශවය මේ රටේ ගොවියට කළ දේ කුමක්ද ? යන්නයි. ශ‍්‍රීලනිපය බලය දිනාගත් කිසිදු යුගයක එජාපය තරම් කෘෂිකර්මාන්තයට සුවිශේෂ තැනක් ලබා දුන්නේ නැහැ. ‘බත්දුන් පියා’ එජාපයේ ඩඞ්ලි සේනානායක බව අපි අමතක නොකළ යුතුයි. රටටම කන්න බත් දෙන මහවැලිය එජාපයේ නිර්මාණයක්. වත්මන් මොරගහකන්ද වුණත් සැලකිය හැකි වන්නේ එජාප ආණඩුවක් යටතේ සිදු වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයක් ලෙසයි. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ රුපියල් 350ට පොහොර දෙමින් රජරට ගොවියා වකුගඩු රෝගියෙකු කළ මහින්ද රාජපක්ෂ මේ රටේ කෘෂිකර්මාන්තය ගැන කිඹුල් කඳුළු හෙළීම ඇත්තටම හාස්‍යජනක කරුණක්’
මේ දීර්ඝ අදහස් දැක්වීම කළේ මෙරට කෘෂිකර්මාන්ත ගැන දිර්ඝ කාලයක් පුරා පර්යේෂණ රැුසක් සිදුකළ විද්වතෙක්. ඔහු ඍජුව චෝදනා කරන්නේ 2005දී රුපියල් 350ට පොහොර ලබාදීම මගින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මෙරට ගොවියා මිනී වළ කරා තල්ලූ කළ බවයි.
‘ඇත්තටම 2005දී නෙමෙයි කවදාවත් මේ රටේ ගොවීන්ට, විශේෂයෙන් වී ගොවීන්ට පොහොර සම්බන්ධයෙන් ගැටලූවක් තිබුණේම නැහැ. පොහොර කියන්නේ වී ඇතුළු කෘෂිකර්මාන්තයේ එක් සාධයක් පමණයි. ඔවුන්ට තිබුණ දැවැන්තම ප‍්‍රශ්නය වුණේ ජලය, ඉඩම් සහ මිල සම්බන්ධ ගැටලූයි. ඒත් ඒ කිසිම දේකට තිරසර විසඳුමක් නොදුන් මහින්ද රාජපක්ෂ පාලනය පොහොර මතම එල්ලූණා. ග‍්‍රාමීය කෘෂිකාර්මික ජනතාවට ඇස් බැන්දුම් කරලා ඔවුන්ගේ ඡන්දය කඩා ගත්තා. ඒත් දැන් අකමැත්තෙන් හෝ පොහොර සහනාධාරය හෝ නොමිලේම පොහොර ලබාදීම මත රැදෙන්න සියලූ පාලකයින්ට සිදුවෙලා තිබෙනවා. ඒ තත්ත්වය යටතේ පවා අපි කියන්නේ මහින්ද - ගෝඨාභය මේ රටේ ගොවියා ගැන හෙළන්නේ කිඹුල් කඳුළු කියලයි. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය සහ කොළඹ ලස්සන කිරීම ගැන රටට පම්පෝරි ගසන හිටපු පාලකයින් කෘෂිකාර්මික ප‍්‍රදේශවලට ඇවිත් ‘මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තයට කළ දෙයක් නෑ’ යැයි කීම ඇත්තටම හාස්‍යජනක දෙයක්. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුව වුණත් පොහොර සහනාධාරය අහෝසි කළේ නැහැ. කළේ දූෂණ හෝ අක‍්‍රමිකතා සිදු වූ පොහොර ලබාදීම වෙනුවට මුදල් ලබාදීම පමණයි. ඒ නිසා ඒ චෝදනාවෙන් පවා වත්මන් ආණ්ඩුව නිදහස්. අනික් අතින් මොරගහකන්ද, වයඹ ඇළ, මල්වතු ඔය, යාන්ඔය වගේ දැවැන්ත වාරි සංවර්ධන ව්‍යාපෘති වගේම ‘ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන’ ‘කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය’ ‘ග‍්‍රාමීය වැව් 1000ක් ප‍්‍රතිසංස්කරණය කිරීම’ වාගේ දැවැන්ත ව්‍යාපෘති දියත් කළ රජයක්, හාස්‍යජනක ලෙස ඒවාට නායකත්වය දුන් ඇමැතිවරුන්ම (දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර) වේදිකාවේ තියාගෙන ‘පතුරු ගැසීම’ සිදු නොවිය යුතු දෙයක්’ ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
‘බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා ‘ඇට බෙදන එක’ හැර 2005-15 කාලේ මේ රටේ කෘෂිකර්මාන්තයට කළ වෙන දෙයක් නම් නැහැ’ ඔහු අවසාන වශයෙන් කිව්වා.
මහත්වරුණි, එස්.බී. දිසානායක, බැසිල් රාජපක්ෂ, දුමින්ද දිසනායක සහ මහින්ද අමරවීර වේදිකාව උඩ තියාගෙන ‘කෘෂිකර්මාන්තය ගැන හෙළන කිඹුල් කඳුළු ගැන, කරන කතා ගැන දෙවරක් සිතා බලන්න.
Lanka Newsweek © 2024