ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය, ශ්‍රීලනිප පොහොට්ටු එකතුව, ජාතික ජනබලවේගයේ සංයුතිය, ඡන්ද කැඩීම, ජාතික ආරක්ෂාව, සුඵ ජන ඡන්ද පදනම්, ණය බර, දෙවැනි මනාපය හා ජනාධිපතිවරණයේ මූලික පොරොන්දු ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.
ප්‍රශ්නය:- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාශ 17 ම පහසුවෙන් දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවුණා. ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රතිඵලය දකින්නේ කොහොමද?
පිළිතුර:- 2012 ප්‍රාදේශීය සභා ඡන්දෙදි ජනතා විමුක්ති පෙරමුණට 1100ක් ඡන්ද ලැබුණා. අපට එක මන්ත්‍රී ධූරයක්වත් තිබුණේ නෑ. මෙවර අපේ ඡන්ද සංඛ්‍යාව 2435ක්. මන්ත්‍රීධුර දෙකක් ලැබිලා තිබෙනවා. අපේ ඡන්ද වැඩිවීම 121% ක්. මේ ගමේ පුංචි ඡන්දෙදි පක්ෂයක් හැටියට අපි ලොකු වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. අපි ඒ ගැන සතුටුයි.
ප්‍රශ්නය:- ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කියන්නේ ඇල්පිටියෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිඵලය පැහැදිලියි කියලයි. මේ කතාවට ජවිපෙ එකඟ ද?
පිළිතුර:- ඒ කතාව සම්පූර්ණයෙන් වැරදියි. බෙන්තරයි ඇල්පිටියයි දෙකම එකතු කරලා ඒ කට්ටිය ගත්ත ඡන්ද සංඛ්‍යාවට 2015 මහමැතිවරණය හා සැසඳුවොත් මෙදා සැරේ අරන් තියෙන ඡන්ද සංඛ්‍යාව අඩුයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 මහමැතිවරණයේදි බෙන්තර ඇල්පිටිය ආසනයෙන් ගත්ත ඡන්ද සංඛ්‍යාවට වඩා මේ සැරේ පක්ෂ දෙකේම ඡන්ද එකතු කරලා බැලුවාම අඩුයි. ජවිපෙ ඡන්ද වැඩිකරගෙන තිබෙනවා. අනෙක් අතට ගමේ ඡන්දයක් ජාතික මැතිවරණයක ලිට්මස් පරීක්ෂාවක් වෙන්නේ නෑ. මොකද ජාතික දේශපාලනයේදි ලංකාවේ විවිධ පළාත් විවිධ ජනකොටස් පදනමින් ඡන්ද පාවිච්චි වෙන්නේ. ඒ වගේම ජාතික දේශපාලනයේදි ජනතාව තීන්දු ගන්නේ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති මතයි. ගමේ ඡන්දයේදි බලපාන්නේ ගමට සීමාවෙච්ච කරුණුයි. ඒ නිසා ප්‍රාදේශීය සභාවක් ජනාධිපතිවරණයක් සමග සැසඳීම මුඵමනින් වැරදියි.
ප්‍රශ්නය:- ඇල්පිටියෙදි එක්සත් ජනතා නිදහස් සන්ධාන මුහුණුවරින් තරග කළ ශ්‍රී.ල.නි.පයටත් සැලකිය යුතු ඡන්දයක් ලැබුණා. ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සන්ධානගත වූ තත්ත්වයක් තුළ එහි නියත වාසිය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙනවා නේද?
පිළිතුර:- හොඳ ප්‍රශ්නයක්. ඒත් වැරැදි උපකල්පනයක්. පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ නායකත්වය එකතු වෙන්න තීරණය කළාට ඇත්තටම මේ වෙලා තියෙන්නේ මොකද්ද? පාක්ෂිකයන් එකතුවෙන්න තීරණය කරලා නෑ. ඇල්පිටියෙන් ප්‍රකාශ වුණේ ඒක. ඇල්පිටියේ ඡන්දය තිබුණේ දෙපැත්ත එකතුවෙනවා කියලා ගිවිසුම් අස්සන් කරපු ගමන්මයි. ඒත් ඡන්දදායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම ඡන්දයක් දීලා තිබෙනවා. මේකෙන් අදහස් වෙන්නේ ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බවයි. හැබැයි ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ. ඔවුන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නෙත් නෑ. ඔවුන් රාජපක්ෂ පවුල් පාලනයට කැමැතිත් නෑ. නායකයෝ තමන්ගේ අවස්ථාවාදී වුවමනා වෙනුවෙන් තීන්දු ගත්තට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා එවැනි තීන්දු ගන්නේ නෑ. ඔවුන්ට ඇති කිට්ටුම බලවේගය ජාතික ජනබලවේගය බව පැහැදිලියි.
ප්‍රශ්නය:- ඒත් වැඩි දෙනෙකු තාම කතා කරන්නේ ජේ.වී.පී එකේ අනුර කුමාර කියලයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ ප්‍රධාන කොටස්කරුවා වුණත් මිනිස්සු මෙහෙම හඳුනාගැනීම පාක්ෂික නොවන ඡන්දදායකයන්ගේ ආකර්ෂණයට බාධාවක් නෙවෙයිද?
පිළිතුර:- ඇත්තවශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පක්ෂ, සංවිධාන 28 ක් ජාතික ජනබලවේගය නියෝජනය කරනවා. ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න සිටි සංවිධානයක් අපිත් එක්ක එකතු වෙලත් තිබෙනවා. තවත් ඉදිරියේදී එහෙම කණ්ඩායම් ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා අනුර දිසානායක වුණාට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා පමණක් නෙවෙයි කියන එක අපි ජනතාවට කියනවා. ඔහු සමස්ත සංවිධාන 28ක හා රටේම අපේක්ෂකයායි.
ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රචාරණයට අදාළව ජාතික ජනබලවේගය ක්‍රියාකරන්නේ කොහොමද?
පිළිතුර:- ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව ජනතාව අතරට ගෙනයන්නට තරමක වෙනස් අලුත් මුහුණුවරක් අපි යොදාගත්තා. ඒ අනුව විෂයට අදාළ ප්‍රතිපත්තිය ගැන ජනතාව වෙන වෙනම මහජන රැලි මාලාවකින් දැනුවත් කෙරෙනවා. ඒ අනුව අද අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කෙරෙනවා. ඒ ආකාරයට සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ජාතික සමගිය, සංස්කෘතිය, පරිසරය යන විෂයට අදාළ ප්‍රතිපත්ති ගැනත් ඒ ආකාරයෙන්ම ජනතාව දැනුවත් කරනවා. ඔක්තෝබර් 26 වැනිදා ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයාගේ ජාතික ප්‍රතිපත්තිය එළිදක්වනවා. ඊට අමතරව ජාතික මට්ටමේ රැලි, ගම් මට්ටමින් ජනහමු, දැනුවත් කිරීම් සඳහා විශාල වැඩකොටසක් කරනවා.
ප්‍රශ්නය:- අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරඇත්තේ සිය ඡන්ද කැඩීමට යැයි ඇතැම් අපේක්ෂකයන් චෝදනා කරනවා. ඇත්තටම මෙවර අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීම ගැන ජා.ජ.බ හිතන්නේ මොකද්ද?
පිළිතුර:- මේ ගොඩක් අය ඉදිරිපත් වෙලා තියෙන්නේ තමන්ගේ ඡන්ද කඩන්නැයි කියලා රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා මම දැක්කා. ඒත් ඇත්තටම ඒ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන්ගෙන් වැඩිපුර ඉන්නේ රාජපක්ෂ කණ්ඩායමේ ඩමි. එකට ඉන්න කට්ටිය. මේ සෙල්ලම ඒ අයට හොඳට හුරුයි. 2015 දි මෛත්‍රිපාල සිරිසේනට රූපකායෙනුත් නාමයෙනුත් සමාන අපේක්ෂකයෙක් දැම්මේ මේ රාජපක්ෂලම තමයි. මේ ඩමි ඉදිරිපත් කිරීමේ කැත දේශපාලනයෙන් බාල්දු වෙන්නේ ජනාධිපතිවරණයම තමයි.
ප්‍රශ්නය:- මේ ජනාධිපතිවරණයේදි ජාතික ආරක්ෂාව ප්‍රමුඛ සටන් පාඨයක්ව තිබෙනවා. හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව ගැන කියද්දී සජිත් ප්‍රේමදාස මහතා තමන් හදන ආණ්ඩුවේ ආරක්ෂක විෂය හිටපු හමුදාපති ෆොන්සේකාට පවරන බව කියනවා. මේ කාරණා ගැන ජනතාව සැලකිලිමත් නොවේවිද?
පිළිතුර:- දෙපැත්තෙන්ම තෝරන්නේ හමුදා නිලධාරින්. ඒකට කියන්නේ ජාතික ආරක්ෂාව නෙවෙයි. මිලිටරීකරණය. ජාතික ආරක්ෂාව කියන්නේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, බෙදීම් ඇතිනොකිරීම, විදේශ ආක්‍රමණයකට මුහුණදීමේ ශඛ්‍යතාව ආදී කරුණු රැසක එකතුවක්. ඒක රජයක වගකීමක් මිසක් තනි පුද්ගලයකුට කළ හැකි දෙයක් නෙවෙයි. ජාතික ආරක්ෂාවයි මහජන ආරක්ෂාවයි දෙකම තිබෙන්න ඕනෑ. බයක් සැකක් නැතිව පාසැලට, කාර්යාලයට, ගොවිපළට, වැඩබිමට වගේම ගමනක් බිමනක් යන්න පු`ඵවන් වාතාවරණය හැදෙන්න ජාතික සමගිය ඕනෑ. ජාතින් අතර අවිශ්වාසය සැකය දුරු කළොත් පමණයි මිනිසුන් අතර සමගිය නිර්මාණය වෙන්නේ. සමාජයක් සමගිසම්පන්න වුණොත් විතරයි මහජන ආරක්ෂාව ස්වාභාවිකවම ඇතිවෙන්නේ. ජාතික ආරක්ෂාව වගේම මහජන ආරක්ෂාව ඇතිකළ හැක්කේ ඒ සම්බන්ධයෙන් නිවැරැදි දැක්මක් මෙන්ම ප්‍රතිපත්තියක් ඇති කණ්ඩායමකට පමණයි. එහෙම නැතිව හමුදාවක රාජකාරි කළ අයකුට ජාතික ආරක්ෂාව බාරදීමෙන් වෙන්නේ මිලිටරීකරණයට පාර කැපීමයි.
ප්‍රශ්නය:- මුස්ලිම් කොංග්‍රසය නිශ්චිතව පාර්ශ්වයකට සහාය දැක්වුවත් දෙමළ ජාතික සන්ධානය මේ වනතුරු සිය මතය පැහැදිලිව ප්‍රකාශ කර නෑ. දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලනය ගැන මෑතකාලයේ සාකච්ඡා කළ පක්ෂයක් හැටියට ජාතික ජන බලවේගය දෙමළ ඡන්ද පදනම ගැන අවධානයක් යොමුකර තිබෙනවද?
පිළිතුර:- දෙමළ ජාතික සන්ධානය සන්ධානයක් විදියට තවම තීන්දුවක් ගෙන නෑ. විවිධ දේශපාලන පක්ෂ ඊට ඇතුළත්. ඒ විවිධ පාර්ශ්ව අප එක්කත් සාකච්ඡා කළා. ඒ අයට පැවැති ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව දෙමළ ජනතාව රැවැට්ටුවා. ඒ රැවටීමට ජාතිභේදයක් නෑ. ඒ පාර්ශ්වයේ පිරිස් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගෝඨාභය රාජපක්ෂ එක්කත් සාකච්ඡා කරන්න යනවා කියලා පුවතක් මම දුටුවා. සාකච්ඡාවල අවසන් එකඟතාව මොකක් වේවිදැයි මම දන්නේ නෑ. ඒ කියන්නේ ඒ ගොල්ලො හැමෝත් එක්කම සාකච්ඡා කරනවා කියන එකයි.
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලාංකික පුරවැසිභාවය ප්‍රශ්න කළ අභියාචනාධිකරණ පෙත්සම් තීන්දුවෙන් පසු පෙත්සම්කාර පාර්ශ්වයන්ට සමාජ මාධ්‍ය හරහා තවමත් මරණ තර්ජන එල්ලවෙනවා. මේ ප්‍රතිචාර එන්නෙත් පුරවැසියන්ගෙන්මයි. මේ දේශපාලනය ජ.වි.පෙ තේරුම්ගන්නේ කොහොමද?
පිළිතුර:- ඒකෙන් පෙනෙන්නේ පැහැදිලිවම ඒ කණ්ඩායමේ ත්‍රාඩත්වයයි. පුද්ගල නිදහස, විසංවාදය, මතයක් දැරීමට, ප්‍රශ්න කිරීමට ඇති පුරවැසි අයිතිය ඔවුන්ට දරාගන්න බෑ. තමන් ඡන්දය දෙන්න යන්නේ ඇමෙරිකන් පුරවැසියකුටද ලංකාවෙ පුරවැසියකුටද කියලා සැක හැර දැනගැනීමට ප්‍රශ්න කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබෙනවා. තමන්ගෙ රටේ ප්‍රධාන පුරවැසියා වෙන්නේ ඇමෙරිකන්කාරයෙක්ද කියලා අධිකරණයෙන් අහන්න ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබෙනවා. එහෙම ප්‍රශ්න කළ මිනිසුන්ට මේ ආකාරයෙන් තර්ජනය කිරීමෙන් පෙන්නුවේ ඔවුන්ගේ මුග්ධභාවයයි. ප්‍රජාතන්ත්‍රවිරෝධී චින්තනයයි.
ප්‍රශ්නය:- තමා ජයගත්තොත් පොහොර මිටිය නොමිලේම දෙන බව ගෝඨාභය රාජපක්ෂ කියද්දී සජිත් ප්‍රේමදාස කියන්නේ සමෘද්ධි සහනාධාරයට අලුත් එකතුවක් කරන බවයි. අනුර දිසානායක දිනුවොත් මහජනතාවට දෙන්නේ මොනවද?
පිළිතුර:- රාජපක්ෂ පාලනය අවුරුදු ගානක් තිබුණු එකක්. හැබැයි පොහොර එහෙම නිකම් දුන්නේ නෑ. ඇත්තටම කළේ ගොවි රක්ෂණය කියලා ඇස් බැන්දුමක් කරලා රුපියල් එකසිය පනහකින් පොහොර මිටියේ ගණන් වැඩිකිරීමයි. බලය තිබෙද්දි ඇත්ත හැසිරීම ඒකයි. මිනිසුන් මැනිය යුත්තේ බලය ගිළිහුණු පසු කියන කතාවලින් නෙවෙයි. බලය තිබෙන කාලේ කළ කී දෑවලිනුයි. දැන් මේ ඡන්ද කාලේ නිසා නත්තල් පප්පලා ගොඩයි. මේ දෙගොල්ලොම එහෙමයි. ජාතික ජනබලවේගය එහෙම සීනි බෝල, ටොපි, චොකලට් දෙනවා කියලා ඡන්ද ගන්නේ නෑ. රට ගොඩනගන්නේ ප්‍රතිපත්ති මතයි. ඒ ගොඩනගන රටේ ප්‍රතිලාභ සියලුම පුරවැසියන්ට ලැබෙනවා.
ප්‍රශ්නය:- ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් අභූත චෝදනා මත සිරගත කර ඇතැයි ද තම ජයග්‍රහණයෙන් පසු දිනයේම ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නේ යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවක් දුන්නා. අපරාධ වැරැදිවලට සම්බන්ධ යැයි රිමාන්ඞ් කර සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන විශාල සාකච්ඡාවක් තිබෙන මොහොතක ජාතික ජනබලවේගය එම සිදුවීම් දකින්නේ කොහොමද?
පිළිතුර:- එහෙම තනි පුද්ගලයකුට ඕන ඕන විදියට නීතිය හසුරුවන්න බෑ. මේ රටේ පිළිගත් නීතියක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ නීති රාමුවට යටත්ව අධිකරණ ක්‍රියාවලියකින් තමයි යුක්තිය පසිඳලීම වෙන්න ඕනෑ. එහෙම නැතිව මම ආවාම මේ කට්ටිය නිදහස් කරනවාය, මේ කට්ටිය ඇතුළට දානවාය වගේ කතා කියන එකම වැරදියි. ඒකෙන් පැහැදිලි වෙන්නේ පුද්ගලයකුගේ කැමැත්ත රටේ නීතිය බවට පත්වෙනවාය යන්නයි. ඒක තමයි පහුගිය කාලේ රාජපක්ෂ පාලන කාලයෙත් තිබුණු නීතිය. ඒ තත්ත්වය නම් රටට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ජාතික ජනබලවේගය අනුගමනය කරන්නේ රටේ පවතින නීති රාමුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
ප්‍රශ්නය:- ජාතික ජනබලවේගයේ සිටින නව වාමාංශික පෙරමුණ කියන්නේ පළමු වැනි මනාපය ජාතික ජනබලවේගයට දී දෙවැනි මනාපය ගෝඨාභය ගමන වැලැක්වීමට යොදන්න කියලයි. දෙවැනි මනාපය ගැන ජා.ජ.බලවේගයේ ස්ථාවරයද ඒක?
පිළිතුර:- ප්‍රතිපත්තියක් විදියට ජාතික ජනබලවේගය එවැනි තීරණයක නෑ. එහෙත් විවිධ පාර්ශ්වයන් සංවිධාන ජාතික ජනබලවේගය නියෝජනය කරනවා. ඒ එක් එක් සංවිධානවලට තමන්ගේ පක්ෂය විදියට එවැනි තීන්දු ගන්න අයිතියක් තිබෙනවා. නිදහසක් තිබෙනවා. මොකද මනාපය කියන්නේ පුද්ගලයෙකුගේ අයිතියක්. ජනාධිපතිවරණයේදි මනාප තුනක් තිබෙනවා. මනාප දෙනවද නැද්ද කියන එක තීරණය කළයුත්තේ අදාළ ඡන්දදායකයායි. අපි ජාතික ජනබලවේගය විදියට ඉතා පැහැදිලිව කියන්නේ අනුර දිසානායක සහෝදරයට ඡන්දය දෙන්න කියලයි. වෙන කාටවත් මනාප දෙන්න කියලා අපි කියන්නේ නෑ.
ප්‍රශ්නය:- ඒත් 2015 දී ජ.වි.පෙ ජනාධිපතිවරණයට තරග නොකොට රාජපක්ෂවිරෝධී දේශපාලනයක් කළා. එදා ජ.වි.පෙ සමග එකට වේදිකාවල සිටි අය අද සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් චෝදනා කරන්නේ ජ.වි.පෙ අපේක්ෂකයකු දැමීමෙන් රාජපක්ෂවරුන්ට නැවත දේශපාලන පාවඩයක් එලා ඇති බවයි. චෝදනාව පිළිගන්නවද?
පිළිතුර:- රාජපක්ෂ ප්‍රතිපත්තිය පරද්දන්න එක්සත් ජාතික පක්ෂයට බෑ. එ.ජා.පය පහුගිය අවුරුදු හතරහමාරේම ඒක කළේ නෑ. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයත් කළේ රාජපක්ෂවරුන්ගේ හොර, මැර, දූෂණ ප්‍රතිපත්තියම අනුගමනය කිරීමයි. පහුගිය අවුරුදු ගණනේම එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මා. දේශපාලන ගේම් ගැහුවා. ඒ නිසා ගෝඨාභයලාව ප්‍රතිපත්තිමය වශයෙන් පරද්දනවා නම් ඇත්තටම එය කළහැක්කේ ජාතික ජනබලවේගයට මිස එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි. ඒ නිසා අපි ඡන්දදායකයන්ට කියන්නේ රාජපක්ෂලාගේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරද්දන්න නම් කළයුත්තේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම නෙවෙයි. විකල්පය දිනන බලවේගය වූ ජාතික ජනබලවේගයට ඡන්දය දීමයි.
සංවාද සටහන
-බිඟුන් මේනක ගමගේ-
"ලංකාදීප"
සඳුදා හමුව
Lanka Newsweek © 2024