Friday 26th of April 2024

English Tamil
Advertiesment


මහින්ද අද හිටියා නම්..!


2019-12-01 7821

 

මිනිස් බෝම්ම යළි නැගිටපු වෙලාව..!

 

හිස්බුල්ලා මෛත්‍රීගේ ඔඩොක්කුවට පැන්නේ ඇයි..?

 

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

1983 කළු ජූලියට පසු එල්.ටි.ටි.ඊ සංවිධානය කොළඹ අවට බෝම්බ පුපුරවමින් මිනිසුන් දහස් ගණන් ඝාතනය කරද්දී එවකට ශ්‍රී.ල.නි.ප නායිකා බණ්ඩාරනායක මැතිනිය කීවේ, මට බලය දුන්නොත් පැය 24න් ත්‍රස්තවාදය නැති කරනවා කියාය.එවකට විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක කීවේ තම මව 1971 ජවිපෙ කැරැල්ල පැය 24න්මර්ධනය කළ බවත්, ඇය සතු ශක්තිය සහ අත්දැකීම් ජේ. ආර්.ගේ ආණ්ඩුවට නැති බවත්ය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ පිරිමි නැති බවත්, 71 කැරැල්ලේ ගැහැනියක් වුණත් පිරිමියෙක් මෙන් මැතිනිය ත්‍රස්තවාදයට මුහුණ දී ජය ගත් බවත් ශ්‍රී.ල.නි.පය කීවේය.

මේ චෝදනාවලට නිහඬව සවන් දුන් ජේ. ආර්. කීවේ තමන් මුහුණ දෙන ඊළාම් යුද්ධය 71 කැරැල්ලට සමාන කළ නොහැකි බවය. 71 කැරැල්ල කළේ "ගල්කටස්" තුවක්කුවලින් බවත් දමිළ සන්නද්ධ කල්ලි යුද්ධ කරන්නේ ඒ.කේ-47 වැනි අති නවීන ආයුධ වලින් බවත් ජේ..ආර්. කිවේය. අනෙක 71 කැරැල්ල මෙන් නොව ඊළාම් යුද්ධයට ඉන්දියාව ද ඇතුළු ලොව බලවත් රටවල් උදවු කරන බව ය. එම නිසා ත්‍රස්තවාදයට මුහුණ දීම ලෙහෙසි නොවන බව ජේ.ආර්. කීවේය.

ජේ. ආර්. කීවා හරිය. 1994 දී මෙරට ජනතාව චන්ද්‍රිකාටත්, බණ්ඩාරනායක මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය දුන්නේ 71 කැරැල්ල ඉවර කරා වගේ මේක ඉවර කරන්න කියාය. හැබැයි වසර 10ක් රට පාලනය කරලාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවර කර ගත නොහැකි විය. 1993 දී මහ දවල් කොළඹ දී රටේ ජනාධිපති මරණකම් නිදි වදින ආණ්ඩුවක් යැයි යු.ඇන්.පී.යට කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1999දී ජනාධිපතිනි චන්ද්‍රිකාට එල්ල වූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරය ඉදිරියේ අසරණ විය. මේ යුද්ධය එහෙම ලෙහෙසි පහසු යුද්ධයක් නොවන බව ජනතාවට තේරුම් ගියේ එවිටය.

අද පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට මහින්ද හිටියා නම් බලන්න තිබුනා යැයි කියන මහින්දවාදීන්ට දෙන්න පුලුවන් හොදම උත්තරය ඕකය. අයි.එස්.අයි.එස්. යුද්ධය එල්.ටී.ටී.ඊ. යුද්ධය මෙන් නොවේ. එල්.ටී.ටී.ඊ. ය යුද්ධ කළේ රටින් කොටසක් වෙන්කර ගන්නටය. එය ඇතුළෙ යුද්ධයකි. රට ඇතුළේ එල්.ටී.ටී.ඊ. ය සමග මුහුණට මුහුණ ලා යුද්ධයක් කොට එල්නා.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ඇතුළු නායක රොත්තම ඝාතනය කළ විට යුද්ධය අවසන් විය.

එල්.ටී.ටී.ඊ.ය මෙන් අයි..එස්.අයි.එස්. රටෙන් බාගයක් ඉල්ලන්නේ නැත. ඔවුන් එල්.ටී.ටී.ඊ.ය මෙන් ලංකාවේ හමුදාව සමඟ මුහුණට මුහුණ යුද්ධකට එන්නේත් නැත. ඔවුන්ට වුවමනා ලංකාව ඔවුන්ගේ ජාත්‍යන්තර ඉලක්කයන්ට පහර දෙන්න අවශ්‍ය මිනිස් බෝම්බ හදන කර්මාන්ත ශාලාවක් කරගන්නටය.

ඔවුන්ට සිංහල-මුස්ලිම් කෝලාහල අවශ්‍ය වූයේ ඒකටය. ලංකාවේ මුස්ලිම් ආගමික සංවිධාන බොහෝමයක් යුඇන්පී පක්ෂපාතීය. ඉන්දීය ඇතුළු බටහිර රටවල් හිතවාදී ය. මෙය අයි.එස්.අයි.එස්. සංවිධානයට මුස්ලිම් අන්තවාදය පතුරුවන්න විශාල බාධාවක් විය. "තවුහිත් ජමාද්" සංවිධානය වන්නේ ලංකාවේ සම්ප්‍රදායික යූ.ඇන්.පී., ඉන්දීය, බටහිර හිතවාදී මුස්ලිම් සංවිධාන වලට එරෙහිවය. මහින්දලා සහ ගෝඨාභයලා මේ සංවිධානය පෝෂණය කරන්නේ යූඇන්පී, මුස්ලිම් ඡන්ද පදනම බිඳ දමන්නට ය.

"තවුහිත් ජමාද්" සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතී වන්නේ ආණ්ඩු බලය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ නිසා ඔවුන්ගේ රැකවරණය මැද ශක්තිමත් වෙන්නටය. මහින්ද පරාජයට පත්වන විට මේ සංවිධානය සමීප වන්නේ මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. හොඳම නිදසුන චන්ද්‍රිකාගේ කාලයේ පටන් නැගෙනහිර මුස්ලිම් අන්තවාදයේ පියා වූ හිස්බුල්ලා මෛත්‍රී ජනාධිපති වූ විගස මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීම ය. ඔහු මන්ත්‍රී ධූරය අතහැර ආණ්ඩුකාරධුරය ගත්තේ නිකම්ම නොවේ. අන්තවාදීන් ආරක්ෂා කරගැනීමටය.

මෙම අන්තවාදී සංවිධානවල පළමු අරමුණ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් සහ බටහිර රටවලින් කඩා ගැනීමය.මුස්ලිම්වරුන් ඉන්දියාවට සමීප දෙමළ භාෂාව කතා කිරීම නිසා යැයි සැක කරන අන්තවාදී සංවිධාන මුස්ලිම්වරු අරාබි රටවලට සමීප කරවීම ආරම්භ කරන්නේ දමිළ භාෂා වෙනුවට මුස්ලිම්වරුන්ට අරාබි භාෂාව පුරුදු කරවමිනි.

ඉන්දියාව පාලනය කරන මුස්ලිම් නායකයන් යුඇන්පී ගැති නිසා අන්තවාදී මුස්ලිම් සංවිධාන අරාබිය සමඟ ගනු ගනුදෙනු කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුටු වෙයි. අයි.එස්.අයි එස්. මේ සංවිධාන හරහා ලංකාවට රිංගන්නේ මේ මුස්ලිම්වරු දිනා ගැනීමේ දේශපාලන බල පොරයෙන් හොඳහැටි ප්‍රයෝජන ගනිමින් ‍ය.

2015 මහින්ද ජනාධිපති වූවා නම් මේ සංවිධාන ලංකාව තුළ හැදෙන්නේ වල් ගස් හැදෙනවා වගේය. 2015 මහින්ද ජනාධිපති වූවා නම් මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට සම්බාධක දමා ලංකාව සිරියාවක් කර අවසන්ය. එසේ වූවානම් අයි.එස්.අයි.එස්. සංවිධානය ලංකාවේ ගහන්නේ බඩපිනුම් ය.

ඔවුන් මිනිස් බෝම්බ කර්මාන්තශාලා හදන්න තෝරාගත්තේ ජාත්‍යන්තරයෙන් කොන් වූ රටවල් ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහි යෝජනා සම්මත කරද්දී මහින්දගේ ආරක්ෂාවට ආවේ අරාබි රටවල් ය. මහින්ද දින්නා නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එක්ක හැප්පෙන්න මහින්ද පිහිට පතන්නේ අරාබි රටවල් වලිනි. එසේ වූවානම් අයි.එස්.අයි.එස්. සංවිධානයට ලංකාව කෙළිබිමක් වීමට ඉඩ තිබිණි.

ඔවුන් එසේ වූවානම් ලංකාවේ බෝම්බ පුපුරවන්නේ ඉන්දියාවේ, බටහිර රටවල තානාපති කාර්යාල ඇතුළේය. ඔවුන් ලංකාවේ මුස්ලිම්වරුන්ගෙන් මිනිස් බෝම්බ හදා ගහන්නේ ඉන්දියාව ඇතුළු බටහිර රටවලට ය. එසේ වූවානම් ඉන්දියාව ඇතුළු බටහිර රටවල් සිරියාවේ වගේ ලංකාවේ අයි.එස්.අයි.එස්. සංවිධානය මර්දනය කරන්න හමුදාව එවනවා සිකුරුය. එවන් යුද්ධයකදී ලංකාවට අත්වන ඉරණම ඛේදජනකය. එහෙනම් මුළු රටම මළගෙයක්ය.

හොඳ වෙලාවට මහින්ද පරාජය විය. සර්පයා වැල්ලේ ඔලුව හංගා ගන්නවා සේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ආ විට මුස්ලිම් අන්තවාදී සංවිධාන ඔළුව හංගා ගත්හ. ඔවුන් යළි නැගිට්ටෙ මෛත්‍රී මහින්ද අගමැති කළ කුමන්ත්‍රණයට පසුවය. රට අස්ථාවර බව ඔවුන්ගේ ඉවට වැටහිණි. මෙම අස්ථාවරත්වයෙන් ප්‍රයෝජනය ගෙන ලංකාවේ අන්තවාදී මුස්ලිම්වරුන්ගෙන් මිනිස් බෝම්බ හදා ඒ බෝම්බ ලංකාව තුළම පුපුරවා දැමුවේ ඒ බෝම්බ පුපුරවන්න ලෝක සිතියමේ රටක් සොයාගත නොහැකි තරමට ඔවුන් බංකොලොත් වී සිටි නිසාය.

දැන් ලොව බලවත්රටවල් අයි.එස්.අයි.එස්. සංවිධානයට මුහුණදීමට හොඳින් සංවිධානය වී ඇත. පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බලවත් රටවල්වල ඔත්තු සේවා ලංකාවට දුව ආවේ ලංකාවේ අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදයට මුහුණ දීමට හැකි සේ සංවිධානය කරන්නට ය.

බෝම්බ ප්‍රහාරයට පසු මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රී හමුවූණු පළමු අවස්ථාවවේදීම මතු කළ ප්‍රධාන ප්‍රශ්නය රටේ ආරක්ෂාව නොව විදේශ ඔත්තු සේවා රට තුළ සිටීම ගැනය. ඔවුන් දැන හෝ නොදැන මේ කතා කරන්නේ අයි.එස්.අයි.එස් සංවිධානය වෙනුවෙන්ය. විමල් කියන්නේ මේ ප්‍රහාරය ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයක් කියාය. ඔහු දැන හෝ නොදැන ඉටුකරන්නේත්අයි.එස්.අයි.එස්. වුවමනාවක්ය. හේතුව අයි.එස්.අයි.එස් සංවිධානයට අවශ්‍යම ඉන්දියාව, ඇමරිකාව ඇතුළු බටහිර ඔත්තුසේවා රටින් පිටමංකොට ලංකාව තුළ ඔවුන්ගේ මිනිස් බෝම්බ කර්මාන්තශාලාවලට යළි පණ දෙන්නට ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්න ලංකාවට ජාත්‍යන්තර සහය අවශ්‍ය නොවීය. හේතුව එය රට ඇතුළේ යුද්ධයකි. ජාත්‍යන්තර සහය අවශ්‍ය වුයේ එල්.ටී.ටී.ඊ.යේ ප්‍රචාරක යුද්ධය පරාජය කරන්නටය. හැබැයි ජාත්‍යන්තර සහය නැතුව අයි.එස්.අයි.එස්. සංවිධානය පරාජය කළ නොහැකිය. හේතුව එය ලෝකයත් සමඟ යුද්ධයකි.

බටහිර ඔත්තු සේවා රටින් පිටමං කරන්න දතකන විමල්ලා සිටින ආණ්ඩුවක මහින්ද අයි.එස්.අයි.එස්. සමග කොහොම යුද්ධ කරයි ද කියලා හිතා ගත හැකිය.

 

-ගුරුදා විග්‍රහය-
මව්රට
Advertiesment