Monday 4th of May 2026

English Tamil
Advertiesment


“මෛත්‍රී-රනිල්” කැබිනට්ටුව විද්‍යාත්මක විගඩමක්..!


2018-05-02 14854

(සුජිත් මංගල ද සිල්වා)

“මෛත්‍රී-රනිල්” හවුලේ සිව් වැනි  කැබිනට් සංශෝධනයත් විද්‍යාත්මක එකක් නොව  ජනතාව සිනහ ගැස්ස වන  විගඩමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේදී අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

විජිත හේරත් මහතා එහිදී මෙසේද කීය.

මේ ආණ්ඩුව බලයට පත් වෙන කොට ජනතාවට දුන්නු පොරොන්දු අතර විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියන එකත් ප‍්‍රධාන එකක් වුණා. මේ ආණ්ඩුවට එහෙම කියන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අමාත්‍ය මණ්ඩලය ජනතාවට, රටට දරා ගන්න බැරි අසීමිත එකක් වීමයි.

ජනගහනයට සාපේක්‍ෂව චීනයටත් ඉන්දියාවටත් වඩා වැඩි ඇමති මණ්ඩලයක් රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා. ඒ ඇමති මණ්ඩලය ලෝකය පුදුම කර වන ඇමති මණ්ඩලයක් වුණා. රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීම නිසා මේ ආණ්ඩුවට ඇමති මණ්ඩලය විද්‍යාත්මකව පත් කරන බවට පොරොන්දු වුණත් ආණ්ඩුව ආරම්භයේදීම ඒ පොරොන්දුව කඩලා දැම්මා.

කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව පළවැනි කැබිනට් මණ්ඩලය හැදුවා. මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලය වගේම ඇමති මණ්ඩලය වැඩි කළා. රාජ්‍ය ඇමති ධුර කියලා ඇමතිධුරත් නියෝජ්‍ය ඇමතිධුර, කැබිනට් ඇමතිධුර විදිහට ඇමතිධුර පැටව් ගැහුවා.

මේ වෙන කොට ආණ්ඩුවට වසර තුනක් ගෙවී තිබෙනවා. කැබිනට් මණ්ඩලය හතර වතාවක් සංශෝධනය කොට තිබෙනවා. ඒකෙන්ම පේනවා, මේ ආණ්ඩුවට දැක්මක් වැඩ පිළිවෙළක් නැහැ කියලා.

අඩුම තරමේ ජාතික ආණ්ඩුවක් කියලා හදාගත්තු මේ ආණ්ඩුවට වසර 5කට සැලසුමක් ඉලක්ක සහගත වැඩ පිළිවෙළක් සහිතව කැබිනට් මණ්ඩලයක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ.

ඇත්තටම වෙලා තිබෙන්නේ ඔළුගෙඩි මාරු කිරීමක් විතරයි. ඇතැම් ඇමති ධුර පුද්ගලයින් යාළු කර ගන්නත් ඇතැම් යාළුකම් රැක ගන්නත් ලබාදී තිබෙනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයින් සමඟ තිබුණු තරහා පිරිමසා ගන්නත් ඇමති ධුර වෙනස් කොට තිබෙනවා. මුලින් වගේම ඇමති විෂයන් බෙදීමේදී කරපු වැරදි ඒ විදිහටම මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදු කර තිබෙනවා.

වන රක්‍ෂණ ඇමති ධුරය එක් පුද්ගලයෙකුටත් වන ජීවී අමාත්‍යාංශය තවත් පුද්ගලයෙකුටත් ලබා දෙන්නේ කුමණ විද්‍යාත්මක පදනමකටද? විද්‍යානුකූලව නම් විය යුත්තේ වන රක්‍ෂණ සහ වන ජීවී විෂයන් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමයි.

ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම්, වාරි මාර්ග හා පශු සම්පත් යන සියල්ල ඒකාබද්ධ කළ අමාත්‍යාංශයක් වනවා වෙනුවට කෘෂිකර්ම එක් ඇමතිවරයෙකුටත් ඉඩම් තව ඇමතිවරයෙකුටත් වාරිමාර්ග තව අයෙකුටත් වෙන් කර දී තිබෙනවා.

මෙම විෂයන් වෙන් වෙන්ව තිබියදී කෘෂිකර්මය දියුණු කරන්නේ කොහොමද? දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශය මහින්ද අමරවීරට දීලා. මහින්ද අමරවීරගේ අමාත්‍යාංශය විජිතමුණි සොයිසට ලබාදීලා. විජතමුණිගේ අමාත්‍යාශය දුමින්ද දිසානායකට දීලා. මොකක්ද මෙතන තිබෙන මහ ලොකු විද්‍යාත්මක පදනම?

ඒ වගේම ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිලා කියලා ඇමතිවරුත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. වයඹ පළාතට, උතුරු පළාතට, දකුණු පළාතට සංවර්ධන ඇමතිලා ඉන්නවා. එම පළාත්වලට කිසිදු සම්බන්ධයක් නැති ඇමතිලා ඒ අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමති ධුර දරනවා.

ඇතැම් පළාත්වලට සංවර්ධන ඇමතිලා නැහැ. ලක්‍ෂ්මන් කිරිඇල්ලට මහනුවර සංවර්ධන ඇමතිකමක් දීලා. නුවරට කිසිදු සම්බන්ධයක් නැති අම්පාරේ හාරිස් ඇමතිවරයා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති බවට පත් වෙලා. මහනුවරට සංවර්ධන ඇමතිකමක් දෙන කොට අනෙක් දිස්ති‍්‍රක්වලට සංවර්ධන ඇමතිලා නැහැ.

නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට සියලූම නගර අයිති වෙන්නේ චම්පික රණවක ඇමතිවරයාටයි. නමුත් මහනුවර ඒ අමාත්‍යාංශයෙන් ගලවලා. ලක්‍ෂ්මන් කිරිඇල්ලට දීලා තිබෙනවා. ඒවා කොහොමද විද්‍යාත්මක වෙන්නේ?

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූර දෙන්නෙකුට දීලා. එම විෂයයන් දෙක එක අමාත්‍යාංශයක් යටතේ නොතබා අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? පළාත් සභාවලදී මෙම අධ්‍යාපන විෂය මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් ලෙස බෙදෙනවා.

ඒ වගේම තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු විෂයන් අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ. සාමාන්‍යයෙන් තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු එකට බැඳී තිබෙන විෂයන් දෙකක්.

ඒ නිසා මෙම කැබිනට් සංශෝධනය විකාර සහගත ජනතාව සිනාගස් වන විගඩමක් පමණයි. මේ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක්. ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුවක්.

ගෑස් මිල රු.245කින් වැඩි වෙලා. දිනෙන් දින රුපියල බාල්දු වෙනවා. රැකියා නැතිව උපාධිධාරීන් 52,000ක් උද්ඝෝෂණ කරනවා. වසර තුනක් ගත වෙලත් මේ ආණ්ඩුවට උපාධිධාරීන්ට රැකියාවක් දෙන්න වැඩ පිළිවෙළක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව ඇතුළේ තිබෙන අර්බුදය තව පැත්තකින් මේ කැබිනට් මණ්ඩල සංශෝධනය හරහා රටටත් ජනතාවටත් පෙන්වමින් තිබෙනවා.

ඒ නිසා අපි ජනතාවට කියනවා රට ගොඩනගන්න දැක්මක් වැඩ පිළිවෙළක් නැති මෙවැනි පාලනයන් වෙනස් කරන්න ඉදිරියට එන්න කියලා. දැක්මක් වැඩ පිළිවෙළක් නැතිව ආණ්ඩුවේ අර්බුද වහ ගන්න පත් කරන ඇමති මණ්ඩලවල නාස්තිකාර වියදම් ජනතාව මත පැට විය යුතු නැහැ.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...

රවී කරුණානායක විජේදාස රාජපක්ෂ වැනි අය ඇමති ධුරවලින් ඉවත් වුණාට පසුව ආණ්ඩුව විවේචනය කරන්න  පටන් ගත්තා. ආණ්ඩුව විවේචනය කර කර ඉඳලා විජේදාස රාජපක්ෂ දැන් මේ ආණ්ඩුවේම ඇමති ධුර බාර ගත්තා. ආණ්ඩුව කරන විගඩමම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරනවා. කැබිනට් එකෙන් ඉවත් කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණ ක‍්‍රීයාවට නගන්නේ නැහැ කියලා. එහෙම කියලා ආයෙත් වටයකින් ඇමතිකම් දෙනවා.

සාකච්ඡා  වට කිහිපයකින් අනතුරුව 20 වැනි සංශෝධනය මැයි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 20 සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට දාන්න 2/3ක කැමැත්තක් අවශ්‍ය නැහැ. යෝජනාව සම්මත කර ගැනීමට 2/3ක බහුතර කැමැත්තක්  ඕනෑ. එය ලබා ගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එම 2/3කේ බහුතර කැමැත්ත ලබාගන්න අපි කටයුතු කරනවා.

1978 ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සම්මත කර ගන්න කලින් ඉඳලම ජනතා විමුක්ති පෙරමුණ එහි භයානකකම දැක්කා. එදා ඉඳලම අපි ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරයට විරුද්ධ වුණා. සම්මත කර ගැනීමෙන් පසුව එය පරාජය කරන්න කටයුතු කළා. එයට විරුද්ධව වැඩ කරපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නත් ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළා.

ජනතා විමුක්ති පෙරමුණ එදත් අදත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. මේ වතාවේ අපි එය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගේනවා. ඇතැම් අය මෙයට කලබල වෙලා.

ඒ පුද්ගලයින් ප‍්‍රතිපත්ති වෙනස් කළාට ජවිපෙ ප‍්‍රතිපත්ති වෙනස් කරලා නැහැ. ඇතැම් අය 20ට බය වෙන්නේ එහි තිබෙන කරුණුවත් දන්නේ නැතිවයි. විධායක අගමැති ධුරයක් හදනවා කියලා චෝදනා කරන්නේ ඒකයි.

20 කරුණුවලට අනුව ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථා සභාවටත් පැවරෙනවා. කිසිසේත්ම අගමැතිට විධායක බලතල ලැබීමක් සිදු වෙන්නේ නැහැ.  ඒ වගේම ගොඩක් අය චෝදනා කරනවා 20 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක බලතල අහිමි වීමෙන් රට කැඩෙන, රට බෙදෙන අවස්ථාවක් උදාවෙන්න පුළුවන් කියලා.

නමුත් 20ට අනුව 13වැනි සංශෝධනයට අදාල බලතල ජනාධිපතිවරයාට තිබෙනවා. 20වැනි සංශෝධනය මගින් රට බෙදන්න හැකියාවක් උදාවෙන්නේ නැති බව අපි සහතික වෙනවා. මොකද, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රට බෙදන එක වළක්වන්න සටන් කරපු පක්‍ෂයක්.

අලූත් ව්‍යවස්ථාවක් සඳහා කි‍්‍රයාවලියක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව තුළ සාකච්ඡා  වෙමින් තිබුණා. එහි මූලික යෝජනාවක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. නමුත් එම නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කි‍්‍රයාවලිය දැන් අඩපණ වෙලා තිබෙනවා. එනිසා එහි තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම් යෝජනාව පමණක් අපි පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගේනවා.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යමකාරක සභික නීතිඥ සුනිල් වටගල සහෝදරයාද සහභාගී විය.

Advertiesment