Wednesday 12th of May 2021

English Tamil
Advertiesment


සංහිදියාව සහ සංවර්ධනය මත පදනම් විය යුතු නව ව්‍යවස්ථාව


2019-07-02 2069

වර්තමාන රජය බලයට පත්වු දා සිටම රජයට එල්ල වන චෝදනා, අවලාද සහ  අපවාදවල අඩුවක් නොමැති අතර කුමක්  හෝ විරෝධතාවයක් නොමැති  දිනයක් ද  නොමැති  තරම්ය.

සයිටම් අර්බුදය, මීතොටමුල්ල කුණු කන්ද, උමා ඔය ජල කාන්දුව, රණවිරු වැටුප් විෂමතාව, දුම්රිය රියදුරන්ගේ මකුණු ප‍්‍රශ්නය, විදුලි බල මණ්ඩල වැටුප් විෂමතා, සමෘද්ධි ප‍්‍රශ්න, දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, මීයන්මාර් සරණාගත ප‍්‍රශ්නය මේ එකක් හෝ නොමැති  දවසක් වුයේ නම් අලි මිනිස් ගැටුමේ විරෝධතා, ගං වතුර සහ  නායෑමේ ප‍්‍රශ්න මේ ආදි දහසකුත් එකක් ප‍්‍රශ්නවලට මුහුණ දිමට සිදුව ඇත.

මේ අතරට අලූතින්ම එක් වි ඇත්තේ නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා ප‍්‍රශ්නයයි. රටක් වශයෙන් ගත් කල ජනතා විරෝධතා, උද්ඝෝෂණ වැඩි වශයෙන් දක්නට ඇත්තේ ප‍්‍රජාතත්ත‍්‍රවාදයේ සුපිරි අවධියක යයි  සමහරු තර්ක කරන අතර තවත් අයෙක් චෝදනා කරන්නේ  රජය ජනතා ප‍්‍රශ්නවලට ඇහුම්කන් නොදෙන බවය.

ව්‍යවස්ථා ගැටලූව දෙස බැලූව හොත් මේ ප‍්‍රශ්න බොහොමයක් කාලයක් තිස්සේ පැමිණ ඇත. 1978 සිට ක‍්‍රියාත්මක වන වර්තමාන ව්‍යවස්ථාව ජේ.ආර් ගේ බහුභූත ව්‍යවස්ථාව ලෙස වරෙක අර්ථ ගැන්විණි.

මෙම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වු විධායක ජනාධිපති ක‍්‍රමය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර බවට ජනමතයක් ගොඩනැගුනේ වර්තමානයේ පමණක් නොවේ.ජේ ආර් ජයවර්ධන යුගයෙත් ආර් පේ‍්‍රමදාස යුගයෙත් විරෝධතා මතුවීම මත  පසුව බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ප‍්‍රකාශ කළහ.

එම අවස්ථාවල ජනාධිපති ධුරයේ වෙනසක් සිදු නොවු බැවින් මාදොලූවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සිවිල් සංවිධාන ඒකරාශි වි ජනමතයක් ගොඩනැගු අතර එහි ප‍්‍රතිඵලය වුයේ 2015 ජනවාරි 08 මැතිවරණයේ දි ඒ හඩට ඉඩ දෙමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්විමයි.

එතුමන්ගේ පාලනය ආරම්භ වුයේම ජනාධිපති ධුරයට හිමිව තිබු අධික බලතල කොටසක් අඩු කර ගැනිමෙනි. මෙම පාලනය වසර දෙකක් ඉක්ම යන විට විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුය යන මතය සමග වර්තමාන ව්‍යවස්ථාව ඉදිරියට පවත්වා ගත යුතු බවට තර්ක මතු විය .

මේ තත්වයෙන්  තහවුරු වන්නේ වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ විධායක බලතල අයුතු ලෙස යොදා නොගන්නා සැබෑ යහ පාලකයෙකු බවයි. එමෙන්ම මෙම ව්‍යවස්ථාව යටතේ රටේ ඒකීය භාවයට සහ  බෞද්ධාගමට ප‍්‍රමුඛතාවය ලැබී ඇති බවට බහුතර ජන වර්ගය වු සිංහල සමාජයේ පිළිගැනිමයි.

1976 එවකට යාපනයේ නගරාධිපති වු ඇල්ෆ‍්‍රඞ් දොරෙයප්පා ඝාතනය කිරිමත් සමග ආරම්භ වු ඊළාම් රාජ්‍යයක් සදහා වු එල්.ටී.ටී. ත‍්‍රස්තවාදය අවසන් කළේ වසර 30 කට පසුවය. ඒ වනවිට රටේ දේශපාලන නායකයන් විශාල පිරිසක් ඝාතනය විය. රටේ අනාගතය භාර ගැනිමට සිටි තරුණ තරුණියන් දරු දැරියන් විශාල පිරිසක් සමග වැඩිහිටියන් දහස් ගණනක් අපට අහිමි විය.

මෙම පිරිස ජාති ආගම් වශයෙන් වර්ග කිරිමට වඩා රටක් වශයෙන් අපට අහිමි වුයේ ශ‍්‍රි ලාංකිකයන්ය. යුද්ධයෙන් බැට කෑ පිරිස් උතුරේ මෙන්ම දකුණේද සිටිති. එසේම යුද්ධය සාපයක් වු පිරිස මුළු රට පුරාම එදා සිටියහ. ඇතැම් විට අවි ජාවාරම්කරුවන්, කොමිස් ගසන්නන්, ජනතා සම්පත් අයථා ලෙස පරිහරණය කරන්නන්ට මෙන්ම විවිධ අපචාර කරන්නන්ට යුද්ධය ආශිර්වාදයක් වන්නට ඇත.

වර්තමානයේ ගෙන එන්නට සාකච්ඡා කරන නව ව්‍යවස්ථාව සදහා රට තුල විවිධ විරෝධතා අර්බුද ඉස්මතු වී ඇත. “රට පාවා දෙන්නන්ට මරණය” යන සටන් පාඨ කරළියට පැමිණ ඇත. ඒ අතර බෝම්බ කතා පිළිබදව ද ආන්දෝලන ඇති වෙයි. මේ තුලින් අපට සිහි වන්නේ 1988, 89 යුගයේ අප රට තුළ ඇති වු තත්වයයි. ඉන්දු ලංකා ගිවිසුමට, 13 වැනි සංශෝධනයට සහ  පළාත් සභා ක‍්‍රමයට විරෝදය පාමින් ආරම්භ වු විරෝධතා ව්‍යාපාර මැඩ පවත්වන විට රටට අහිමි වු තරුණ ජිවිත සංඛ්‍යාව දහස් ගණනනකි.

අද වන විට එදා විරුද්ධ වු 13 වෙනි සංශෝධනය උතුරට බලතල දීමේ හොදම සීමාව ලෙස පිළිගනිති. පළාත් සභා ක‍්‍රමයද ප‍්‍රාදේශිය මට්ටමින් රට සංවර්ධනය කිරිමට ඇති හොදම අධිකාරිය ලෙස එදා විරෝධතා දැක්වු අයම පිළි ගනිති. සමාජය පරිනත වන විට තරුණ වියේ ඇතැම් තීන්දුවල හරි වැරැද්ද තේරුම් ගැනිමට හැකියාව ලැබෙන බව එයින් පෙනේ.

එහෙත් යථාර්තය එය නොවේ. සිය  දේශපාලන අරමුණු ජයග‍්‍රහණය කරවීම සදහා හරි වැරැද්ද පෙනි පෙනි සියල්ලට විරෝධය දැක්වීම අතීතයේ සිටම අප රටේ සිදු වි ඇති අතර එයින් ඇති වු හානියද සුළු පටු නොවේ.

උතුරේ ජනතාවගේ සාධාරණ ප‍්‍රශ්නවලට විසදුම් ලබා දීම බහුතරය නියෝජනය කරන දකුණේ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමකි. උතුරේ ජනතාවට දකුණේ රාජ්‍යයන්ගෙන් සාධාරණය ඉටු නොවු බව කාලයක් තිස්සේ මුල් බැස ගත් අදහසකි. දෙමළ දේශපාලඥයින්ද  සිය  බලය තහවුරු කර ගැනිමේදි මේ අදහස උතුරේ ජනතාව වෙත ඒතතු ගැන්වුහ. 1948 මෙරටට නිදහස ලැබිමට පෙර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ ජාතිකයන් එක්ව රටේ නිදහස වෙනුවෙන් සටන් කළහ.

නිදහසින් පසු බලයට පත්වු ඞී.එස්. සේනානායක මැතිතුමා උතුරේ ජනතාවට ගැටලුවක් වු ජල ප‍්‍රශ්නයට විසදුම් ලබාදෙමින් ගොවි ජනපද ඇති කළේ ශ‍්‍රි ලාංකික ජනතාව සියලූ දෙනා එකට එක්ව කටයුතු කළ බැවිනි. එහෙත් වරින් වර බලයට පැමිණි පිරිස් මෙන්ම උතුරේ දේශපාලකයින් උතුරේ ජනතා ප‍්‍රශ්නවලට නිසි විසදුම් ලබා නොදිම නිසා වසර 30 ක යුද්ධයක් දක්වා මෙම ගැටලුව වර්ධනය විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුද්ධය අවසන් කළේ මුඵ රටටම සහනයක් ලබා දෙමිනි. එහෙත් උතුරේ ජනතාවට මෙය ඔවුන්ගේ ජයග‍්‍රහණයක් ලෙස සිතන්නට නොහැකි වුයේ වසර ගණනාවක්ම ඔවුන් යුද්ධය සමග ජිවත් වු බැවිනි. මේ තත්වය තුළ උතුරේ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණ බව එත්තු ගැන්වීමට ඇතැම් දෙමළ දේශපාලන නායකයින්ද කටයුතු නොකළා නොවේ.

රටේ ඒකියභාවය ගැන කතා කරන අප උතුරට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදෙන්නේ නම් ජනතා ප‍්‍රශ්නවලට කන් නොදෙන්නේ නම් අසාධාරණයකි. රජය මගින් මෙවැනි තත්වයන් දිගින් දිගටම කල් දමන විට වෙන්වී යාමට ජනතාව පෙළ ගැස්වීමට දේශපාලන නායකයින්ට හැකියාව ඇත.

1977 මැතිවරණ සමයේ එවකට උතුරේ ප‍්‍රධාන අපේක්ෂකයා වු අමිර්ත ලිංගම් ඇතුඵ කණ්ඩායම සිංහල විරෝධි සටන් පාඨ මැතිවරණවලට යොදා ගත් බව වාර්තා විය. ඒ තුළින් ඔහු ජයග‍්‍රහණය කර විපක්ෂ නායක ධුරයට ද පත් විය. අවසානයේ තම අනුගාමිකයින්ගේම වෙඩි පහරට ලක් වීම දෛවයේ සරදමකි.

 ජාතිය, ආගම, වර්ගවාදය, කුල ග්‍රෝත‍්‍ර වාදය ජනතාව විනාශ කිරිමේ ගිණිසිළු බවට පත් කර ගත යුතු නැත. ඉදිරි වසර ගණනාවකට රටේ උපදින දරු පරම්පරාව සමග රට සුරක්ෂිත වන සාමකාමි පරිසරයක් ගොඩ නගා ගැනිමට සියලු දෙනා ඒකරාශි විය යුතුය. වර්තමානයේ බලයේ සිටින ප‍්‍රධාන පක්ෂ දෙකට ඒ සදහා හොද අවස්ථාවක් උදා වි ඇත.

රජයේ යහපත් කාර්යයන් සදහා සහය දෙන කණ්ඩායමේ බහුතරය ද මේ සදහා එකගතාවය පල කර ඇත. ගෙන එන නව ව්‍යවස්ථාව තුළින් පෞද්ගලිකව එකිනෙකාගේ බලය තහවුරු වීමට වඩා ජනතාවගේ නොවිසදුන ප‍්‍රශ්නවලට විසදුම් ලැබිමත් සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විමත් තහවුරු විය යුතුය. කෙසේ වෙතත් මේ බලතල අනිත් ජාතින් යටපත් කිරිමට හෝ ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනිමට නොයෙදිය යුතුය. දකුණේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාව සහජිවනයෙන් වර්තමානයේ කටයුතු කරති.

වාද භේද වැඩි වන තරමට ඒ ඒ  ජාතින් තම සීමාවන් තුළ කොටුවීම රටේ ආර්ථික, සාමාජික, සහජීවනයට විශාල බාධාවකි. මේ තත්වය තේරුම් ගැනිමට උතුරේ දේශපාලන නායකයින්ද නිහතමානි විය යුතුය.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පාරම්පරික සිංහල මුස්ලිම් ජනතාවටද සිය  වෙළද ව්‍යාපර පවත්වා ගැනිමේ ඉඩකඩ ලැබිය යුතුය. යුද්ධය ආරම්භ විමට පෙර දකුණේ ප‍්‍රදේශවල දෙමල රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් සිටියා සේම, උතුරේද සිංහල රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් කටයුතු කළ අතර අවාහ විවාහ කටයුතු පවා සිදුවිම රටට ආශිර්වාදයක් මිස ව්‍යසනයක්  නොවිය. සිංහල ජනතාව දෙමළ බසත් දෙමල ජනතාව සිංහල බසත් ඉගෙනීම තුළ ඔවුනොවුන් අතර සැකය අවිශ්වාදය ඈත්ව යනු ඇත.

රටේ විවිධ බලවේග ඉස්මතු වි විරෝධතා ව්‍යාපාර ඇති කරන්නට රජයේ වැඩ පිළිවෙළ අවස්ථාවක් නොවිය යුතුය. වසර 02 ක් තිස්සේ සාකච්ඡා සම්මන්ත‍්‍රණ පවත්වා රැස් කළ කරුණු සියලූ දෙනාටම පිළිගත හැකි ලෙස ගොනු කර කෙටුම්පත් කර එය මහ නායක ස්වාමීන් වහන්සේලාටත්, අන්‍ය ආගමික පුජකතුමන්ලාටත් පැහැදිලි කර දීම රජයේ වගකීමකි.

එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් රටේ ස්ථාවර භාවය ආරක්ෂා වන විකල්ප ක‍්‍රමවේදයක් සැකසිය යුතුය. සියලූ ජාතින්ගේ නියෝජනයන් සහිත ජනතාවට වග කියන මන්ත‍්‍රීවරුන් තේරීපත් වන මැතිවරණ ක‍්‍රමයක් මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට සාධාරණවුත් දීර්ඝ කාලීනවුත් විසදුම් ලැබෙන ව්‍යවස්ථාවක් විය යුතුය.

මේ යාථාර්තය සිංහල දෙමළ මුස්ලිම් සියලූම ජාතින් මෙන්ම දේශපාලන නායකයින්ද තේරුම් ගත යුතුය. අතීතයේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඩඞ්ලි- චෙල්වනායගම් ගිවිසුම ගෙන එන විටත් මෑත භාගයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් ගෙනෙන විට එක්සත් ජාතික පක්ෂය විරෝධය දැක්වුවා සේ මෙම අවස්ථාවේදිත් ඇති වන විරෝධතා සම්පුර්ණ ව්‍යවස්ථා අහෝසි කිරිමට වඩා අඩුපාඩු සකසා ගෙන ජනතා ප‍්‍රශ්නවලට විසදුම් ලැබෙන සාධාරණ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වර්තමාන පාර්ලිමේන්තුවේ අභිප‍්‍රාය විය යුතුය. ඉදිරියේ සිය  කණ්ඩායමට හෝ සිය  පක්ෂයට ලැබෙන ජය හෝ පරාජයට වඩා රටේ ජනතාවට ලැබෙන ජයග‍්‍රහණය පිළිබදව අවධානය යොමු කිරිමෙන් රටට සාධාරණ ව්‍යවස්ථාවක් ලබා දීමට හැකි වනු ඇත.

(සෝමදාස කන්දෙගේ)

 

Advertiesment