Monday 4th of May 2026

English Tamil
Advertiesment


“මෛත්‍රී-මහින්ද” හවුල ගෝඨාට ජනපති නියත විවරණය දෙයි..!


2019-01-16 14856

ගෝඨාභය රාජපක්ෂ-ඩොනල්ඩ් ට්‍රම්ප් රහස් හමුවක..!

දයාසිරි මහින්දගෙන් සමාව ගනී..!

ඩඩ්ලි මැදිරිගිරියෙන්-චතුරිකා පොළොන්නරුවෙන් කරළියට..!

කිසිම ජන මාධ්‍යක් නොදන්නා “මෛත්‍රී-මහින්ද” තිරය පිටු පස කතාව මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකාබද්ධ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන්න පිළිබඳව වගේම ඉදිරි දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අවසන් එකඟතාවයකට පැමිණ සිටින බව එම දෙපාර්ශවයටම ඉතාම සමීප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයින් තිදෙනෙක් “lankanewsweek” සමග පැවසූහ.

ඒ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ද එම ප්‍රකාශකයින් තිදෙනා තහවුරු කර සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සියලු කරුණු කාරණා සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සූදානම් වන ලෙසට ඔහුට දැනුම් දී තිබෙන්නේ ද හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය.

ජනවාරි මස දොළොස් වැනි සෙනසුරාදා කොළඹදී පැවති “වියත් මඟ” සංවිධානයේ වාර්ෂික සුහද හමුවේදී,එම අවස්ථාවට එක්ව සිටී වෘත්තීයවේදීන් “ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා දැයි” විමසූ අවස්ථාවේදී “ඔබලා සුදානම් නම් මමත් සුදානම්” යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා තමා දේශපාලනයට පැමිණෙන බවට නිල වශයෙන් පළමු වතාවට ප්‍රසිද්ධියේ ඉඟි පළ කළේ මේ පසුබිම යටතේය.

තත්ත්වය එසේ නම් ජනාධිපතිවරයාත් විපක්ෂ නායකවරයාත් අතර අවබෝධයක් සහ එකඟතාවයක් නොමැති අතර දෙපාර්ශවය අතර විවිධ ප්‍රශ්න තිබෙන බවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා  බවටත්,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂ,චමල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර සීතල යුද්ධයක් පවතින බවටත් වන ප්‍රවෘත්ති එම දෙපාර්ශවය විසින්ම ඒ අයට හිතවත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද “පැළ” කරමින් (News Plant) ප්‍රචාරයක් ගෙන යන්නේ මන්දැයි “lankanewsweek” එම ප්‍රකාශකයින්ගෙන් විමසා සිටියේය.

එහිදී එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයින් තිදෙනා අවධාරණය කර සිටියේ දේශපාලන විරුද්ධවාදීන් නොමඟ යැවීමේ අරමුණින් එම ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදු වනවා විය හැකි බවය.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර තිබෙන පොදු එකඟතාවයට,අවබෝධයට සහ විශ්වාසයට හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මීට දින කිහිපයකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට දෝෂාරෝපණය කිරීම යැයි ද එම ප්‍රකාශකයින් තිදෙනා පෙන්වා දුන්හ.

එහිදී  තමා එම ප්‍රකාශය කළේ හිතාමතා නොව ජනමාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී,තමාට ඉබේටම වගේ ඒ කතාව කිය වුණු බව ජනාධිපතිවරයා හමුවේ කියා සිටී දයාසිරි ජයසේකර මහතා, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඒ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත් බව ද එම තිදෙනා තහවුරු කර සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ දුරට දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇතැයි ද,ඊට සමගාමීව ඉදරි මහා මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ,මැදිරිගිරිය ආසනයෙන් ද,දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය එම දිස්ත්‍රික්කයේම පොළොන්නරුව ආසනයෙන් ද, ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ඔවුහූ තහවුරු කළහ.

එමෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුණාට පසුව ඩඩ්ලි සිරිසේන මහතාට නව ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් ලබා දෙනු ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයින් තිදෙනා විශ්වාසය පළ කළහ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පෞද්ගලිකව තමාට අතිශය සමීප පිරිසක් සමග පොළොන්නරුව සිය නිවසේදී කළ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරණයකට යළි තරඟ කිරීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති අතර රට-ජනතාව වෙනුවෙන් කිරීමට ඉතිරිව තිබෙන වැඩ කොටස ඉක්මනින් අවසන් කිරීම සිය අරමුණ බව අඟවා තිබූ අතර එම ප්‍රවෘත්තිය 2019 ජනවාරි 04 වැනිදා “lankanewsweek” වාර්තා කළේ, ජනපති-අගමැති “නයි-මුගටි” ගැටුම අවසන් යන ශීර්ෂය යටතේය.

මේ අතර 2018 දෙසැම්බර් මස 12 වැනිදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණියේ 2019 ජනවාරි මස 11 වැනිදා රාත්‍රියේය.

මේ කාලය ඇතුළතදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෞද්ගලික සම්බන්ධතාවයක් මාර්ගයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පුද්ගලිකව හමුවී විශේෂ සාකච්ඡාවක් කළ බව විදේශ තානාපති අංශ ඔත්තු සේවා “lankanewsweek” වෙත තහවුරු කර සිටියේය.

සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරණයට පෙර සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීම සඳහා ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාරදීමට විශේෂ දිවුරුම් ප්‍රකාශයක් ඇතුළු ලිපි ගොනු මේ වන විට සකස් කරමින් සිටින්නේ එම සාකච්ඡාවේදී ඇති කර ගත් එකඟත්වය සහ අවබෝධය අනුවය.  

 
Advertiesment