Thursday 9th of July 2026

English Tamil
Advertiesment


ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් දිය යුතුයි


2026-07-09 1251


සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපති උපදෙස් දෙයි 

 

පැවති රජයන් යටතේ ප්‍රාග්ධන වියදම් නතර කර තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි ක්‍රියාත්මකයි

 

 

හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ බදාදා (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා "ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන" ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති එක් එක් අංශ මගින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූණු අතර 2027 වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා විය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් විද්‍යාත්මක පදනමක් සහිත උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, රෝහල් පද්ධතිය තුළ සිදු කළ යුතු නව තාක්ෂණික පරිවර්තනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, තාක්ෂණික වශයෙන් දියුණු පහසුකම් දිවයින පුරා ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය සේවාව ගුණාත්මක වශයෙන් පියවරකින් ඉහළට ඔසවා තැබීමට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙමගින් රජයේ රෝහල් පද්ධතියෙන් ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් ලබා ගත හැකි බවත්, පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී දැරීමට සිදු වන අධික වැය බර අවම කරගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සුවසැරිය සේවාව ශක්තිමත් කිරීම මෙන්ම, රෝහල් සඳහා ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ සහිත ගිලන් රථ පමණක් එක් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කරනු ලැබීම නිසා අතරමග නතර වී තිබූ මොණරාගල දිස්ත්‍රික් රෝහලේ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය, ත්‍රිකුණාමලය, අම්පාර, හලාවත රෝහල්වල හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් වත්මන් රජය යටතේ යළි ආරම්භ කර ඇති බවත්, ඒ සමඟ මේ වන විට ඉදිකිරීම් ව්‍යාපෘති 48ක කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සහතික කිරීම සඳහා ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධව පවතින ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම පිළිබඳවත්, ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම මෙන්ම UNDP - UNICEF වැනි ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය යටතේ "පේෂන්ට් හෙල්ත් ඇප්" (Patient Health App), ටෙලි මෙඩිසින් (Tele-medicine) සහ රෝගීන්ගේ වාර්තා ඕනෑම රෝහලකින් ලබා ගත හැකි ඒකාබද්ධ ජාලයක් (National Electronic Health Record) ස්ථාපිත කිරීමේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

සෞඛ්‍ය සේවයේ විධිමත් කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදු කිරීමටත්, එය සිදු කරන අතරතුර නවක වෛද්‍යවරු මුහුණ දෙන ගැටළු විසඳීම පිළිබඳවත්, සෞඛ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් පිළිබඳ ගැටළු මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය විය.

රජයේ චිත්‍රපටි අංශයට භෞතික සම්පත් ලබා දීම, මාධ්‍යවේදී පුහුණු වැඩසටහන් සහ පාසල් මාධ්‍ය සමාජ බිහි කිරීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී විමසා බැලුණු අතර සියලු මාධ්‍යවේදීන්ට සහ රජයට තොරතුරු හුවමාරු කර ගත හැකි විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට වන යෝජනාව පිළිබඳවද අවධානය යොමු විය.

තවද, පවතින පැරණි ක්‍රමවේදවලින් මිදී තැපැල් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Advertiesment