පළමු දවසේ සිද්ධියෙන් පස්සේ සාමකාමී තත්වයට පත් ව තිබූ මීගමුව බන්ධනාගාරයට පැනලා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයමු නිසා තමයි ජූලි 7 දින අවසනාවන්ත සිදුවීම ඇතිවුනේ. ලෝකයේ කිසිම රටක ශිෂ්ඨ බලධාරීන් රාජ්‍යය භාරයේ ඉන්න හිරකරුවන්ට ‘ඕපන් ෆයර් කරන්නේ නෑ’. පොලිස් නිලධාරියෙක් අර පුංචි කවුලුවෙන් ඇතුලට තිබ්බ වෙඩිවලින් තමයි ඔය මැරුණු බහුතරයක් රැඳවියන් මිය ගිහින් තියෙන්නේ. ලෝකයම විඩියෝ මගින් මේ මිලේච්ඡත්වය දැක්කා. නින්දිත වෙඩි තැබීම් දැක්කා. මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය අශිෂ්ඨයි. මිලේච්ඡයි.නින්දිතයි. Free Lawyers සංවිධානය මේ සිද්ධිය දැඩිව හෙළා දකිනවා යැයි එහි ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
කොළඹ මල් පාරේ අඟහරුවාදා (07) පැවති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් රජිත් තෙන්නකෝන් මහතා පැවසූවේ, 2026 ජූලි 3 දිනට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් 41,250 ක් හිටියා. එයින් කොටසක් සිරදඩුවම් විදින අච්චුකරුවෝ. තවත් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන රාජ්‍යය භාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන්. හිර ගෙවල්වල උපරිම ධාරිතාවය 13,241 යි. ඒ කියන්නේ 215% ක් වැඩිපුර හිරකාරයෝ ඉන්නවා. මෑත කාලීන ප්‍රවණතාවය තමයි, මේ තියෙන සීමිත හිර ගෙවල්වලට අසීමිත පිරිසක් රිමාන්ඩ් කිරීම. පොලීසිය කිසිම හේතුවක් නැතිව ඇපදීමට විරුද්ධ වෙනවා.
අල්ලස් කොමිසම කිසිම හේතුවක් නැතිව අධිකරණයට ඉදිරිපත් කරන සෑම සැකකරුවෙකුටම වාගේ ඇපදීමට එරෙහි වෙනවා. රිමාන්ඩ් කිරීම දඩුවමක් ලෙස ක්‍රියාත්මක වන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. ඇප ලබාදීම යනු රීතියයි, ඇප නොදී රඳවා ගැනීම ව්‍යතිරේකයයි. හැබැයි අද සිදු වන්නේ මෙහි අනිත් පැත්ත. සෑම පුද්ගලයෙකුම රිමාන්ඩ් කිරීම සාමාන්‍ය ව්‍යවහාරය බවට පසුගිය වසර දෙක තුල පත්වෙලා තියෙනවා.
අද වෙනකොට රැඳවියන්ගෙන් 73.8% ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නේ. එකෙන් පේනවා, ඇප ලබා දෙන්න පුළුවන් වැරදිවලට රිමාන්ඩ් බන්ධනාගාර පුරවලා තියෙන බව. මේක පටන්ගත්තේ දේශබන්ධු තෙන්නකෝන් ගේ කාලයේ. මේ ආණ්ඩුව ඒක දිගටම කරගෙන යනවා.
පසුගිය වසරක කාලය තුල අධිකරණ කේෂ්ත්‍රයේ, පොලිස් කේෂ්ත්‍රයේ, බන්ධනාගාර කේෂ්ත්‍රයට සිදුවී තෙයෙන ලොකුම නස්පැත්තිය තමයි කිසිම සාධාරණ හේතුවක් නැතිව ඇපදීමට විරුද්ධවීම. අධිකරණයේ උසස්වීම් ගන්න නම් වැඩිම ප්‍රමාණයක් හිරේ දාන්න ඕනි කියන තැනකට මතයක් අධිකරණය, පොලීසිය, ආණ්ඩුවේ දේශපාලනඥයින් අතර ඇති වෙලා තියෙනවා.
පොලීසියත් හිතනවා වැඩිම පිරිසක් හිරේ දැම්මාම තමන්ට උසස්වීමක් ගන්න පුලුවන් කියලා. පොලීසිය කියන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුවට අදහසක් තිබිය යුතුයි, හිර ගෙවල්වල ධාරිතාවය කුමක් ද කියලා. ආණ්ඩුව හිර ගෙවල්වල ගාල් කරන රැඳවියන් සංඛ්‍යාව උපරිමය කරන්න තීරණය කරලා තියෙනව බව ඉතා පැහැදිලියි. එහෙනම් බන්ධනාගාරවල ඉඩ වැඩි කළ යුතුයි.
ඔය සිය ගණන් වහන පාසල්ටික වත් බන්ධනාගාර බවට පත් කළ යුතුයි. ආණ්ඩුව ඉස්කොළ වහනවා. බන්ධනාගාර පුරවනවා. මේ ආණ්ඩුවේ මුලික සටන් පාඨය තමයි හොරු අල්ලනවා කියලා පුද්ගලයින් රිමාන්ඩ් කරන එක. මිනිහෙක් අල්ලගෙන එනවා. උසාවි දානවා. ඇප දෙන්න විරුද්ධ වෙනවා. හිරේ දානවා. ඊට පස්සේ සාක්කි හොයන්න ඇප නොදී කල් ගන්නවා.
අධිකරණයත් පොලීසියක් එකතුවෙලා මිනිස්සු හිරේදාන ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියනවා. කවුද මේ හිරේ දාන්නේ..? භික්ෂූන් වහන්සේ ලා හිරේ. හමුදාව හිරේ. නාවික හමුදාව හිරේ. ගුවන් හමුදාව හිරේ. පොලීසියත් හිරේ. රාජ්‍ය නිලධාරි සිය ගානක් හිරේ. ව්‍යාපාරිකයෝ හිරේ. දේශපාලනඥයෝ හිරේ.
අනෙක් අතට, අද බන්ධනාගාර පීරි තියෙන්නේ 1984 අංක 13 දරණ විෂ අබිං සහ මත්ද්‍රව්‍ය පනතේ 54 වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තියෙන අය. අපි කියනවා 54 න් දාලා ඇප නොදී ඉන්නවා කියලා. විශ්වාස කරන්න අර හිටපු විකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ කුඩු නාට්ටිය යටතේ අත්අඩංගුවට ගත්ත කුඩු දාලා ආත්අඩංගුවට ගත්ත මිනිස්සු පවා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගන්නේ නැතුව ඉන්නවා.
අද බන්ධනාගාර පිරිලා ඉතිරිලා තියෙන්නේ 54 ගහලා දාපු මිනිස්සුන්ගෙන්. රස පරීක්ෂක වාර්තා නැති නිසා ඉන්න මිනිස්සුන්ගෙන්. රස පරීක්ෂක වාර්තා ආවාම තමයි දන්නේ මේවා පාන්පිටි, පැනඩොල් පෙති කුඩු දාලා තමයි මිනිස්සු මාස ගණන් ඇප නැතිව තියා ගෙන ඉන්නේ කියලා.
මේ ඝාතනවලට බොරුවට 54 ගහලා ඇප දෙන්න බැරි කරපු පොලීසිය වගකියන්න ඕනි. රස පරීක්ෂක වාර්තා නැතිව මාස 3 ක් හිරේ ඉන්න 6,336 ක් ඉන්නවා. මාස 3 – 6 ඉන්න 4,904 ක් ඉන්නවා. මාස 6 -12 අතර ඉන්න 3.706 ක් ඉන්නවා.අවුරුද්දට වැඩි 728 ක් ඉන්නවා.
ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමධ්‍යගත කරනවා කියලා. කරලාද..? නෑ. අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු 121 ක් පුරප්පාඩුයි. මේක තමයි මේ තදබදයට හේතුව. රස පරීක්ෂකලා බදවා ගන්නේ නැතුව අධිකරණ ඇමති බයිලා කියනවා.
අච්චු සිරකරුවන්ට බන්ධනාගාර හදනවා කිව්වා. හැදුවද..? නෑ. මැතිවරණ පොරොන්දු කිසිවක් ඉටු කරන්නේ නෑ. ඒ වෙනුවට, වැඩිම පිරිසක් කිසිම සාධාරණ හේතුවක් නැතිව හිරේ දාලා මාධ්‍ය සංදර්ශන දානවා. අද වැරදිකරුවෝ වෙලා ඉන්න 43%ක් දඩ ගෙවා ගන්න බැරුව හිරේ ඉන්නේ. අන්ත අසරණ දුප්පත් මිනිස්සු.
අධිකරණ ඇමතිවරයා හදිසියකට හොයා ගන්න බෑ. මොකවත් දන්නේ නෑ. එයා මරණ ගාන හොයාගන්නේ සමාජ මාධ්‍ය වලින්. එයා දැන් සතියක් අගවිනිසුරුගේ කාලය දීර්ඝ කරන්න විශ්‍රාමලත් විනිසුරුවන් සමඟ කුමන්ත්‍රණය කරනවා. ඇමතිට බන්ධනාගාර ගැන බලවන්න වෙළාවක් නෑ. එයාගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරලා, අගවිනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම. අධිකරණ ඇමති දැන් කියනවා, වගකීම බාරගන්නවා කියලා. ඇමතිට වගවීමක් නැද්ද? වගවීමක් තියෙනවා නම්, ඔහු වහාම ඉල්ලා අස්විය යුතුයි.
තත්වය පාලනය කරපු හිරගෙදරයක් ජූලි 6 වෙනිදා උදේ තිබුණේ. කාගේ හෝ මැදිහත්වීමකින් බන්ධනාගාර බුද්ධි අංශ කියලා 30 ක කණ්ඩායමක් ඊයේ උදේ මීගමුවට එව්වා. ඒ අය තමයි මැදට පැනලා කලබල කළේ. ඒ අයගෙන් පිරිසක් තමයි ඝාතනයට ලක් වුණේ. ඒ ආපු 30 න් 22 ක් තුවාල ලබලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් ගිහින් තමයි මේ ඝාතන වැලට හේතු වූ සිද්ධිය ඇතිකරගෙන තියෙන්නේ.
Lanka Newsweek © 2026