Thursday 2nd of July 2026

English Tamil
Advertiesment


සංස්කෘතික නියඟය සහ දේශපාලන නායකයෝ


2026-07-02 1247

 

-(නන්දන වීරරත්න )

 

කලා භවන හෙවත් ජාතික කලාගාරය වසා අවුරුදු 16 ගෙවෙන බවට චෝදනා හා විලාප ඇසෙන්නට අරන් සෑහෙන කාලයක්. අවුරුදු 16 කියන්නේ පරම්පරාවක්. කලාව හදාරන දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් පරම්පරා තුනක්. රටක කලා ඉතිහාසයෙන් වසර 16ක් ජාතික කලාගාරය වසා දැමීම කියන්නේ සංස්කෘතික ඝාතකයන්ගේ ජයග්‍රහණයක්. එහෙම දෙයක් අපිට ඉතිහාසයේ අහන්න ලැබෙන්නේ කාලිංග මාඝ යුගයේ පමණයි. එහෙත් නූතන කාලිංග මාඝයන් මේ අපරාධය කර ජාතික වීරයන් වීම තමා මේ සංස්කෘතික ඝාතනයේ විපරීතය. මාලිමා ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගෙවෙන තැනත් එහි නායකයන් ජාතික සංස්කෘතිය යනු පංසල්වලට යමින් භික්ෂු වන්දනා කිරීම බව විශ්වාස කරන බවක් පෙනෙන්නට තියෙනව.

පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ දී අපි මේ විනාශය කරා එන්න සෑහෙන කාලයක් ගත්ත. ඒක බොහොම සියුම් ව හා අවධානයකින් තොරවයි කෙරුණේ. එහි කැපී පෙනෙනම සිදුවීම 1952 දී, සංගීතඥයකු හා ජනප්‍රිය ගායකයකු වූ සුනිල් සාන්තට රටේ තිබූ ගුවන් විදුලියේ දොර වැසීම. නව ලාංකේය සංගීත සම්ප්‍රදායකට පුරෝගාමී වෙමින් සිටි ඔහු කලා ලෝකයෙන් පිටමං කිරීම ඔහුට කළ අපරාධයකට වඩා සංස්කෘතික ඝාතනයක් විදිහටයි මම ගන්නේ.

ඉහත සංස්කෘතික ඝාතනයේ නායකයන් කල දෙවන අපරාධය කොළඹ යුගයේ කවිය ගර්හිත කවියක් ලෙස සරසවි අධ්‍යාපනය හරහා තහවුරු කිරීම. මේ ක​වි රසවින්දේත්, කවියන්ගේ අනුග්‍රාහකයන් වූයේත් දිළින්දන්. සාමාන්‍ය ජන ජීවිතය සංස්කෘතික නියඟයකට යන්න තවත් හේතුවක් වුණේ 1980 දශකයේ ආරම්භයේ සිනමාහල් නඩත්තු කළ ‘ගැලරිය’ හෙවත් අඩු මුදලකට දිළින්දන්ට සිනමාව රසවිදීමට තිබූ එකම මාර්ගය වසා දැමීම.

එතැන් පටන් විටින් විට විවිධ දේශපාලන පක්ෂවල පාලනයන් පවතිද්දී ගායකයන්ට, සංගීතඥයන්ට රටේ එකම ගුවන් විදුලිය වූ ආණ්ඩුවේ ගුවන් විදුලිය තහනම් වුණා. පොත් හා නාට්‍ය තහනම් වුණා. චිත්‍රපට වාරණය වුණා. නාට්‍යකරුවන් ඝාතනය කළා. මේවා සිදුවෙද්දී සංස්කෘතික මිනිසා සිටියේ කොතැනක ද..? කලා රසිකයන් වූ දේශපාලන නායකයන් අතලොස්සක් ගන පමණයි අපිට මේ ඉතිහාසය තුල අසන්නට ලැබෙන්නේ. එයින් කැපී පෙනෙන කීප දෙනෙක් ගැන ලියන්න ඕන.

ප්‍රේමසිරි කේමදාසගේ ජීවිත වෘත්තාන්තය අනුව 1960 දශකයේ මුල ඔහුට සංගීත සංධවනියක් කිරීමට පුද්ගලික ඇරයුමක් එන්නේ මුලින්ම එන්නේ එවකට කොමියුනිස්ට් පක්ෂයේ [චීන පිල] නායක එන්. ශන්මුගදාසන් ගෙන්. ශන්ගේ දුව [හදාවඩා ගත් දුව] විවාහ වෙන දවසේ ගාලු මුවදොර හෝටලයේ පැවති මංගල උත්ස්වයේ දී සංගීත සංධවනියක් ඉදිරිපත් කරන්න ෂන් ගෙන් කේමදාසට ඇරයුම් ලැබෙනවා. එය තමා කේමදාසගේ පළමු ප්‍රකට සංගීත සංධවනිය. ෂන් එවකට චීන නායකයා වූ මා ඕ සේතුන්ගේ සමීප මිතුරෙකු නිසා බීජීං ගිය විට චීන ඔපෙ​රා දැක මේ ඇරයුම කරන්නට ඇතැයි මම සැක කරනව.

මට මේ යුගයේ සිටි සංස්කෘතිකම මිනිසා හමුවෙන්නේ කේමදාසගේම ප්‍රසංගයක දී. ඔහු 1970 – 75 මුදල් ඇමැති, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා. 1970 දශකයේ මුල කේමදාස ඔහුගේ ප්‍රසංගයක් බැලීමට ඇරයුම් කරන්නට මුදල් අමාත්‍යාංශයට යනව. ඔහු සෑහෙන වෙලාවක් ඇමැති කාඹරය අසල රස්තියාදු වුණත් සෙසු අමුත්තන් නිසා ඇරයුම්පත ඇන්. ඇම්. ගේ අතට දෙන්න බරි වෙනව. කොහොමත් ඉක්මනින් කෝපයට පත් වෙන කේමදාස තමා ගෙනා ඇරයුම්පත ගුලි කර ඇමැති කාඹරයේ වවුල් දොරට උඩින් වීසි කරනව. කේන්තියෙන් පුපුරමින් ආපසු යනව.

කතාව මෙතනින් අවසන් වෙන්නේ නෑ. ප්‍රසංගය දවසේ ඇන්. ඇම්. අර ගුලි කර දමා ගැසූ ආරාධනා පත්‍රයත් අරගෙන ප්‍රසංගය බලා අවසානයේ කේමදාසට පුද්ගලිකවම සුබ පතා යනව. මගේ තෙවැනි උදාහරනය මම සපුරාම විරුද්ධ එජාපයේ හිටපු නායකයකු වූ ඩඩ්ලි සේනානායක ගැන. ඩඩ්ලි සංස්කෘතික මිනිහෙක්. ඔහුගේ ප්‍රවෘත්ති ලේකම්වරු දෙදෙනෙක්ම රටේ හිටපු ප්‍රකට කවියෝ. එක්කෙනෙක් ශ්‍රී චන්ද්රරත්න මානවසිංහ. අනෙකා, හග්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න. මානවේ ගැන හුඟ දෙනෙක් දැන සිටයට පී.කේ.ඩී. ගැන වැඩි දෙනෙක් දන්නේ නා. ඔහු තමා ‘පරසතුමල්’ සිනමා සිත්තමේ තිර රචකයා. කවියට මතරව පී.කේ.ඩී. ජනප්‍රිය වූ චිත්‍රපට ගණනාවකට තිර පිටපත් රචනා කළා. ඩඩ්ලිගේ තවත් විශේෂයක් ඔහු පරාජිතව සිටි 1960 -65 යුගයේ මානවේගේ ගෙදරටම ගොසින් සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය ගැන ඉගෙනුම ලැබීම.  

 

- MID POINT - 
Advertiesment