අප රට මැතිවරණ කාලයේ දී සංවර්ධනයේ පාරාදීසයක් වන නමුත් බලය ලබා ගත් පසු බොරුවේ පාරාදීසයක් වන බවත් වත්මන් රජය මැතිවරණ සමයේ රාජ්‍ය සේවකයන්ට, මධ්‍යම පන්තියට, තරුණයන්ට ලක්ෂ 12ක විට්ස් කාර් එකක් ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ නිසා ඔවුන්ට බහුතර බලය ලැබූ බලයට පත් වුවත් අද වන විට රජයේ නිලධාරීන්ට සිදුව ඇත්තේ වැටුපෙන් කැපී යන ආකාරයට හාල් කිලෝ 20ක් ලබා ගැනීමට බවත් රජයේ නිලධාරීන් බොහෝ දෙනකු මේ ලක්ෂ 12 විට්ස් කාර් එකක් ලබා ගැනීමට සිහින මැව්වත් අද ඔවුන්ට ලබා ගැනීමට සිදුව ඇත්තේ හාල් කිලෝ 20ක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයට රු. 1,280,000ක් වටිනා Ro plant-ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.
තම විසින් ජනතාවට විවිධ දේවල් බෙදනවා වැඩි බවත් ඒවා රටට අවශ්‍ය නොවන බවත් රටට අවශ්‍ය ප්‍රතිපත්ති යැයි මඩ ගසමින යන බවත් ප්‍රතිපත්ති ගැන කතා කළත් අද වන විට වී ගොවියා අන්ත අසරණ කර ඇති බවත් කණකර උගස් කර ගිණි පොළියට මුදල් අරගෙන වගා කටයුතු කරන ගොවි ජනතාව වෙනුවෙන් ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරය නිසි පරිදි නොලැබෙන බවත් ඊට අමතරව පොහොර මිල වැඩි වීම, කලට වේලාවට නොලැබීම ආදී ගැටලු රැසක් ඇති බවත් කෘෂිරසායන මිල ඉහළ යාම මෙන්ම පාලන මිලක් නොමැති වීමත් ගොවි උපකරණ මිල ආදිය ද වැඩි වී ඇති බවත් මෙවැනි ගැටලු මැද නිෂ්පාදන කටයුතු සිදු කළත් අද වන විට ගොවියාට ස්ථාවර මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවට සහන ලබා දෙනවාට දෝෂාරෝපණය කරන අය මැතිවරණ කාලයේදී පමණක් සහන ගැන කතා කර ජනතාවගේ ඡන්දය අරගෙන තනතුරුවලට ගොස් අවසානයේ ජනතාව අතරමං කර ඇති බවත් කුඹුරට බැස වී කිලෝවක් සඳහා රු. 150ක සහන මිලක් දෙනවා කිව්වත් අදටත් එය නොමැති බවත් වී කිලෝවක් සඳහා ලැබෙන්නේ රු. 75ත් 80ත් අතර මිලක් බවත් අද වීවලට ස්ථාවර මිලක් නොලැබීම නිසා ගොවියා මහපාරට බැස්ස පසු ගොවියා කසිප්පුකාරයෝ ලෙස හංවඩු ගහන බවත් ඡන්දය ගන්න තුරු ගොවියා දෙවියා වුනත් ඡන්දෙන් පසු ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මොවුන් මේ උත්සාහ කරන්නේ අප රටේ ශිෂ්ටාචාරයට බද්ධ වූ ගොවිතැන රටින් ඉවත් කර කෘෂිකර්මාන්තය විනාශ කිරීමට බවත් රටක් දියුණු වෙන්න නම් කර්මාන්ත දියුණු විය යුතු වුවත් ඒ හා සමානව සේවා, සංචාරක හා කෘෂිකර්මාන්තය ලබා දිය යුතු දිරිය ශක්තිය ද ලබා දිය යුතු බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 ක්‍රියාත්මක කරන විට පවා කෘෂිකාර්මික විප්ලවය සිදු කළමුත් අද 2/3 සහ 159ක බහුතරයක් සහිත වත්මන් රජයට අද ජනතාවට වූ පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්දය යනු සමාජ ගිවිසුමක් බැවින් එය කඩකළ නොහැකි බවත් මේ රජය විරුද්ධ පක්ෂයේ සිටින විට පනතක් හරහා වී සඳහා ස්ථාවර මිලක් නියම කරන බව පැවසුවත් අද වන විට ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් මෙය රට මුහුණ දෙන ඛේදවාචකයක් බවත් රටට අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය, සේවය, සහනය සහ සුබසාධනය වුවත් අද රටේ ඇත්තේ විවිධ මාධ්‍ය උපක්‍රම හරහා සංවර්ධනයට, සේවයට, සුබසාධනය සිදු කරන්නේ නම් පහර පිට පහර ගැසීම බවත් ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට විපක්ෂය කරන සේවාවට මඩ ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
76 වසරක් රටේ සේවාවක් වූයේ ජනතාවගේ බදු මුදලින් වුවත් ප්‍රථම වරට විපක්ෂයෙන් රටට ජනතාවට සේවාවක් සිදු කළේ සමගි ජන බලවේගය බවත් එතෙක් පැවැති සම්ප්‍රදාය වෙනස් කර නව ආකාරයෙන් සිතන බලවේගයක් ලෙස රටට සේවාවක් ඉටු කළ බවත් මේ ඉටු කරන සේවාව ඉදිරියටත් සිදු කරන බවත් කවුරු උනන්දු නොවුවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට කැපවෙන බවත් ප්‍රායෝගික සැබෑ බෞද්ධයකු ලෙස තමා සෑම විට විහාරස්ථානයකට ආගමික සිද්ධස්ථානවලට අගයක් එකතු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026