Sunday 21st of June 2026

English Tamil
Advertiesment


පළාත් සභා තිබ්බොත් සජබයේ ජය නියතයි..!


2026-06-21 1248

 

රජය බල උන්මාදයෙන් කටයුතු කරන බවට චෝදනා

 

මහනායක හිමිවරුන් දැනුවත් කළ ජාතික වැඩසටහන

 

 
- විපක්ෂ නායක -

 

පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට අවශ්‍ය සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් රජය ජනතාව ලබා දුන් අසීමිත බලය තුළ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් යන බවත් දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව මොවුන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවත් ඉදිරි මැතිවරණවල දී කිසිම පාර්ශ්වයකට විශාල මන්ත්‍රී නියෝජනත්වයක් අවශ්‍ය නොවන බවත් සාමාන්‍ය සුළු බහුතරය පමණක් ප්‍රමාණවත් බවත් විශාල මන්ත්‍රී නියෝජනයක් ලැබුණු විට බල උන්මාදයෙන් කටයුතු කිරීම පමණක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී මල්වතු පාර්ශ්වයේ මහා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. ජුනි 23 වැනිදාට යෙදී ඇති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් විශාල ලෙස හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලක්ෂ 30ක වැඩි වටිනාකමක් ඇති හිමෝ ඩයලසීස් යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට ලබා දීමට මහනුවරට පැමිණ අතර එහි දී සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා දැවැන්ත ජාතික කථිකාවකත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගරුතර මහනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට ද විපක්ෂ නායකවරයා මෙහි දී කටයුතු කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රජය අද කටයුතු කරන්නේ බල උන්මාදයෙන් බවත් මොවුන් ප්‍රජාතන්ත්‍ර ක්‍රමවේදයෙන් බලය ලබා ගෙන අද ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ඇති බවත් තනි පක්ෂ පාලනයකට රට ගෙන යාමක් දක්නට ලැබෙන නිසා එයට ඉඩ තැබිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රජය වහා තෙල් සහ විදුලි බිල අඩු කළ යුතුයි

 

පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙරට දුගී දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙළ නිර්මාණය කර ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන බවත් අප රටේ ජන සමාජයේ සෑම අංශයකම සෑම ජන කොට්ඨාසයකම දුප්පත්කම වැඩි වී ඇති බවත් 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරා ගත නොහැකි වී ඇති බවත් මේ දුප්පත්කමෙන් ජනතාව මුදවා ගැනීම ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනතාවට තවදුරටත් බොරු නොකියා ජනතාවට සහන දෙන්න රජය කටයුතු කළ යුතු බවත් පකිස්ථානය පවා තෙල් මිල අඩු කර ඇති මොහොතක රජය ඇයි එය අඩු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් රජය තෙල් මිල සේම විදුලි බිල ද අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දි වැඩිදුරටත් පැවසීය.


අපි පළාත් සභා ඡන්දයට සූදානම්

 

සමගි ජන බලවේගය දිගින් දිගටම පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණයට සූදානම් නමුත් රජය ජනමතයට ඡන්දයට බිය නිසා පළාත් සභා මැතිවරණය නොපවත්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

අපි එකතු වන්නේ ප්‍රතිපත්ති මත මිස තනතුරු උන්මාදයෙන් නොවේ

 

එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය ලෙස එකට එකතු වන බවත් පක්ෂ දෙකේම අනන්‍යතාව සුරක්ෂිත කරමින් මේ ගමන ක්‍රියාත්මක කරන බවත් ජයග්‍රහණය ලබා ගැනීමට බහුතර ඡන්දයක් අවශ්‍ය බවත් ඒ සඳහා බහුතර විශ්වාසයක් අවශ්‍ය බවත් 2019 සහ 2024 දී ජනතාව බොරු සෝබනයට රැවටුණු බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පසුගිය මැතිවරණවල දී ආසන දිනාගත් ආකාරය මන්ත්‍රී ධුර ලබා ගත් ආකාරය හැමෝටම පෙනෙන බවත් ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සේම සියලු පක්ෂවලට සමගි ජන බලවේගය හා එක්විය හැකි බවත් මැද මාවතක් අනුගමනය කරන සමගි ජන බලවේගය සමඟ අන්තවාදී දේශපාලනයෙන් ඉවත්ව එක්වන ලෙසත් තනතුරු බෙදා ගැනීමේ සූදු ක්‍රියාත්මක නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment