Saturday 13th of June 2026

English Tamil
Advertiesment


අධ්‍යාපනයේ පවතින ගැටලු විසඳා ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීමට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත් කළ යුතුයි 


2026-06-13 1257

 

-  විපක්ෂ නායක - 

 

 

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන පදනම වුවත් වර්තමාන අධ්‍යාපන පද්ධතිය වාර්ෂික රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා සමඟ නොගැළපෙන, රැකියා ලබාගැනීමට අපහසු උපාධිධාරීන් දහස් ගණනක් බිහි කරන බවත් මෙහි දී කටපාඩම් අධ්‍යාපනය ඇතුළු පාසල් විෂය නිර්දේශවල නොගැළපීම සහ භාෂා අයිතිවාසිකම් දේශපාලනීකරණය වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

රටේ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් තිබුණත් ජාතික පාසල් සහ ප්‍රමුඛ පාසල් සීමිත සංඛ්‍යාවක් වැඩි සම්පත් සහ පහසුකම් භුක්ති විඳින බවත් බහුතර පාසල් තවමත් අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන බවත්  සුබසාධන රාජ්‍යයේ අරමුණ වූයේ අසමානතා අවම කිරීම වුවද, වර්තමානයේ එම පද්ධතිය තුළම විෂමතා තවදුරටත් පුළුල් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමට සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ තරඟකාරීත්වය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

AIIA වික්ටෝරියානු ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවක නියැලී සිටින මෙම නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන, ආර්ථික සහ සමාජීය භූ දර්ශනය පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත විය. දෙපාර්ශ්වය අතර ඇතිවූ මෙම සාකච්ඡා රටේ වත්මන් දේශපාලන පරිසරය, නැගී එන සමාජ ගතිකත්වය සහ දේශීය දේශපාලනයට විකාශනය වන ජාත්‍යන්තර වර්ධනයන්හි බලපෑම කෙරෙහි ද අවධානය යොමු කළේය.

මෙම ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ AIIA කවුන්සිලයේ සාමාජික සහ දකුණු ආසියානු වැඩසටහනේ සම-ප්‍රධානී ප්‍රකාශ් මිර්චාන්දනි සහ රිචඩ් අයන් විසිනි. මෙම නියෝජිත පිරිසට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විද්වතුන්, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් යනාදී පිරිසක් ඇතුළත් විය.

මෙම හමුව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග සහ අවස්ථා පිළිබඳ තම ඉදිරි දර්ශනය පැමිණ සිටි පිරිස සමඟ බෙදා ගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්කම, ආර්ථික ස්ථාවරත්වය, සමාජ සහජීවනය සහ ඵලදායී ජාත්‍යන්තර සම්බන්ධතාවය ද අවධාරණය කළේය.  තිරසාර සංවර්ධනය සහ පාලනය පිළිබඳ මහජන විශ්වාසය සහතික කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුකූලතාව සහ ආයතනික ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී අවධාරණය කළේය.

රට පුරා කළ පුළුල් අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන භූ දර්ශනය පිළිබඳ අවංක අදහස් හුවමාරුවක නිරත වීමට සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව නියෝජිත පිරිස අගය කළහ.
 

Advertiesment