ශ්‍රී ලංකාව සඳහා දැක්මක් ඇති නායකයකු වෙනුවෙන් විශාල ඇබෑර්තුවක් පවතී. රටක අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් හෝ නිශ්චිත අරමුණක් නොමැති පාලකයකු අතට බලය පත් වූ විට, ඒ රට අරාජික වීම වැළැක්විය නොහැක. අවාසනාවකට වගේ, අද අප මුහුණ දී සිටින්නේ ඒ මහා විනාශයට ය.
රටේත්, පොදු මහ ජනතාවගේත් ඉරණම අතිශය ශෝචනීය තත්ත්වයකට ඇද වැටී තිබේ. එහෙත් මෙහිදී ජනතාවට වරදක් පැට විය නොහැක. ඔවුන් සිදු කළේ ‘දැක්මක් ඇතැයි’ කියා ගත්, සාම්ප්‍රදායික තට්ටු මාරු දේශපාලන ක්‍රමයෙන් බැහැර වූ නව පිරිසක් කෙරෙහි විශ්වාසය තබා, අලුත් අත්හදා බැලීමක් සිදු කිරීම පමණි.
නමුත්, වත්මන් පාලනයට මේ අර්බුදයෙන් රට ගැල විය නොහැකි බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී අවසන්ය. කෙටියෙන් කිව හොත්, වත්මන් පාලකයන්ගේ ‘කථාව දෝලාවෙන් වුවද ගමන පයින්’ ය.
අතීතයේ අපේ රටේ ජනතාව කෙටි දුරක් වුවද ගමන් කළේ පයින් ය. පසුව, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වෙද්දී ජනතාව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි භාවිතයට හුරු වූහ. ශාරීරික ව්‍යායාම වෙනුවෙන් විනා, එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් කිලෝමීටර කිහිපයක් පයින් යන මිනිසුන් සොයා ගැනීම අතිශය දුෂ්කර විය. ජනතාව මෙවැනි පහසු ජීවන රටාවකට නැඹුරු වූයේ ත්‍රිරෝද රථ සේවාව බහුල වීමත්, එහි ගාස්තු සාපේක්ෂව දරා ගත හැකි මට්ටමක පැවතුණු නිසාත්ය.
ඉන්පසුව, දිනපතා ඉහළ යන ඉන්ධන මිල හමුවේ, දුප්පත්-පොහොසත් භේදයකින් තොරව සැමගේ පොදු ප්‍රවාහන මාධ්‍යය වූ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ ගියද, පයින් යාම නුහුරු වූ පාරිභෝගිකයෝ දැඩි අසීරුවෙන් හෝ එම මුදල දරමින් ත්‍රිරෝද රථවලම ගමන් කළහ.
නමුත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අහස උසට ඉහළ යන බඩු මිල හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු දරා ගත නොහැකි තරමටම අධික වී ඇති බැවින්, ජනතාවට දැන් නැවතත් පයින් යාමට සිදු වී තිබේ. පුදුමය නම්, පාලකයන් මෙහිදී ද තමන්ගේ අසාර්ථකභාවය වසා ගැනීමට අපූරු තර්ක ඉදිරිපත් කිරීමයි.
පයින් යාම ශරීරයට හිත කර බවත්, එමඟින් බෝ නොවන රෝග පාලනය වී රෝහල් තදබදය සේම රජයේ සෞඛ්‍ය වියදම් අඩු කර ගත හැකි බවත් ආණ්ඩුවේ ඇමැතිවරු පවසති. විදුලි ගාස්තු ඉහළ ගිය විට කුප්පි ලාම්පුවට මාරු වන ලෙස උපදෙස් දුන් ඇමැතිවරු ද අපට සිටිති. කුප්පි ලාම්පුවට වක්කරන භූමිතෙල් මිල ද අහස උසට නැග ඇති බව ඒ මහා ඇමැතිවරු නොදන්නවා විය හැක. කුප්පි ලාම්පුව වෙනුවට ඉටිපන්දමක් දැල්වූවා නම් මීට වඩා "ආතල් එකක්" ගත හැකි බව ඔවුන් කියනු ඇත.
මන්ද, මහා පරිමාණ සුඛෝපභෝගී හෝටල්වල විදුලිය තිබුණද, රාත්‍රී ආහාර මේසය මත රඳවා ඇත්තේ ඉටිපන්දමකි. ඉහළ පැලැන්තියේ අය ඊට "කැන්ඩල් ලයිට් ඩිනර්" (Candlelight Dinner) යැයි කියති. එසේ නම්, විදුලි බිලට ගෙවන මුදල ඉතිරි කර ගෙන, අප ද "කැන්ඩල් ලයිට් ලයිෆ්" එකකට හුරු විය යුතුය.
කෙසේ වෙතත්, මේ සෙල්ලම්වල අවසාන ප්‍රතිඵලයෙන් බැට කන්නේ අසරණ මහ ජනතාවමය. ඊට ප්‍රධානතම හේතුව රටට නිවැරදි දැක්මක් ඇති නායකයකු නොමැති වීමයි. ජේ.ආර්. ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ රොනී ද මෙල් වැනි අනාගතය දකින, පැහැදිලි දැක්මක් තිබූ නායකයයෝ අපේ රටේ සිටියහ. නමුත් වර්තමානයේ එවැනි පරිණත නායකත්වයක් පෙනෙන මානයකවත් නැත. ඉතිරිව සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණි. වත්මන් දේශපාලන කරළිය දෙස බලන විට පාඨලී චම්පික රණවක වැන්නවුන්ට යම් දැක්මක් සහ දර්ශනයක් ඇති බව පෙනෙන්නට තිබේ.
අතීතයේ ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජාතික ඇඳුම හෝ යුරෝපීය ඇඳුම අනිවාර්ය කරමින් රටේ උත්තරීතර ආයතනයට සේම ජනාධිපති කාර්යාලයට ද උදාර අභිමානයක් සහ ගරුත්වයක් එකතු කළේය. ආර්. ප්‍රේමදාස මහතා ද රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට "ටයි පටිය" (Tie) පැළඳීම අනිවාර්ය කළේ එම තනතුරුවල ගරුත්වය රැකීමට සහ ආයතනික විනයක් ඇති කිරීමටය.
එහෙත් අද තත්ත්වය කුමක්ද? රටේ ප්‍රධානියා "ඩබල් පොකට්" කමිස අඳිද්දී, ඇමැතිවරු ටී-ෂර්ට් ලා ගනිති. ඇතැම් රාජ්‍ය සේවකයෝ සෙරෙප්පු දමා ගෙන, තමන්ට රිසි විවිධ වර්ණවලින් යුත් ඇඳුම් ඇඳ ගෙන කාර්යාලවලට පැමිණෙති. "නායකයා ඇදයට යද්දී, අනුගාමිකයන් බල්ටි ගැසීම" පුදුමයක් නොවේ.
අවසාන වශයෙන් ඇසිය යුත්තේ එකම එක ප්‍රශ්නයකි. රටට වී ඇති මේ විපත දෙස බලා තව දුරටත් අගාධයටම දිව යමුද..?නැත හොත් රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙළ ගැසෙමුද..? තීරණය ඔබ සතුය..!

Lanka Newsweek © 2026