
ඕනෑම අපරාධකාරයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයෙකුට අයිතියක්, සදාචාරයක්, නීතිමය බැඳීමක් සහ හැකියාවක් ඇත. හැබැයි ඒ අධිකරණ පරිශ්‍රයේදී ය. අධිකරණය යම් තීන්දුවක් දුන්නාට පසුව ඊට එරෙහිව ළිඳ ළඟ සංගමය කැඳවා අභියෝග කිරීමට දෙවියන් වහන්සේටවත් නොහැකිය. නීතියේ ආධිපත්‍ය යැයි කියන්නේ ඊටය. නීතීඥ මහේෂ් කොටුවැල්ලට අපට කියන්න තිබෙන්නේ "අහෝ...දෙව්දත් නොදුටු මොක් පුර" කියාය.
කතාවට එමු..! "දුෂ්කර පළාත්වල ඕනෑ තරම් ගෑනු ළමයි දුෂණය වෙනවා - නායක හාමුදුරුවන්ට විරෝධය පළ කරන NGO ඒවා ගැන නිහඬයි" - නීතීඥ මහේෂ් කොටුවැල්ල -
නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා කරන මෙම ප්‍රකාශය නීතිමය, සදාචාරාත්මක සහ තාර්කික වශයෙන් විග්‍රහ කළ විට, එම ප්‍රකාශය “ඇප ලබාදීම” පිළිබඳ නීතිමය කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් නොව, ඉතා භයානක ලෙස “ළමා ලිංගික අපයෝජනය සාමාන්‍යකරණය කිරීම” සහ “වින්දිතයාගේ වේදනාව දේශපාලන සහ ආගමික විවාදයකට හරවා දැමීම” යන අර්ථයන් ද ගැබ් කර ගෙන ඇති බව පැහැදිලි වේ.
මෙහි ඇති ගැඹුරුම ගැටලුව වන්නේ, “අනෙක් තැන්වලත් ළමයි දූෂණයට ලක් වෙනවා” යන තර්කය භාවිත කරමින්, මෙහි චෝදනාවට ලක්ව සිටින බලවත් ආගමික නායකයෙකු වන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි සමාජ විරෝධය අසාධාරණ බවට පත් කිරීමට උත්සාහ කිරීමයි.
මේ උත්සාහය නීතියේ භාෂාවෙන් “Whataboutery” ලෙස හඳුන්වන තර්ක දෝෂයකි. තර්කාභාෂයකි. අනෙක් අපරාධ තිබීමෙන් මෙම අපරාධය සුළු නොවේ. ළමයින් දහසක් අපයෝජනයට ලක්වීමෙන්, එක් ළමයෙකුට සිදු වූ අපරාධය සාධාරණ නොවේ.
මේ තත්ත්වය තේරුම් ගැනීමට සරල උදාහරණයක් ප්‍රමාණවත්ය. “රටේ තවත් මිනී මැරුම් තියෙනවා” කියා කිසිවෙකුට මිනී මැරුමක් සාධාරණ කළ නොහැක. “තවත් දූෂණ තිබෙනවා” කියා බාලවයස්කාර දැරියකගේ ලිංගික අපයෝජනයේ බරපතළ භාවය අඩු කළ නොහැක. ඒ අනුව, මෙම ප්‍රකාශය තාර්කික වශයෙන් වැරදි “False Equivalence” සහ “Diversionary Argument” එකකි.
ඊටත් වඩා භයානක කරුණ වන්නේ, නීතීඥවරයා වින්දිත දැරිය සම්බන්ධ මූලික ප්‍රශ්නයෙන් සමාජ අවධානය ඉවත් කර, NGO, කාන්තා සංවිධාන සහ “බෞද්ධ විරෝධී බලවේග” ගැන කතා කිරීමට උත්සාහ කිරීමයි.
ඒ කියන්නේ ඔහු මේ ප්‍රකාශයෙන් කරන්නේ, නඩුවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන “බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්වූවාද..?” යන නීතිමය සහ සදාචාරාත්මක ප්‍රශ්නයෙන් අවධානය වෙනත් තැනකට හැරවීමය. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ, බාලවයස්කාර දරුවෙකුට හෝ දැරියකට එරෙහි ලිංගික අපරාධ යනු “පෞද්ගලික සදාචාර ගැටලුවක්” නොව, රාජ්‍යයට එරෙහි බරපතළ අපරාධයකි.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය - ළමා ආරක්ෂණ නීති - UN Convention On The Rights Of The Child සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර මූලධර්ම අනුව, දරුවෙකුගේ ආරක්ෂාව “ආගමික ගෞරවයට” හෝ “සමාජ තත්ත්වයට” වඩා ඉහළ අගයක් දරයි.
ඒ නිසා පල්ලේගම හේමරතන “නායක හාමුදුරුවෙක්” වීම ඔහුට තිබෙන නීතිය ඉදිරියේ ආරක්ෂාවක් නොවේ. ඒ වෙනුවට, සමාජය විසින් තැබූ විශ්වාසය නිසා ඔහු මත ඇති සදාචාරාත්මක වගකීම තවත් වැඩිය. මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ, නීතීඥවරයා “NGO සංවිධාන විසින් වෙනත් ළමා අපචාර ගැන කතා කරන්නේ නෑ” යනුවෙන් එල්ල කරන චෝදනාව සත්‍ය වුවද, නීතිමය වශයෙන් එම තර්කය මෙම නඩුවේ චෝදනාවලට අවලංගු නොවන බවයි.
ඒ චෝදනාව හරියට, “පොලීසිය හැම හොරකමක්ම අල්ලන්නේ නෑ, ඒ නිසා මේ හොරකමත් වැරදි නෑ” කියන තර්කයට සමානයි. නීතියේ මූලධර්මය වන්නේ Selective Enforcement තිබුණත් Offence එකක් Offence එකක්ම වීමයි. එසේම, “ඇප ලබාදීම රීතියයි” යන ප්‍රකාශය නීතිමය වශයෙන් අර්ධ සත්‍යයකි.
ඔව්, 1997 අංක 30 දරන ඇප පනත අනුව Bail Is The Rule, Refusal Is The Exception යන මූලධර්මය ඇත. නමුත් ඒ මූලධර්ම යාන්ත්‍රික ලෙස යොදා ගත නොහැක. විශේෂයෙන්, වින්දිතයා බාලවයස්කාරයෙකු නම්, විත්තිකරු බලවත් සමාජ සහ ආගමික පුද්ගලයෙකු නම්, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින නම් සහ වින්දිත පාර්ශ්වය දුර්වල නම්, අධිකරණය ඉතා ඉහළ ප්‍රවේශමකින් කටයුතු කළ යුතුය.
එම නිසා, “ඇප ලැබුණා” යන්න “නිර්දෝෂී බව” නොවන අතර, “ඇප ලැබුණා” කියා සමාජ විවේචනය අවසන් විය යුතුද නැත. ඇප යනු, විමර්ශන අවසන් වන තුරු තාවකාලික නිදහසක් පමණි, නිදොස් බව තහවුරු කිරීමක් නොවේ. ඒ අනුව මෙම ප්‍රකාශයේ සදාචාරාත්මකව භයානකම කොටස වන්නේ,
“වෙනත් ළමයිත් දූෂණයට ලක් වෙනවා” යන අදහස මගින්, ළමා අපයෝජනය සමාජයේ සාමාන්‍ය සිද්ධියක් ලෙස ඉදිරිපත් කිරීමයි.
මෙවැනි ප්‍රකාශ, වින්දිත දරුවන්ගේ වේදනාව වැඩි කරයි, අපරාධකරුවන්ට සමාජීය ආරක්ෂාවක් නිර්මාණය කරයි, බලවත් පුද්ගලයන්ට වෙනස් ප්‍රමිතියක් ලබාදෙයි, සහ “Power Protects Predators” යන භයානක සංස්කෘතිය ශක්තිමත් කරයි. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවක් සම්බන්ධ චෝදනාවකදී, බුදු දහමම උගන්වන්නේ අහිංසාව, දුර්වලයාගේ ආරක්ෂාව, කාම අපරාධවලින් වැළකීම සහ ආත්ම සංයමයයි.
ඒ අනුව, ළමා ආරක්ෂාව ඉල්ලා හඬ නගන පාර්ශ්ව “බෞද්ධ විරෝධී” ලෙස හැඳින්වීම බුදු දහමේ සදාචාරමය හරයටද පටහැනිය. සමාජයක් සභ්‍යද යන්න තීරණය වන්නේ බලවතුන් ආරක්ෂා කරන ආකාරයෙන් නොව, දුර්වල දරුවන් ආරක්ෂා කරන ආකාරයෙන්ය.
එබැවින් නීතීඥ මහේෂ් කොටුවැල්ලගේ මෙම ප්‍රකාශය නීතිමය වශයෙන් තර්ක දෝෂ සහිත, සදාචාරාත්මකව වින්දිතයා අගෞරවයට ලක් කරන, සමාජීයව ළමා අපචාර සාමාන්‍යකරණය කරන, සහ ආගමික බලය භාවිතා කර සමාජ විවේචනය දුර්වල කිරීමට උත්සාහ කරන භයානක ප්‍රකාශයක් ලෙස විග්‍රහ කළ හැකිය.
Lanka Newsweek © 2026