Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


පල්ලේගම හේමරතන හිමිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද..?


2026-05-22 1290

 

සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි

 

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ පල්ලේගම හේමරතන හිමියන්ට මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ ය.

ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් ද නියම කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාර හිමියන්ට තරයේ අවවාද කෙරිණි.

යම් හෙයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර ගන්නා බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන්ට දැන්වීය.

මේ අතර, දැරියගේ මවට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට ද විදේශගත වීම තහනම් කළේ ය. මෙසේ නියම කළේ, මෙම සිද්ධියට අදාළ නඩුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

 
විත්තියේ නීතිඥයාගේ කරුණු දැක්වීම

 

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති බව ය. ඒ අනුව, විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බව ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේ ය.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන්ව ඇති බවත්, විමර්ශනවල උදෘත නීතිපතිවරයාට යවා ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇති පසුබිමක තම සේවාදායක හිමිනමට ඇප ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව ය.

නිතීය හා සාමය අමත්‍යංශයේ ලේකම්වරයා මෙම විමර්ශනවලට බලපෑම් කරන බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායක හිමිනම මේ දක්වා සියලු විමර්ශනවලට සහය දක්වා ඇති අතර, කිසිදු බලපෑමක් සිදු කොට නොමැති බව ද අවධාරණය කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් දීර්ඝ වේලාවක් කරුණු දැක්වු ජනාධිපති නීතීඥවරයා ඉන් අනතුරුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඕනෑ ම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමි නම මුදාහරින ලෙස ය. බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට කළ බවට තම සේවාදායක හිමිනමට එරෙහිව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ ය.

 
"කෙවිටක් ගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා" - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

 

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජිවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට ජාතික ළමාරක්ෂක අධිකාරියට සිදුවු බව ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තමන්ව දුෂණය කළ බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව ද නීතීඥවරිය කීවා ය.

 

දැරිය සහ හිමිනම අතර දුරකතන සංවාද 84ක්
 

සැකකාර හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය අදාළ ආවාස ගෙයෙහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වා දී ඇති බවත්, අදාළ කාමරය තුළ තිබූ භාණ්ඩ දැරිය එලෙස ම හදුනා ගත් බවත් අවධාරණය කළ නීතීඥ සජීවනි අබේකෝන් අනාවරණය කළේ, සැකකාර හිමිනම දැරිය සමග ලිංගිකව එක්වීමෙන් පසුව ශුක්‍රාණු පිස දැමූ පාපිස්සක් වැනි යමක් ද දැරිය පෙන්වූ බව ය.

දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බව ද කියා සිටි නීතිඥවරිය, දැරියට දිර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිලිබඳව පැවැත්වු ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද අවධාරණය කළා ය.

සැකකාර හිමිනම සහ දැරිය අතර, දුරකතන සංවාද 84ක් සිදුව ඇති බව දුරකතන විශ්ලේශන වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇති බව ද කියා සිටි නීතීඥ සජීවනී අබේකෝන් ප්‍රශ්න කළේ, ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකතන ඇමතුම් ලබා ගැනීමට තමන් සමග සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි ප්‍රශ්න කර සිටියා ය.

සැකකාර හිමිනම දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව රුධිරය වහනය වූ දැරියගේ යට ඇදුම් වළ දමා තිබියදී සොයා ගත් බව ද ප්‍රකාශ කළ නීතීඥවරිය පැවසුවේ, මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින් උන්වහන්සේට නිදැල්ලේ වැඩ සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා දී සිටි බව ද පැවසුවා ය. මෙම සිද්ධියට අදාල විමර්ශනවලදී පොලිසිය මේ දක්වා දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නැති බවද කියා සිටි නීතිඥවරිය මෙම සිද්ධියට අදාල සමස්ථ විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය නීතිය අපගමනය කරමින් නීතියට පයින් ගසා ඇති බවත් කීවාය. සැකකාර හිමිනම මෙම අපරාධය සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද විමසීම් කළද, ඔහුද ඊට නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බව ද සඳහන් කළාය.

සැකකාර හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය, නිල බලය පදනම් කරගෙන මෙම සිද්ධියට අදාල විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළ නීතීඥවරිය රාගය, ද්වේශය මෝහය තුරන් කරන බවට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමිනම රාගය ද්වේශය සහ මෝහයෙන් මුසපත්ව බුදු දහමට එරෙහිව ක්‍රියා කොට ඇති බවද කියා සිටියා ය.

බුදුන්වහන්සේ සුනීත සෝපාක වැනි අයට මහ කරුණාවෙන් සැලකුව ද මෙම සැකකාර හිමිනම වින්දිත බාලවයස්කාර දැරියට සලකා ඇත්තේ කෙසේ ද? යන්න පිළිබඳව මෙම සිද්ධි දාමය තුළින් මනාව පැහැදිලි වන බව ද සඳහන් කළ නීතීඥවරිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැගී ඇති බව ද නීතීඥවරිය ප්‍රකාශ කළා ය.

සැකකාර හිමිනමට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බවත් උන්වහන්සේට ඇත්තේ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග බවත් ඇය පැවසීය. වින්දිත දැරිය සිය පෙම්වතා සමග අත්අඩංගුවට පත් නොවූයේ නම් මෙම අපරාධය තවමත් රහසක් බවට පත්වන්නට ඉඩ තිබූ බව ද කියා සිටි නීතිඥවරිය සැකකාර හිමිනමට පවතින ආගමික සහ සමාජ බලය මත බොහෝමයක් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ද කීවා ය.

ආගමික නායකයින්ට දණ්ඩනීති සංග්‍රහය බලපාන්නේ නැද්දැයි තවදුරටත් ප්‍රශ්න කළ නීතීඥ සජීවනී අබේකෝන්, මෙම සිද්ධියේදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී නිසි නීතිමය ක්‍රමවේදය යටතේ කරුණු වාර්තා කර නොමැති බව ද පැවසුවා ය.

දැරියගේ මව තම බාලවයස්කාර දියණිය දූෂණය කිරීම සඳහා සැකකාර හිමිනමට මුදලට අලෙවි කළේ නම් දැරිය දූෂණය කිරීමට සැකකාර හිමිනම මුදලට ලබා ගැනීම වරදක් බව ද කියා සිටි නීතීඥවරිය, එහෙත් එවැන්නක් පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව දැනුම් දුන්නා ය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන අය පෙනී සිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, මහේෂ් කොටුවැල්ල, කාලිංග රවීන්ද්‍ර, හේමන්ත ගමගේ, ධනුෂ්ක දහම්පත්, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිතීඥවරුන් 20කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ. දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසිත් සිරිවර්ධන, අතුල රණගල යන මහත්වරුන් සමග නීතීඥවරුන් වන බානුක මලවිආරච්චි, සුරේෂ් කාරියවසම්, චානක අබේවික්‍රම සහ යාලිත් ජයසුන්දර යන අය පෙනී සිටියහ. මෙම නඩුව දැක බලා ගැනීමට අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක, අබේගිරිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, ථූපාරාමාධිපති ඥණින්ද්‍ර යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩ සිටිනු දක්නට ලැබිණ.

මෙම නඩුව කැඳවූ අද දින අනුරාධපුර අධිකරණ සංකිර්ණය අවට සහ ඇතුලත විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබිණ. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උපපොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි යන මහත්වරුන් අදාළ ආරක්ෂක කටයුතු නිරීක්ෂණ කටයුතු කරනු දක්නට ලැබිණ.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියට මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සදහා ආධාර අනුබල දීම යටතේ ය.

 
BBC 
- සිංහල -
 
Advertiesment