Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


ජනපති ඇතුළු සියලු දෙනාට අමතක වූ ජන රජ දිනය විපක්ෂ නායක මතක් කර දෙයි 


2026-05-22 1271

 

 

ශ්‍රී ලංකාවේ ජන රජ දිනය සෑම වසරකම මැයි මාසයේ 22 වැනි දිනට යෙදී ඇති බවත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබු ඩොමිනියන් තත්ත්වයෙන් ගැළවී ශ්‍රී ලංකාව පූර්ණ ස්වාධීන සහ සෛරී ජන රජයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 1972 මැයි 22 වැනි දින ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ අද වැනි දිනක බවත් මේ දවස ගෞරවයෙන් මතක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (22) අවධාරණය කළේය. 

1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත් කර කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පරමාධිකාරි බලය බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙත පැවරුණු බවත් ඒ අනුව ඒ මොහොතේ සිට රට පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා බවත් 1948 පෙබරවාරි 04 වැනිදා ලැබූ නිදහස ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් වූ බවත් තව දුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද රාජ්‍ය නායකයා බවත් මෙරට ඇතැම් කරුණු සම්බන්ධ අවසන් බලය එංගලන්තයේ ඇතැම් කාර්යාවලට හිමිවූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුවේ ඒකමතිකව අත්සන් කළ පනතක් පවා නීතිගත නොවූ අතර මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වූයේ ද මේ ආණ්ඩුකාරවරයා බවත් ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පවා එංගලන්තයට හිමිවු මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස් ස්වාධීන රජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වැනිදා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එවකට සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජන රජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමිවූ බවත් ශ්‍රී ලංකාව ජන රජයක් බව ප්‍රකාශයට පත් කර වසර 54ක් සපිරෙන මේ මොහොතේ අප රට පිළිබඳ ගෞරවයෙන් ආඩම්බරයෙන් රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස සහ ඒකීය භාවය සුරක්ෂා කිරීමට කැප වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

Advertiesment