Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


CESS සහ PAL ඉවත් කිරීම දේශීය කර්මාන්තවල අවසානය ද..? 


2026-05-22 1259

 

විපක්ෂ නායක ප්‍රශ්න කරයි

 

රටේ අපනයන තරගකාරීත්වය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් 2028 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද එම තීරණය දේශීය කර්මාන්ත, රැකියා, බදු ආදායම සහ වෙළෙද සමතුලිතභාවයට සිදු කරන බලපෑම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (22)  පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් ප්‍රශ්න කරමිනි.

2026-2029 අතර ලබා දී ඇති කාලසීමාවේ දේශීය කර්මාන්ත තරඟකාරී මට්ටමකට ගෙන ඒමට ප්‍රමාණවත්ද යන්නත් අවසානයේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් ආනයන ආර්ථිකයක් කරා තල්ල කිරීමේ අවදානමක් ඇත්ද කියා රජය රටට පැහැදිලි කළ යුතු බවත් මේ නිසා දේශීය කර්මාන්තකරුවා සුරක්ෂා කර අපනයන ක්ෂෙත්‍රය සුරක්ෂිත කර පාරිභෝගික අයිතිය සුරක්ෂිත කිරීම ද සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මේ බදු බර ජනතාව කර පිට‌ පැටවීමේ සූදානමක්ද..?

 

2029 වන විට සෙස් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර දේශීය කර්මාන්ත චීනය හා ඉන්දියාව යන රටවල් සමඟ තරග කිරීමට මේ කාලය ප්‍රමාණවත්ද කියා රජයට ඇති ආර්ථීක ඇගයීම ඉවත් කරන ලෙසත් සෙස් බද්ද ඉවත් කිරීම නිසා රජයට අහිමිවිය හැකි බදු ආදායම පිරවීමට මුදල් අමාත්‍යාංශය සතු නිෂ්චිත ආදායම් සැලැසුම ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිව නැවත වරක් බදු බර ජනතාව කරපිට පටවන්න සූදානම් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

 
අහිමි වන රැකියා සඳහා රජය ලබා දෙන විසඳුම් කවරේද..?

 

සිමෙන්ති, ටයර්, ටයිල්, ඇගලුම් ඇතුළු කර්මාන්ත සඳහා 2029 දක්වා ලබා දී ඇති ආරක්ෂණ කාලය තුළ මේවා නවීකරණය කිරීමට සහ තරගකාරී තත්ත්වයකට පත් කිරිමට රජය ලබා දෙන මූල්‍ය සහන ඉදිරිපත් කරන ලෙසත් ගෘහස්ත ඇගලුම්, ගෘහ භාණ්ඩ, පාවහන්, කෘෂි නිෂ්පාදන සහ වෙනත් නිෂ්පාදන ඒවායේ දේශීය කර්මාන්ත අඩුමිල ආනයන හමුවේ බිදවැටීම තුළින් රැකියා අහිමිවීම් වළක්වා ගැනීමට මුදල් අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග සේම පසුගිය දශකයේ අපනයන වර්ධනය සීමිතව පැවැති පසුබිමක සෙස් ඉවත් කිරීම අපනයන ඉහළ යාමට හේතුවන බව රජය සතු ආර්ථික සාක්ෂි සහ දත්ත ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
රජය IMF එක සතුටු කරන්න හදනවා

 

සෙස් සහ පැල් ඉවත් කිරීම නිමි භාණ්ඩ ආනයනය වැඩි වී වෙළෙද හිගය තවත් වර්ධනය වීමේ අවධානම ගැන රජය සතු බලපෑම ඇගයීම් ඉදිරිපත් කරන ලෙසත් රජය 2026-2029 කාලයේ සෙස් සහ පැල් ඉවත් කරන බවට IMF එකට පොරොන්දු වී ඇති නිසා මේ සම්බන්ධයෙන් සිදු කළ ආර්ථික බලපෑම් සමීක්ෂණය ඉදිරිපත් කරන ලෙසත් දශක ගණනාවක් පුරා සෙස් ආරක්ෂාව යටතේ තිබූ කර්මාන්ත නවීකරණය කිරිමට රජයන් අපොහොසත් වූ පසුබිමක අද ඒවා විදේශීය දැවැන්ත කර්මාන්ත සමඟ සෘජුව තරග කිරීමට බල කිරීම ප්‍රතිසංස්කරණයක් ද නැතිනම් දේශීය කර්මාන්තවල අවසානයද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමත් අපනයන ප්‍රවර්ධනය සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ද සිදුවිය යුතු බවත් මේ ඉලක්ක සම්පූර්ණ කර ගන්න විධිමත් සාර්ව ආර්ථික සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 

Advertiesment