Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බදු එකතු නොකරනු


2026-05-19 1288

ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට යටත්ව ක්‍රියා කරනු

 

- විපක්ෂ නායක අවධාරණය කරයි - 

 

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් සිදු කරන ආණ්ඩුව, විවිධ පුද්ගලයන්ගෙන්, ආයතනවලින් සහ ව්‍යවසායකයන්ගෙන් යම් අඩුපාඩුකම් සිදු වන විට ඒ සියලු අඩුපාඩුකම් සාපරාධී ක්‍රියාවක් බවට පත් කර ගැනීමට රජය ගෙන ඇති පියවර හෙළා දකින බවත් එසේ කිරීම වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (19) අවධාරණය කළේය. පැවසීය.

 

චේතනාන්විතව බදු නොගෙවීම පමණයි වැරදි

 

විදේශීය රටවල මේ කාර්ය සිදුකරන ආකාරය ගැන සොයා බලන විට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඇමෙරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවල එක පාරටම මේවා සාපරාධී ක්‍රියා ලෙස නොසලකන බවත් චේතනාන්විතව එය ඔප්පු වුවහොත් පමණක් එය සාපරාධී ක්‍රියාවක් බවත් එබැවින් බදු නොගෙවීම හෝ ටින් අංකයක් ලබා නොගැනීම වැනි දේවල් සිදු කිරීම චේතනාන්විතව සිදු කරන්නේ නම් සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකීම යෝග්‍ය බවත් යම් අදියර සහිතව මේ දඩුවම් ලබා දීම සිදුවිය යුතු බවත් ස්වේච්ඡාවෙන් හෙළිදරව් කරන කරුණු ගැන ලිහිල් භාවයක් සේම කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය කරා යා යුතු බවත් රජය ලබා දී ඇති දින 30ක කාලය ප්‍රමාණවත් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

දැන් ගොවියා ගොවිතැනෙන් ඈත් වෙමින් සිටිනවා

 

වත්මන් රජය විදුලි බිල ඉන්ධන මිල ද ඉහළ දමා ඇති ඉදිරියේ දී ජල බිල සේම නැවත වරක් ඉන්ධන මිල ද ඉහළ යන බවත් මෙවැනි තත්ත්වයක් උඩ ආනයන භාණ්ඩවල මිල ද ඩොලරයේ මිලද ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ආදායම් පහළ වැටි පොහොර හිගයක් ඇති වී පොහොර මිල වැඩි වී ගොවිතැනෙන් පවා ජනතාව ඈත් වී යන ‌බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රජය කරපු එකම දේ ජනතාව කරපිට අසීමිත පීඩනයක් ඇති කිරීම පමණයි

 

පසුගිය වසර 2 රජය ජනතාවට ඉටුකළ සේවාව දැන ගැනිමට අවශ්‍ය බවත් අසීමිත පීඩනයට අසහනයට ලක්වූ මේ ජනතාවට බදු ගෙවීම අතපසුවීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කර අමතර පීඩනයක් ඇති කර තිබෙන බවත් මේ නිසා නව ව්‍යාපාර බිහිවීම සහ සෘජු විදේශ ආයෝජන පැමිණිම අවම වීම, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු කිරීමට ජනතාව කටයුතු නොකිරීම සිදුවන බවත් මෙය සංවර්ධනය මොට කරන්න දරපු උත්සාහයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න

 

බදු දැලට හසුවී සිටින සියලු දෙනා බදු ගෙවිය යුතු බවත් එය අනිවාර්යෙන්ම සිදු විය යුතු වුවත් එය ලබා ගත යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මිස ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් නොවන බවත් මේ ආකාරයට සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සිදුවිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කර මොවුන් හරහා ඩිජිටල්කරණය සිදු කර බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

උද්දච්ච නොවී මේ සංශෝධන ඉටු කරන්න

 

මේ වැරදි ප්‍රතිපත්තිය ඉවත් කිරීමට හෝ ලිහිල් කිරීමට විපක්ෂය ඉදිරිපත් කරන සංශෝධන ඇතුළත් කර යම්තාක් දුරකට මෙය සාධාරණ කර නම්‍යශීලී වී උද්දච්ච නොවී කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් පැවසීය.

 

Advertiesment