විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු සහ දත්ත මත එකී රාජ්‍ය පාලනය සේම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යා ලේඛන දත්-තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහ පොළොවේ සත්‍ය සහ යථාර්ථය සමඟ සංසන්දනය කරන විට වැරදි දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම කාසිංගම පිහිටි ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝ නායක බෝගහපැලැස්සේ සෝමිස්සර හිමි මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් 2026 මාර්තු මාසයේ දී මෙරට එක පුද්ගලයකුට රු. 16990ක් දුප්පත්කමින් තොරව ජීවත් විය හැකි බවට දත්ත නිකුත් කර ඇති බවත් දින 30ක කාලයක් තුළ ආහාරපාන, වෙනත් අවශ්‍යතා ආදිය සපුරා ගැනීමට රු. 16690කින් හැකියාවක් ඇත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව කොළඹ දිස්ත්‍රික්කයට රු. 18000ක්, ගම්පහට රු. 17908ක්, කළුතරට රු. 17520ක් දින 30කට ජිවත් වීමට ප්‍රමාණවත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ දත්ත සියල්ල සම්පූර්ණයෙන් වැරදි බවත් මේ දත්ත කේන්ද්‍ර කර ගෙන දරිද්‍රතා රේඛාව රජය තීන්දු කර විවිධ සහනාධාර ලබා දෙන බවත් අද මේ ඉදිරිපත් කර බොරු දත්ත නොව මෙරට 30-40%ක් පමණ දුප්පත් බවත් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් ජිවනෝපායක් නොමැති බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකි බවත් ඊට අමතරව දිනෙන් දින රුපියල අවප්‍රමාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ තවත් අමතර පිරිවැයක් මෙරට ජනතාවට දරන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මානුෂීය වී සංවේදී විය යුතු බවත් කෘරත්වය පසෙකලා පසමිතුරුභාවයන් ඉවතලා වෛරී දේශපාලනය නැති කර රටේ ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා 30-40%ක් අතර දුප්පතුන් වී සිටින ජනතාව වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අමතරව අපේ රටේ ගොවි ධීවර කම්කරු ග්‍රාමීය නාගරික වතු ජනතාව මේ ජීවන වියදම නිසා පීඩනයට ලක්ව ඇති බවත් සුළු මධ්‍යම, මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට පවා මේ ආර්ථික පීඩනයේ අසහනය විඳින්න සිදුව ඇති නිසා මේ සංඛ්‍යාලේඛන නිවැරදිව අවබෝධ කර ගන්නට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නව්‍යකරණය වී නුතනවාදී විය යුතු බවත් බොරු දත්ත ඉදිරිපත් නොකළ යුතු බවත් මේ බොරු දත්ත මත වත්මන් රජය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් දැන්වත් සත්‍ය දත්ත කේන්ද්‍ර කර ගෙන රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත් රුපියල අවප්‍රමාණය වන විට බඩු මිල වැඩි වන නිසා IMF එකට යට නොවී ජනතාවට සහන ලබා දිය යුතු බවත් IMF එකට යට වුවහොත් ජනතාවගේ ජන ජීවිත විනාශ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇමෙරිකාව පවා ඉන්ධන මත ගහන බදු ඉවත් කරන්න සූදානම් බවත් අප රජයත් මේ බදු ඉවත් කළහොත් පාරිභෝගික ජනතාවට ඒ සහනය ලැබෙන බවත් වරායේ ගොඩබාන මිලට ලබා දෙනවා යැයි කිව්වත් අද වන විට තෙල් මත උපරිම බදු ගසා ඇති බවත් විපක්ෂයේ සිටින විට රටේ ජනතාව වෙනුවෙන් සංවේදී වූවා සේ රාජ්‍ය බලය ලැබු පසුද සංවේදී වී ඉන්ධන මත ඇති බදු ඉවත් කිරීමත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට සාර්ව ආර්ථික ක්‍රමෝපායන් දියත් කිරීමත් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026