
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමණක් නොවේ. ජාතික හැඟීමකි. 1996 ලෝක කුසලානය ජය ගත් දා සිට ශ්‍රී ලාංකිකයාගේ සිහින, ආඩම්බරය, සහ ජාතික අභිමානය මෙම ක්‍රීඩාව සමඟ බැඳී තිබුණි. නමුත් අද එම ක්‍රීඩාව ගැන කතා වන්නේ ජයග්‍රහණ ගැන නොව, පරාජය, දූෂණය, බලපොරොත්තු, දේශපාලන බලපෑම්, සහ තරඟ පාවා දීම් පිළිබඳවය.
ප්‍රශ්නය සරලය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටුණේ පිටියේ ද, නැති නම් පාලක මණ්ඩලයේ ද යන්න පිළිබඳවය. බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ පිළිතුර සරලය. ඔවුන් කියන්නේ, “ක්‍රීඩකයන්ට පෙර පරිපාලනය නිවැරදි කළ යුතුය.” යන්නය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනතාව අතර දිගු කාලීනව පවතින අඳුරුම සැකය වන්නේ Match Fixing හෙවත් තරඟ පාවා දීමයි. නීතිමය වශයෙන් සනාථ වූ සියලු සිද්ධි නොතිබුණද, ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම සත්‍යයකි. අසාමාන්‍ය පරාජයන්, සැක සහිත තේරීම්, අමුතු කණ්ඩායම් වෙනස්කම්, අවසන් මොහොතේ තීරණ ආදී මේ සියල්ල එක්ව ක්‍රිකට් ලෝලීන් අතර “මේ පිටියේ පරාජයක් නොවෙයි” යන හැඟීම ගොඩනැගිණ. ක්‍රීඩාවක ජීවය වන්නේ විශ්වාසයයි. ඒ විශ්වාසය නැති වූ විට Score Board එකට වඩා හානි වන්නේ රටේ ක්‍රීඩා ආත්මයටයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ දිගු කාලයක් තිස්සේ පවතින තවත් ගැටලුවක් වන්නේ “හිටපු ක්‍රීඩකයන් පරිපාලනයට ගෙන ඒම” යන රොමැන්තික අදහසයි. දක්ෂ පිතිකරුවෙකු වීම, දක්ෂ ක්‍රිකට් පරිපාලකයෙකු වීම නොවේ. පරිපාලනය යනු Strategy, Finance, Governance, International Diplomacy, Institutional Discipline, Transparency, Accountability සහ Long-Term Planning යන සම්පූර්ණ වෙනස් ක්ෂේත්‍රයකි.
පිටියේ ශතක වාර්තා කළ අයෙකුට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ එම ක්‍රීඩාවේ දූෂණ පිටු දැකිය හැකි සිතීම දේශපාලන මිථ්‍යාවකි. ඊට හොඳම උදාහරණය ක්‍රිකට් පරිපාලනයට ආ අර්ජුණ රණතුංග, නිශාන්ත රණතුංග, සිදත් වෙත්තමුණි සහ සුදත් තිලකරත්න ඇතුළු දක්ෂ ක්‍රීඩකයින් අසාර්ථක වීමය. අද බොහෝ දෙනා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළේ දුර්වල ක්‍රීඩකයින් නොව, දුර්වල පරිපාලකයින් බවයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්නගේ පත්වීමත් සමඟ බොහෝ දෙනා ප්‍රශ්න කළේ මේ පත් කිරීම ක්‍රිකට් ප්‍රතිසංස්කරණයක් ද, නැති නම් දේශපාලන තීරණයක් ද යන්න පිළිබඳවය. ජන සමාජයේ විශාල කොටසක් විශ්වාස කරන්නේ මෙම පත්වීම ඍජු දේශපාලන පත් කිරීමක් බවයි. එවැනි මතයක් පවතින්නේ හේතුවක් නොමැතිව නොවේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු වූ ඉරාන් වික්‍රමරත්න මහතා එම පක්ෂය පාවා දී ජාතික ජන බලවේගයට එක් වී මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපෘතියක් වන "CLEAN SRI LANKA" හී අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරන අතර දේශපාලන කූට ගනුදෙනු හරහා ඔහු මේ ස්ථානයට ගෙන ආවේ ක්‍රිෂාන්ත කුරේ මහතා ය. ඉරාන් වික්‍රමරත්න සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරු උග්‍ර මූලධර්මවාදී කිතුනුවන් වෙති.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන බොහෝ විට කුසලතා මත නොව, දේශපාලන බලය මත පිහිටා ක්‍රියා කරන බව ජනතාව අත්දැක ඇත. ඒ නිසා නව සභාපතිවරයාට මුලින්ම මුහුණ දීමට සිදු වන්නේ ක්‍රිකට් ක්‍රීඩා ප්‍රශ්නයට නොව විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයටයි. ඔහුගේ නමට එරෙහිව ඇති විවේචනය සරලය. එනම්, “පද්ධතිය වෙනස් කිරීමට පද්ධතියේම අනුග්‍රහයෙන් පැමිණි පුද්ගලයෙකුට හැකි ද යන්නය. මේ සාධාරණ ප්‍රශ්නයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අද අවශ්‍ය වන්නේ තවත් සභාපතිවරයෙකු නොව දේශපාලනයට බිය නොවන නායකයකයෙකි. තරඟ පාවා දීම් විමර්ශනයට සැබෑ කැපවීමක් ඇති පුද්ගලයෙකි. තේරීම් මාෆියාව බිඳ දැමීමට හැකි අයෙකි. පාසල් ක්‍රිකට් සිට ජාතික කණ්ඩායම දක්වා දක්වා කුසලතා පද්ධතියක්, මුල්‍ය විනිවිදභාවයක්, ක්‍රීඩක ගිවිසුම් පිළිබඳව නිරවුල් ක්‍රමයක් සහ මහ ජන වගවීමක් ඇති කළ හැකි නායකයෙකි. මේ ක්‍රියාකලාපය ප්‍රවෘත්ති සාකච්ඡාවලින් නොව, නිර්දය තීරණවලින් ප්‍රයෝගිකව පෙන්විය යුතුය.
ක්‍රිකට් බේරා ගත හැක්කේ කවුරුන්ට ද..? ක්‍රිකට් බේරා ගත හැක්කේ තවත් පුරාවෘත්තිකයෙකුට හෝ දේශපාලකයෙකුට නොව, ආයතන නැවත ගොඩනගන්නෙකුටය. ශ්‍රී ලංකා ක්‍රිකට් අද දක්ෂතාවයේ අර්බුදයක් නොව විශ්වාසයේ අර්බුදයකි. ඉරාන් වික්‍රමරත්න මහතා එම විශ්වාසය නැවත ගොඩනඟන පුද්ගලයා වන්නේ ද, නැති නම් පද්ධතියේ තවත් නිහඬ අනුමතකරුවෙකු පමණක් වන්නේ ද..? ඒ බව ඉදිරි මාස කිහිපය තීරණය වනු ඇත.
ජනතාව තවදුරටත් අසන්නේ, “අපි ක්‍රිකට් බලනවා ද, නැති නම් ක්‍රිකට් නමින් රඟපාන පාලන නාට්‍යයක් බලනවා ද යන්න පිළිබඳවය. එම ප්‍රශ්නයට පිළිතුර දීමට ලකුණු පුවරුව පමණක් ප්‍රමාණවත් නොවේ. පරිපාලන කාමරයේ දොර විවෘත කළ යුතුය. එතැනින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හී සැබෑ තරඟය ආරම්භ වේ.

Lanka Newsweek © 2026