Monday 11th of May 2026

English Tamil
Advertiesment


බලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා


2026-05-10 1299

 


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ “පදවියෙන් විශාල” නොව “චරිතයෙන් විශාල” පුද්ගලයන් ගණන අතලොස්සකි. එම අතලොස්ස අතර ඉතා සුවිශේෂී නාමයක් වන්නේ කරු ජයසූරිය මහතාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතා නායකවූ ද, එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයාවූ ද, කොළඹ හිටපු නගරාධිපතිවරයාවූ ද, ප්‍රබල අමාත්‍ය ධූර ගණනාවක් හෙබ වූ කරු ජයසූරිය මහතා ජාතික-ජාත්‍යන්තර තලයේ ගෞරවයට පාත්‍ර වූ රාජ්‍ය පුරුෂයෙකු වේ. කරු ජයසූරිය මහතාගේ දේශපාලන, සමාජ සහ සංස්කෘතික භූමිකාව සරල දේශපාලන ජීවිතයකට වඩා බෙහෙවින් උසස්ය.

1940 සැප්තැම්බර් 29 දින ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ උපන් කරු ජයසූරිය මහතා, ව්‍යාපාරික ලෝකය, රාජ්‍ය සේවය, රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය සහ දේශපාලනය යන සියලුම ක්ෂේත්‍රවල සිය අත්සන තැබූ අයෙකි. පසුව ඔහු කොළඹ  නගරයේ නගරාධිපතිවරයා ලෙස ජනතාවට සමීප පාලනයක් ගෙන යන්න ඔහු සමත් විය. “පිරිසිදු නගරයක්, විනයගරුක පාලනයක්” යන සංකල්පය ප්‍රායෝගිකව පෙන්වූ නායකයෙකු ලෙස ඔහු ජන මතයේ ස්ථාන ගත වූයේ ඒ සමගය. 

ඔහු දේශපාලනයේ ඉස්මතු වූයේ ජනප්‍රිය කතාකාරයෙකු ලෙස නොව, විශ්වාසය ගොඩනඟන නිහඬ නායකයෙකු ලෙසය. බලය වෙනුවෙන් වචන ගිනි අවුලු වන දේශපාලනය වෙනුවට, ආයතන රැක ගන්නා සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දේශපාලනය ඔහු තෝරා ගත්තේය. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස (2015–2020) ඔහු දැක්වූ ස්ථාවරත්වය විශේෂයෙන් 2018 ව්‍යවස්ථා අර්බුදයේදී රටට ඉතා වැදගත් විය. පාර්ලිමේන්තුව පක්ෂවලට අයිති නොව, ජනතාවට අයිති ආයතනයක් බව ඔහු ප්‍රායෝගිකව සනාථ කළේ එහිදීය. බොහෝ දෙනාගේ ඇගයීම අනුව ඒ මොහොත ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම වළක්වා රැක ගත් මොහොතක් විය. 

ජාත්‍යන්තර වශයෙන්ද කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ආ පුද්ගලයෙකි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කිරීම, විදේශ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහ ආයෝජන සම්බන්ධතා පුළුල් කිරීම ඔහුගේ දායකත්වයේ කොටසකි. පසුව ජාත්‍යන්තර සංවිධාන, විදේශ නායකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදවලදී ඔහු “Sri Lankan Statesman” ලෙස පිළිගැනුණේ ඒ නිසාය.

ඔහුගේ දේශපාලනයේ විශේෂත්වය වූයේ විරුද්ධවාදියා විනාශ කිරීම නොව, සම්මුතිය ගොඩනැගීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩනැගීමට ඔහු කළ කාර්යභාරය ඉතා වැදගත්ය. තොරතුරු දැන ගැනීමේ අයිතිය, ආයතනික පාරදෘශ්‍යභාවය, ව්‍යවස්ථානුකූල පාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටියේය. 

දේශබන්දු ගෞරවයෙන් ආරම්භ වී, පසුව ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ගෞරවයක් වන “ශ්‍රී ලංකාභිමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබීම ඔහුගේ නාමයට ලැබුණු සම්මානයක් පමණක් නොව, ප්‍රතිපත්තිගරුක දේශපාලනයට ලැබුණු සම්මානයකි. අද ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ විට බලය, පක්ෂවාදය සහ කෙටි ජයග්‍රහණ වටා භ්‍රමණය වන විට, කරු ජයසූරිය මහතා මතක් කරවන්නේ වෙනත් සත්‍යයකි.

රටක් ගොඩනැගෙන්නේ ශබ්දයෙන් නොව, ශිෂ්ටත්වයෙන් බවත් නායකත්වය තීරණය වන්නේ අසුනෙන් නොව, අසනීප වූ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ධෛර්යයෙන් බවත් ඔහු සිය දේශපාලන ජීවිතයෙන්ම සපථ කර ඇත. එබැවින් කරු ජයසූරිය යනු හිටපු කතානායකවරයෙකු පමණක් නොවේ. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක නොවීමට අවශ්‍ය වූ නිහඬ ශක්තියකි. රටටත්, ලෝකයටත්, “ගෞරවය” යන වචනයේ ජීවමාන අර්ථකථනයකි.
 

Advertiesment