Friday 8th of May 2026

English Tamil
Advertiesment


වියට්නාමයේ ආර්ථික දියුණුව විපක්ෂ නායක අගයයි 


2026-05-08 1292

 

ඒ දියුණුව ශ්‍රී ලංකාවටත් ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න 

 

විපක්ෂ නායක වියට්නාම ජනපතිගෙන් ඉල්ලයි

 

වියට්නාම ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ “ඩොයි මොයි” ප්‍රතිපත්ති රාමුව යටතේ වියට්නාමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අගය කරන බවත් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක විදේශිය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස ඉස්මතු වී ඇති බවත්ය.

ශක්තිමත් ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම්කරණය තුළින් සැම්සුන් වැනි ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී වියට්නාමයේ සාර්ථකත්වය ඉස්මතු කළ විපක්ෂ නායකවරයා, ආර්ථික හා ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ද පැවසීය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන සබඳතා ද අවධාරණය කරමින් හෝ චි මිං සහ හිටපු අගමැති ෆාම් වැන් ඩොං ඇතුළු හිටපු වියට්නාම නායකයින්ගේ සංචාර ද සිහිපත් කළේය. මෙහිදී  වියට්නාමයේ නොබැඳි විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය අගය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලෙක්ට්‍රොනික, කෘතිම බුද්ධිය සහ නවීන නවෝත්පාදන කර්මාන්ත ඇතුළු දියුණු තාක්ෂණික අංශවල දෙරට අතර සමීප සහයෝගීතාවයක් ද ඉල්ලා සිටියේය.

මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවත් මෙවර සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය පළ කළේය.

Advertiesment