Monday 4th of May 2026

English Tamil
Advertiesment


NDB වංචාව ගැන ජාත්‍යන්තර වෝහාරික පරීක්ෂණයකින් සොයා බලනු  


2026-05-04 1290

 

කරුණු පහක ලිපියකින් රවී අනුරට කරුණු දක්වයි 

 

ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතළ වංචාව පිළිබඳවත් මේ සම්බන්ධ ප්‍රධාන නියාමකයා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රතිපත්තිමය රෙගුලාසිවලට අනුකූල වීම සහ අවදානම් නිරීක්‍ෂණ යාන්ත්‍රණයන් සහතික කිරීමට අපොහොසත් වී ඇති බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු පහකින් යුතු විශේෂ ලිපියක් යොමු කර තිබේ. 

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී ඇති අතර, එම පාඩුව කඩිනමින් ගණනය කර ඊට වග කිව යුත්තන්ගෙන් එම මුදල අය කර ගත යුතු බවය.

මෙම පරීක්ෂණය සඳහා ආයතනයක් පත් කිරීමට මහ බැංකුව තීරණය කර ඇති නමුත් එම ආයතනයේ ස්වාධීනත්වය  සම්බන්ධයෙන් ගැටලු පවතින නිසා මේ වංචාව ගැන සෙවීමට ජාත්‍යන්තර මට්ටමේ ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද රවී කරුණානායක මහතා ජනපති වෙත පෙන්වා දී තිබේ.

විශේෂ කරුණු පහකින් යුතු සිය ලිපිය මගින් රවී කරුණානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට ලක් කර ඇති කරුණු මෙසේය. මුදල් අමාත්‍යවරයා ලෙස ඔබතුමාගෙන් මම පහත සඳහන් දෑ ඉල්ලා සිටිමි;

1. කිසිදු පුද්ගලික උනන්දුවක් හෝ පක්ෂපාතීත්වයක් නොමැති, ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන වෝහාරික පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම.

2. පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සහය වීමට පහත සඳහන් ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගැනීම ගැන සලකා බැලීම. {ඉන්දීය රිසර්ව් බැංකුව (RBI) ජපාන බැංකුව (BOJ) එංගලන්ත බැංකුව (BoE) සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (MAS) මැලේසියානු මහ බැංකුව}
3. පරීක්ෂණයේ විෂය පථය පුළුල් කරමින් මහ බැංකුවේ නියාමන අතපසුවීම්, තාක්ෂණික පද්ධතිවල දුර්වලතා සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ අධීක්ෂණ අසාර්ථකත්වයන් පිළිබඳවද විමර්ශනය කිරීම.
4. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වගවීමේ රාමුව පරීක්ෂා කිරීම. විශේෂයෙන් බැංකුවල විගණන කමිටු සාමාජිකයින්ට මූලික බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නොමැති වීම මහ බැංකුවේ "සුදුසු සහ යෝග්‍ය" (Fit and Proper) නිර්ණායකවල සඵලතාවය පිළිබඳ ගැටලුවක් මතු කරන බව. 
5. මුල්‍ය අංශයේ පාලනය ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවරක් ලෙස මෙහිදී ගනු ලබන තීරණ ගැන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත නිල වශයෙන් දැනුම් දීම.

 

Advertiesment