
මහා භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, විදේශ සම්පත් සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවල දායකත්වය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාව හරහා විමර්ශනයක් සිදු කරන්නැයි Free Lawyers සංවිධානය එම කාරක සභාවේ සභාපති කබීර් හෂීම් මහතා වෙත විශේෂ ලිපයක් යොමු කරමින් ඉල්ලා සිටියි.
ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති කබීර් හෂීම් මහතා වෙත යවා ඇති එම ලිපිය මෙසේය.
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, විදේශ සම්පත් හා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවල දායකත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කමිටුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
2026 අප්‍රේල් 22 දින භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය පිළිබඳව ගරු ගරු කතානායකතුමන් වෙත අප විසින් පැමිණිලි කරනු ලැබීය. එම ලිපිය ලැබුණු බව හෝ මේ දක්වා අප වෙත දන්වා එවීමට කතානායකතුමන් කටයුතු කර නැත. සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව ද ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතිකේෂප කොට ඇත.
මේ පිළිබඳ අප සංවිධානය මුදල් කාරක සභාවේ සභාපතිවරයා වෙත විවෘත ලිපියක් මගින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය බ්‍රහස්පතින්දා පැවති රැස්වීමේ දී එම කරුණු සැලකිල්ලට ගනු නොලැබීය. තව ද, අප පුදුමයට පත් කරමින් අදාළ ලේඛන ලබාදීමට මාසයක කාලයක් මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය වෙත ලබා දෙන ලදී. මුදල් කමිටුව හරහා ප්‍රශ්නය මාසයකින් කල් දමාගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට හැකියාව ලැබුණි.
අප විසින් යොමු කරන ලද ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නය පිළිබඳ 148 ව්‍යවස්ථාව මගින් මුදල් බලතල ලබාදී ඇති පාර්ලිමේන්තුව විසින් මෙයට වඩා වැඩි කාර්ය භාරයක් ඉටු කිරීමට අවස්ථාව ඇති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ අදහසයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA - Committee on Public Accounts) හෙවත් කෝපා වෙත රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත.
පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්නය කිරීම පෙන්නුම කරන කල්හි, විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් කාරක සභාවේ කාර්යයකි. ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සම්බන්ධයෙන් දැනට සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර එයින් එක් අධ්‍යක්ෂවරයෙකු මේ වන විට අවසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත.
මේ වන විට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා පාර්ශවකරුවන් සමඟ ඇතිකර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම උල්ලංඝනය වී ඇත. ණය/පොලී මුදල් ගෙවීම නියමිත දිනට සිදුවී නොමැති අතර, දින 90 ක සහන කාලය තුල ද එම මුදල් ගෙවා නැත. එය ‘තාක්ෂණික මුදල් ගෙවීම් පැහැර හැරීමේ (Technical default) තත්වයකි.
එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරන පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගිණුම් පිළිබඳ වගකීම දරන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හරහා විගණකාධිපතිවරයාගේ ද සහාය ලබා ගනිමින් මේ සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමු. වහාම එළබෙන පාර්ලිමේන්තු සතියේ දීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ විවෘත රැස්වීමක් කැඳවා එහි අනුකමිටුවක් මගින් විගණකාධිපති සමඟ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Lanka Newsweek © 2026