මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින්, එය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් සිදු කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම මරණය හදිසි හෘදයාබාධයක්ද, සියදිවි නසාගැනීමක්ද, නැතහොත් වෙනත් බාහිර බලපෑමක් හේතුවෙන් සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම අතර, මෙම සිදුවීමත් සමඟ භාණ්ඩාගාර වංචාව සම්බන්ධයෙන් ජනතා අවධානය නැවතත් වැඩිවී ඇත.
මෙහි විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ, රජයේ මුදල් වංචාව පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණය කළ නිලධාරියා වූ රංග රාජපක්ෂ මහතා, පසුව එම වංචාවට සම්බන්ධ විය හැකි බවට සැක පළ කරමින් සේවයෙන් ඉවත් කිරීමයි. ඔහු සේවය කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ආයතනයක් ලෙස ද සැලකෙයි.
රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ආරක්ෂක දුර්වලතා සහ බැංකු ගිණුම් තොරතුරු වෙනස් කිරීම සම්බන්ධ සයිබර් ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් තොරතුරු සතුව සිටි ප්‍රධාන නිලධාරියෙකුගේ මෙවැනි මරණයක්, පරීක්ෂණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සාහයක්ද යන්න පිළිබඳවද සැක මතුවෙයි.
ඒ අතර, වංචාවට සම්බන්ධ සැබෑ පුද්ගලයන් හෝ ජාලයන් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ ප්‍රවණතාවක් නැවතත් උද්ගතවෙමින් තිබේද යන්න පිළිබඳව සමාජයේ විමර්ශනාත්මක අවධානය යොමු විය යුතුය.
මෙම මරණය පිළිබඳ පරීක්ෂණ සීමිත පශ්චාත් මරණ පරීක්ෂණයකට පමණක් සීමා නොවී, පුළුල් හා ස්වාධීන විමර්ශනයක් ලෙස ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම, රංග රාජපක්ෂ මහතා විසින් CID වෙත ලබාදුන් සාක්ෂි සහ ඔහු සතුව තිබූ ලිපිගොනු සුරක්ෂිත කිරීම, මෙම වංචාවේ සම්පූර්ණ සත්‍යය හෙළි කරගැනීමට තීරණාත්මක වේ.
යුක්තිය වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙකුගේ මරණයත් සමඟ සත්‍යය වසා දැමීමට ඉඩ නොදිය යුතු අතර, වගකිව යුතු පාර්ශව හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන යාම රජයේ මූලික වගකීමක් බවද අවධාරණය කළ යුතුය.
Lanka Newsweek © 2026