Thursday 30th of April 2026

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය


2026-04-30 1314

 

(රජිත් කීර්ති තෙන්නකෝන් )
 

මුදල් ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඩුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා ඇත.
ඒ පිළිබඳව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන තෙන්නකෝන් මහතා මෙසේ ද පවසයි.  

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේ දී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ ය.   පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝණය කරන්නේ නම්, ඒ පිළිබඳව දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන සපයා ඇත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ය.  ඒ අනුව, මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට සභාපතිවරයාට බලය ඇති අතර, එසේ කැදවීමකට නොපැමිණෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර හා දඩුවම් බලතල හා වරප්‍රසාද පනතේ  ‘ආ කොටස’ 1, 2, 3 උපලේඛනයේ ආ කොටසේ වගන්ති යටතේ දක්වා ඇත.  එම වරද වලට පාර්ලිමේන්තුව විසින් හෝ ‍ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඩුවම් කළ යුතු වරද වේ. 

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකිය. ඒ අනුව, හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔවුන්ට  1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලපත හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකිය. 

සිය මුදල් ලේකම්වරයා මුදල් කමිටුවට සහභාගි නොකිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩුව දුෂණය, වංචාව, අක්‍රමිකතා විරෝධයේ ‘සුජාත භාවය අහිමි කර ගනී.  ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර, පාර්ලිමේන්තු කමිටු සතු බලය හෑල්ලුවට ලක් කර නැත. මුදල් කමිටුව පැමිණීමට දැනුම් දී තිබිය දී යම් අයෙකු නොපැමිණෙන්නේ නම්, කමිටු සභාපතිවරයා තවදුරටත් එම කමිටු සභාපති ධූරය දැරීම/ඉල්ලා අස්වීම හෝ දඩුවම් කිරීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් සිදු කර පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතුව ඇත. 
 

Advertiesment