Monday 27th of April 2026

English Tamil
Advertiesment


ආණ්ඩුවේ වෙසක් නිවාඩුවේ අවනඩුව


2026-04-26 1320

ශ්‍රමික ජනතාවට දින 2.5 ක පමණ නිවාඩු අලාභයක්

 

අඛිල මෙන්ඩිස්

 

2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 දින පැවැත්වීමට ගත් තීරණය සහ ඒ අනුව රජයේ නිවාඩු දින සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව මෙන්ම සමාජීය හා ආගමික වශයෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැහැදිලි වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගත් විට, ජූනි 01 (සඳුදා) දින අමතර රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවට යතාර්ථවාදී හා සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැක.

වෙසක් උත්සවය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිශයින්ම වැදගත් ආගමික අවස්ථාවක් වන අතර, එය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිණිර්වාණය යන ත්‍රිවිධ සිද්ධීන් සංකේතවත් කරන සම්ප්‍රදායික උත්සවයකි. සාමාන්‍යයෙන් මෙම උත්සවය “වෙසක් පොහොය” සහ “වෙසක් පසු දින” ලෙස දින දෙකක් පුරා සම්පූර්ණ වශයෙන් සැමරේ. එහෙත්, මෙවර නිවාඩු සංශෝධනය හේතුවෙන් එම දින දෙකම සතිඅන්තයට යෙදී ඇති අතර, එමඟින් බෞද්ධ ජනතාවගේ ආගමික ක්‍රියාකාරකම් සීමා වී ඇති බව පෙනී යයි.

මැයි 30 වන දින දැනටමත් පොහොය නිවාඩු දිනයක් ලෙස පැවති බැවින්, එය නව නිවාඩු දිනයක් ලෙස සැලකිය නොහැකි අතර, ප්‍රායෝගිකව ශ්‍රමිකයන්ට අමතර නිවාඩුවක් හිමිවීමක් සිදු නොවේ. එයට අමතරව, මැයි 31 දින ඉරිදා දිනයක් වන බැවින්, එය ද සතිඅන්ත නිවාඩුවක් ලෙස පවතින අතර, වෙනම ප්‍රතිලාභයක් ලෙස සැලකිය නොහැක.

කම්කරු නීතිමය සහ සේවා සාධාරණත්වය සම්බන්ධයෙන් විමර්ශනය කළ විට, සතිඅන්තයට යෙදෙන පොදු නිවාඩු සඳහා ප්‍රතිස්ථාපන (substitute) නිවාඩු ලබාදීම බොහෝ රටවල ක්‍රියාත්මක වන ජාත්‍යන්තරව පිළිගත් මූලධර්මයකි. එම මූලධර්මය අනුව සතිඅන්ත දිනවලට යෙදෙන පොදු නිවාඩු ප්‍රතිස්ථාපනය නොකිරීම, ශ්‍රමිකයන්ට අසාධාරණයක් වන බවට සාධාරණ විවේචනයක් පවතී.

විශේෂයෙන්ම, මැයි 02 දින (සෙනසුරාදා) සඳහා තිබූ නිවාඩුව සංශෝධනය කිරීම හේතුවෙන් එදින හිමිකම් තිබූ අර්ධ දින නිවාඩු වාසියද අහිමි වී ඇත. මෙය ශ්‍රමිකයන්ට අසාධාරණ තත්ත්වයක් ලෙස පෙනී යයි.

ඒ අනුව, සාමාන්‍යයෙන් ලැබිය යුතු දෙදින වෙසක් නිවාඩුව මෙවර ප්‍රායෝගිකව ජනතාවට නොලැබෙන අතර, මැයි 30 දින නව නිවාඩුවක් නොවීම, මැයි 31 ඉරිදා දිනයක් වීම සහ මැයි 02 දින අර්ධ නිවාඩුව අහිමි වීම යන කරුණු සලකා බැලූ විට, ශ්‍රමික ජනතාවට දින 2.5 ක පමණ නිවාඩු අලාභයක් සිදුවී ඇති බව දක්නට ලැබේ.

තවද, වෙසක් සමයේ සිදුවන දන්සැල්, පහන් කූඩු, තොරණ සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික වැඩසටහන් බහුතරයක් රාත්‍රී කාලයේ හා අඛණ්ඩව දින කිහිපයක් පුරා පැවැත්වේ. එවැනි තත්ත්වයක් යටතේ, සතිඅන්ත දින දෙකක් පමණක් මෙම උත්සවය සම්පූර්ණ වශයෙන් සැමරීමට ප්‍රමාණවත් නොවන අතර, ජනතාවට අපහසුතාවයකින් තොරව ඒවාට සහභාගී වීමට අමතර නිවාඩු දිනයක් අවශ්‍ය වේ.

ඉහත සියලු කරුණු සැලකිල්ලට ගත් විට, ජූනි 01 (සඳුදා) දින අමතර රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම යථාර්ථවාදී, සාධාරණ සහ සමාජීය වශයෙන් යෝග්‍ය තීරණයක් වනු ඇත. එමඟින්, වෙසක් උත්සවයේ සම්ප්‍රදායික දින දෙකේ නිවාඩුව යම් මට්ටමින් හෝ පුරප්පාඩු කිරීමක් සිදු කළ හැකි අතර, ආගමික හා සංස්කෘතික වටිනාකම්ද ගෞරවයට පාත්‍ර කරගත හැකි වේ.

එබැවින්, රාජ්‍ය පාලකයින් විසින් මෙම ගැටළුව සමාජ සාධාරණත්වය හා ආගමික සංවේදීතාවයන් මත සලකා බැලමින්, ජූනි 01 දින අමතර නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීම කාලෝචිත හා ජනහිතකාමී පියවරක් වනු ඇත.

Advertiesment