Friday 24th of April 2026

English Tamil
Advertiesment


හැකරෙකු නිසා රටේ මුල්‍ය ආරක්ෂාව අනතුරේ ..!


2026-04-24 1236

විදේශ රටකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ක් හැකරාගේ ග්‍රහණයේ

 

- විපක්ෂ නායක අවධාරණය කරයි -

 

අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරුභාවයකින් තොරව කටයුතු කිරීම නිසා වාර්තා වන ආකාරයට මේ මොහොත වන විට අප රටේ අරමුදල්වලින් ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් එනම් ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වන ආකාරයට මේ ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්කරුවකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය 

වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට අප රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරන්න හැකියාවක් නොමැති බව මේ අනුව පෙනී යන බවත් අප රටේ ඩොලර් සල්ලි හැකර්කරුවන්ට ව්‍යාජ තොරතුරු හා තහවුරු කිරීම් ඉදිරිපත් කර  මුදල් අහිමි කරන්න හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්නම් රටේ මූල්‍ය ආරක්ෂාව පවා අනතුරේ බවත් මේ මූල්‍ය පද්ධතියේ දුර්වලතාව නිසා තවත් බරපතල ගැටලුවක් ජාතික ආරක්ෂක ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි.

පරිගණක හැකර්කරුවකුට අප රටේ විදේශ ණය වාරිකයක් ව්‍යාජ ලෙස ලබා ගන්න හැකි වූයේ කෙසේද කියා ප්‍රශ්නයක් ඇති බවත් මුදල් යවන විට ණය කළමනාකරණ කාර්යාලය, විදේශ සම්පත් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ආදී ආයතන නිශ්චිත නිවැරදි ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් නිර්මාණය කර නොමැති ද කියා ගැටලුවක් ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment